2024 මහ මැතිවරණය හා වම

 

2024 ජනාධිපතිවරණයේ කේන්ද්‍රීය ප්‍රශ්නය වූයේ මෙතෙක් පාලනය බලය දැරූ බලවේග සමස්තයෙන් දේශපාලන බලයෙන් ඉවත් කිරීම . ජනතාව අපේක්ෂා කළ වෙනසක් සඳහා පූර්ව කොන්දේසිය බවට පත්ව තිබුණේ එයයි.

මේ කොන්දේසිය ඉටු කිරීමේ හා කිසියම් දුරකට නමුත් ජනතා අභිලාෂයන්ට ආමන්ත්‍රණය කිරීමේ හැකියාවක් තිබූ දේශපාලන බලවේගය බවට පත්ව තිබුණේ සුළු ධනපති සමාජවාදී පක්ෂයක් බවට පත්ව තිබෙන ජවිපෙහි නායකත්වයෙන් යුතුව තවත් විවිධ වර්ගයේ සුළු ධනපති සමාජවාදී හා ප්‍රජාතන්ත්‍රවාදී කණ්ඩායම් පුද්ගලයින් සුළු හා මැද ධනපති කොටස් ඒකාබද්ධ කර ගත් දේශපාලන සන්ධානයක් වශයෙන් ගොඩ නැගී ඇති ජාතික ජන බලවේගය යි.

මෝදු වෙමින් පැවති ජනතා අභිලාෂයන්ට ආමන්ත්‍රණය කිරීමේ පුරෝගාමී බලවේගය විය යුතුව තිබුණේ වම වුව අපේ වම ස්වකීය භාවිතය තුළින්ම තම පුරෝගමී මෙහෙවර අහිමි කර ගෙන තිබුණි. ජාජාබය වැන්නකට පුරෝගාමී ස්ථානය කරා නැගී වර්ධනය වීමට අවකාශ සැලසුන ප්‍රධාන හේතුව වූයේ එයයි.

මෙවන් තත්ත්වයක් තුළ 2024 ජනාධිපතිවරණයේ දී අපේ ස්ථාවරය වූයේ වම ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවී ජාජබයට යම් සහයක් දිය යුතු ය යන්නයි. මේ නිශ්චිත අවකාශය තුළ මෙතෙක් පාලනය බලය දැරූ බලවේග දේශපාලන බලයෙන් ඉවත් කිරීම ජනතා අභිලාෂය වූ නිසා ද පැවති නිශ්චිත තත්ත්වයන් තුළ එම බලවේග පරාජයට පත් කිරීමේ හැකියාව තිබුණේ එයට නිසා ද එකී තත්ත්වයන් තුළ ජාජබය බලයට පත්වීම සහ එහි ක්‍රියාකාරිත්වය හේතු කොට ගෙන සැබෑ වමක් සඳහා නව අවකාශයක් විවෘත කරනු ඇති බව අපේ අදහස වූ නිසා ද එවන් උපක්‍රමික ප්‍රවේශයකට අපි එළඹුණෙමු. එම උපක්‍රමික ප්‍රවේශය නිවැරදි බව දැනුදු අපේ පිළිගැනීම ය. එහෙත් සවල්ප දෙනෙකු හැර අනෙකුත් වමේ කොටස් අපේ එකී උපක්‍රමික ප්‍රවේශය පිළිගත්තේ නැත.

දැන් එළඹෙන මහ මැතිවරණය සම්බන්ධයෙන් ගත් කල එහි දී පවතින්නේ ජනාධිපතිවරණයේ දී පැවති සංයුක්ත තත්ත්වය නොවේ. බලයේ සිටි හා බලයට එන්නට උත්සාහ දැරූ ප්‍රධාන ප්‍රතිගාමී බලවේග තාවකාලිකව නමුත් පරාජයට පත්ව තිබේ. ප්‍රතිසංස්කරණවාදී ජාජබ ජනාධිපතිවරයෙක් බලයට පත්ව තිබේ. මහ මැතිවරණයේ දී ජනාධිපතිවරණයේ දී එය ලද ජය නිසැක වශයෙන්ම තවදුරටත් තහවුරු කෙරෙන තත්ත්වයක් නිර්මාණය වී තිබේ. ‍එළඹෙන මහ මැතිවරණය තුළ බලය අහිමි වූ ප්‍රතිගාමී බලවේගවලට හිස එසවීමේ විභවයක් නැත. එහෙයින් මෙම මහ මැතිවරණයේ දී එකී ප්‍රතිගාමී බලවේග පැරදවීම පිළිබඳ ප්‍රශ්නයක් පැන නොනගින අතර මේ නිශ්චිත වාතාවරණය තුළ මැතිවරණ  බිමේ දී එම බලවේගවල පරාජය නියත එකක් වනු ඇත.

