ජාතික ජන බලවේගය ඇත්තටම සැබෑ ජන බලයක් ස්ථාපිත කිරීම සදහා ස්වකීමය වූ ශක්තියක් අත්කර ගනීවිද?



වාමාංශික, ප්‍රජාතන්ත්‍රවාදී සහ වෙනත් සමාජ ක්‍රියාකාරී කොටස් අතර මාස ගණනාවක් පුරා කරගෙන ගිය  සාකච්ඡා මාලාවකින් අනතුරුව එළඹුන එකගතාවය මත ජාතික ජන බලවේගය පසු  ගිය ජුලි 14 දින බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී මහත් හරසරින් ජනගත කෙරිණි. 
ලංකාවේ ජාතික දේශපාලනය තුල දේශපාලන සංධාන,පෙරමුණු ගොඩනගා ගත් අවස්ථා බොහෝය.  දක්ෂිණාංශික පක්ෂ එම වර්ගයේම තවත් දක්ෂිණාංශික පක්ෂ සමගත්, වාමාංශික පක්ෂ තවත් වාමාංශික පක්ෂ සමගත් සංධාන හෝ පෙරමුණු ගොඩනගාගෙන ඇතිවා පමණක් නොව, වාමාංශික පක්ෂ, තමන් විසින්  ʻපංති සතුරන්ʼ කියා හදුන්වා දුන් දක්ශිණාංෂික පක්ෂ සමග ද සංධාන ගොඩනගාගැනීමට ක්‍රියාකර ඇත.  කිසියම් තනි පක්ෂයකට ඒ තත්කාලීන  දේශපාලන මොහොත, බොහෝවිට එය ඉදිරි  මැතිවරණයකි,  තනිව ජයගැනීමට ඇති නොහැකියාව හේතුවෙන් එවැනි සංධාන ගොඩනගාගැනීම කරා යොමුව ඇති බව පැහැදිලිය.  එවැනි අවස්ථාවල එළි දැක්වෙන්නේ වැඩිමනත් මැතිවරණ ප්‍රතිපත්ති මාළාවක් ලෙස ඡන්ද පොරොන්දු ලැයිස්තුවකි. සමස්ථ ගැටළුව විශලේෂණයකරගැනීමෙන් අනතුරුව රටේ දිගුකාලීන සමාජ, ආර්ථික හා සංස්කෘතික දියුණුව වෙනුවෙන් ඇතිකරගත් ගැඹුරු දැක්මක් මත පදනම් වූ පලල් ප්‍රතිපත්ති මාලාවක් ඒවායෙහි කිසිවිටකත් අඩංගු නොවීය. ඒ වෙනුවට පවතින ආණ්ඩුවේ වැරදි හුවාදක්වා ඊට වෙනස්ව ආකර්ශණීය පොරොන්දු මාලාවක් ඉදිරිපත්කරනු ලබයි. මේ ඊනියා පෙරමුණුවල තවත් විශේෂත්වයක් නම් කිසිදාක ජනතාවට දැකගන්න, දැනගන්න නොලැබෙන අදෘෂමාණ ගිවිසුම්ය. ඇමතිකම් බෙදාගැනීමේ නිර්ලජ්ජිත කෙවල්කිරීම්වලින් පිරි හෙයින් ඒවා සදා රහසක් වශයෙන් රැකගනී. ඉදින්, මෙවැනි පෙරමුණු  බලයට පත්වීමෙන් පසු  පැවති ආණ්ඩුවටත් වඩා වේගයෙන් රට අගාදයට ඇදගෙන යයි. පෙරමුණු පාර්ශවයන් එකිනෙකා පරයමින් උදාවූ අවස්ථාව උපයෝගීකර ගනිමින්  රාජ්‍ය දේපල කොල්ලකෑමෙහි, දූෂණයෙහි, ඥාති සංග්‍රහයෙහි යෙදෙන්නට පටන්ගනී.  මේ විෂම චක්‍රය බිද දැමීමට කිසිම සම්ප්‍රධායික දේශපාලන පක්ෂයක් ඉදිරිපත් නොවනවා විතරක් නොව ඔවුන් නැවත නැවතත් විවිධ පෙරමුණු , සංධාන අටවා ගනිමින් එය තවත් තීවෘකරයි. මේ අනුව ලංකාවට අදාළව දේශපාලන පෙරමුණු/ සංධාන ගොඩනගාගැනීම රටේ ඉදිරි ගමන අරඹයා කරන ලද්දක් නොව හුදෙක් ඒ ඒ දේශපාලන පක්ෂවල පැවැත්ම ආරක්ෂාකරගැනීමට අනුගමනය කරන ලද උපාය මාර්ගයකි. එක් අතකින් ඉන් පිළිබිඹුවෙන්නෙ  මොරමින් පවතින දේශපාලන ව්‍යාකූලත්වය තුල තනි තනි පක්ෂවල පැවැත්ම අභියෝගයට ලක්ව ඇති බව ය. වාමාංශික පක්ෂ සම්බන්ධයෙන් මේ සත්‍යය අදාළ වෙයි.