පරාජිත ප්‍රතිගාමී බලවේග ජනාධිපතිවරණයේ දී ලද හා මහ මැතිවරණයේ දී ලබන පරාජයන්ගෙන් අන්දමන්දව ගොස් විසුරුණු ස්වභාවයක් පෙන්නුම් කරනු ඇති නමුත්   තාවකාලිකව පමණි. ඒවා ජාජබ ආණ්ඩුවේ සීමිත ප්‍රතිසංස්කරණ පවා අවුල් කර දැමීමට ජාත්‍යන්තර ප්‍රතිගාමී බලවේගවල සහාය ඇතිව ක්‍රියාත්මක වනු ඇත. මේ සම්බන්ධයෙන් ගත් කල අපට ලතින් ඇමෙරිකානු රටවල දී ඇති වූ හා ඇතිවෙමින් තිබෙන තත්ත්වයන් පූර්වාදර්ශ ලෙස ගන්නට පුළුවන.

ජාජබ ආණ්ඩුවක සැබෑ ක්‍රියාකාරිත්වය පැහැදිලිව දැකිය හැකි වන්නේ මහ මැතිවරණයෙන් පසු එය ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවීමෙන් පසු පමණකි. පාර්ලිමේන්තු බලය ද සහිත ජාජබ ආණ්ඩුවක ස්වභාවය වනු ඇත්තේ කුමක් ද? ජාජබ ආණ්ඩුව යම් යම් ප්‍රතිසංස්කරණයන්ට යටත්ව පවතින ධනේශ්වර ක්‍රමය අඛණ්ඩව පවත්වා ගෙන යනු ලබන සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පන්නයේ ආණ්ඩුවක් වනු ඇත. එය  බලයට ඒම සඳහා ජනාධිපතිවරණයේ දී දුන් හා මැතිවරණයේ දී දෙන පොරොන්දුවලින් ස්වල්පයක් මිස විශාල ප්‍රමාණයක් ඉටු කිරීමට සමත් වන්නේ නැති බව පැහැදිලිය. එම අසම්පූර්ණ පොරොන්දු පවා ඉටු කිරීමට නම් එය පිටුපස එයට සවිය දෙන විප්ලවවාදී බහුජනතාවක් සිටිය යුතු ය. විප්ලවීය මහජන ව්‍යාපාරයක් තිබිය යුතු ය. එහෙත් ජාජබය ජවිපෙ මෙහෙය වීමෙන් මහජන ව්‍යාපාරය නමින් සංවිධානාත්මක හා බලගතු මැතිවරණ ව්‍යාපාරයක් ගොඩ නැගීමට කටයුතු කළා මිස දැනුවත් ලෙසම සැබෑ විප්ලවවාදී මහජන ව්‍යාපාරයක් ගොඩ නැගීමට කටයුතු කළේ නැත. එවන් තත්ත්වයක් තුළ එයට සිදු වන්නේ අධිෂ්ඨාන සහගත ලෙස ජනතා අභිලාෂ ඉටු කිරීමට පෙරට යාමට නොව පසු බැසීමට ය. වමට නොව දකුණට ගමන් කිරීමට ය.

පවතින තත්ත්වයන් තුළ දේශපාලන බිමෙහි ඉදිරි තත්ත්වය සලකුණු වනු ඇත්තේ ප්‍රධාන කොටම එක් අතකින් ජාජබ ප්‍රතිසංස්කරණවාදී ආණ්ඩුව සිය පැවැත්ම සඳහා දරණ උත්සාහයත් අනෙක් අතින් තාවකාලිකව බලය අහිමි වූ පරාජිත ප්‍රතිගාමී බලවේග නැවත බලයට ඒම සඳහා (ඉදිරි මැතිවරණයේ දී නොව ඉන් අනතුරුව - ඒවා ඉදිරි මැතිවරණයේ දී අවධානය යොමු කර ඇත්තේ පාර්ලිමේන්තු බලයක් අත්පත් කර ගැනීමට වඩා ප්‍රබල විපක්ෂයක් බවට පත් වීමට ය) තත්ත්වයන් නිර්මාණය කර ගැනීමට දරන උත්සාහයත් අතර අරගලයෙන් යයි කිව හැකි ය.

මෙහි දී නොවැළක්විය හැකිසේ සැබෑ වමක, වාම ක්‍රියාකාරිත්වයක අවශ්‍යතාව පැන නගින්නේ . එක් අතකින් ජනාධිපතිවරණයේ දී ප්‍රතිගාමිත්වය බරපතල පරාජයකට පත් කරමින් ජනතාව ප්‍රකාශයට පත් කළ අභිලාෂය බොඳ වී යාමට ඉඩ නොදිය යුතුව තිබේ. මේ සඳහා ජන බලවේග අවබෝධ ගැන්වීමේ, සංවිධානය කිරීමේ හා බලමුළු ගැන්වීමේ වගකීම පැවරෙන්නේ වමට ය.  

එළඹෙන මහ මැතිවරණයේ දී පවතින්නේ ජනාධිපතිවරණයේ දී පැවති සංයුක්ත තත්ත්වය නොවේ. බලයේ සිටි හා බලයට එන්නට උත්සාහ දැරූ ප්‍රධාන ප්‍රතිගාමී බලවේග තාවකාලිකව නමුත් පරාජයට පත්ව තිබේ. ප්‍රතිසංස්කරණවාදී ජාජබ ජනාධිපතිවරයෙක් බලයට පත්ව තිබේ. මහ මැතිවරණයේ දී එය නිසැක වශයෙන්ම ජය ගන්නා තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

මෙවන් සංයුක්ත තත්ත්වයක් තුළ ජනාධිපතිවරණයේ දී අප යෝජනා කළ උපක්‍රමික ප්‍රවේශය තවදුරටත් වලංගු වන්නේ නැත. එළඹෙන මහ මැතිවරණයේ දී වමේ උපක්‍රමික ප්‍රවේශය විය යුතුව ඇත්තේ අප කල්පනා කරන පරිදි ප්‍රතිගාමී බලවේගවලට නැවත හිස එසවීමට උපකාරී වන සේ කටයුතු නොකිරීමේ උපක්‍රමික ප්‍රවේශයක් මත පිහිටමින් ද වමේ ශක්තියක් ගොඩ නගා ගැනීමට අවකාශ සැලසෙන පරිදි වමේ එක්සත් භාවයක් ඇති කර ගැනීමට හැකි වන සේ ක්‍රියා කරමින් ද මහ මැතිවරණ ක්‍රියාකාරිත්වයක නියැලීම ය.

එහෙත් වම කොතරම් අසරණ තත්ත්වයකට ඇද වැටුණත් වම තුළ නෛසර්ගිකව පවතින කට්ටිවාදය පිටු දැකීමට සූදානමක් වමේ බහුතර කොටස් පෙන්නුම් නොකරයි. වමේ අප අතර විවිධ මෙන්ම බරපතල ද වන මතවාදී වෙනස්කම් තිබෙන බව ඇත්ත ය. එහෙත් පවතින සංයුක්ත තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් ප්‍රායෝගික දේශපාලන බිමේ දී පවතින තත්ත්වයන්ට අනුරූපී වන එක්සත් ක්‍රියාමාර්ගයන්ට එළඹීම අත්‍යවශ්‍ය වනු ඇති බව පිළිගැනීමට හා ඒ අනුව ක්‍රියාකිරීමට වම සමත් විය යුතු ය. එහෙත් මෙම මැතිවරණයේ දී ද එවැනි එක්සත් භාවයක් ඇතිකර ගැනීමට මැතිවරණයට ඉදිරිපත්ව සිටින වමේ කොටස් ක්‍රියාකර නැත. විශේෂයෙන්ම මෙහි දී අද වම තුළ එය දරන තත්ත්වය අනුව පෙරටුගාමී සමාජවාදී පක්ෂය වෙත විශාල කාර්යභාරයක් පැවරී තිබුණ ද එම කාර්යභාරය ඉටු කිරීමේ වගකීමෙන් එය දුරස්ව ඇති අයුරු නිරීක්ෂණය කළ හැකි ය.  

කෙසේ වේවා අපට මේ මැතිවරණයේ දී ක්‍රියාකිරීමට සිදු වන්නේ මෙම ව්‍යාකූල තත්ත්වයන් මත සිට ය. මෙහිදී අප වමේ පක්ෂයකට හෝ සන්ධානයකට අපේ සහය පළ කළ යුත්තෙමු. මෙහි දී අපගේ ස්ථාවරය  වන්නේ මැතිවරණයට ඉදිරිපත්ව ඇති පක්ෂ හා සන්ධාන අතුරෙන් කුමන ගැටළු තිබුණ ද ජන අරගල සන්ධානයට සහය දීම වඩා යෝග්‍ය බව ය.

 

විප්ලවීය සමාජවාදි කේන්ද්‍රය

2024/10/30

 

Featured Post

අධ්‍යාපනය අයිතියකි ! විකිණීම සඳහා නොවේ !

දකුණු ආසියාතික තාක්ෂණික හා වෛද්‍ය ආයතනය (සයිටම්-  SAITM, The South Asian Institute of Technology and Medicine)    2008 ඔක්තෝබර් 1 දින ආයෝජ...