 
එසේ නම් ජාතික ජන බල වේගය -National People’s Power- තවත්  දේශපාලන පෙරමුණක් නැතිනම් සංධානයක්ද? ලංකාවේ මෙතෙක් ගොඩනගා ඇති දේශපාලන පෙරමුණු/සංධානවල සාරය අපි ඉහතින් පැහැදිලි කළෙමු. රට පත්ව ඇති විනාශකාරී තත්ත්වය පිලිබද විද්‍යාත්මක විශ්ලේෂණ යක් නොමැතිවීම, රට ගොඩනැගීමට පලල් ඉදිරි දැක්මක් වෙනුවට ඡන්ද පොරොන්දු ලැයිස්තුවක් ඉදිරිපත් කිරීම සහ තනතුරු බෙදාගැනීමේ රහසිගත ගිවිසුම්  එම පෙරමුණුවල ප්‍රධාන ලක්ෂණයන්ය. ජාතික ජන බල වේගය මේ පරාභව ලක්ෂණයන්ගෙන් පැහැදිලිව විනිර්මුක්ත බව කිව යුතුය.  ජාතික ජන බලවේගයේ මූලික එකගතා ලියවිල්ල පිටු හතකින් සමන්විතය.  එහි ආරම්භක ඡේද හයක් වැයකර ඇත්තේ සමස්ථයක් වශයෙන් ගෝලීය ධනවාදය හා ඒ හා ගැට ගැසුන ලාංකීය සමාජ-ආර්ථික ක්‍රමය තේරුම්ගැනීම සදහා යතාර්ථවත් විශ්ලේෂණයක් වෙනුවෙන්ය. අද පවතින හා පවත්වාගෙන යන අධිපතිවාදී සමාජ, ආර්ථික ප්‍රතිපත්ති පද්ධතිය හේතුවෙන්, එනම් ගෝලීය නවලිබරල් ආර්ථික ක්‍රෙමා්පායන් හේතුවෙන්  ලොව පුරාම ජනතාවන් අතර ඇති නැති පරතරය හා ගෝලීය උතුර හා ගෝලීය දකුන තර පරතරය අසීමාන්තිකව ඉහළ යමින් පවතී. ඒ අනුව එම කොල්ලකාරී ලෝක ධනවාදය සමග ගැට ගැසුන පසුගාමී ධනවාදයක් සහිත ලාංකීය සමාජ ආර්ථික ක්‍රමය හා රාජ්‍යය, දුප්පත්කම,නූගත්කම, මන්දපෝෂණය, ඇති නැති පරතරය වැඩිවීම, සමාජ සුබ සාධනය හා අයිතිවාසිකම් අහෝසිවීම, ළමා අපචාර, මත් ද්‍රව්‍ය, අල්ලස හා දූෂණය, අකාර්යක්ෂමතාවය, නීතියේ පාලනය බිදවිටීම, පරිසර විනාශය, ජාතිවාදය, ආගම්වාදය, මිත්‍යා විශ්වාස ව්‍යාප්තිය ආදි වශයෙන් පසුගාමී  ධනවාදී රාජ්‍යයක පවතින සියළුම ආර්ථික, සමාජ ව්‍යාධීන්ගෙන් පෙළෙන්නක් බවට පත්ව ඇත. හුදෙක් පවතින හෝ ආසන්න කාලයේ පැවති ආණ්ඩු පාලනයන්ගේ බැලූබැල්මට පෙනෙන අසමත්භාවයන්ට ඔබ්බෙන් මේ මහා ව්‍යාශනයේ  අක්මුල් දේශීය වශයෙන් පමනක් නොව ලෝක පරමාණයෙන් ද විහිද පවතී.
අප රටේත් ලෝකයේත් වර්ධනයවෙමින් පවතින ආර්ථික, සමාජ, පාරිසරික ව්‍යාසනය වළක්වාගැනීම සදහා පමණක් නොව යම් පමණකට දිනාගෙන ඇති ප්‍රජාතන්ත්‍රවාදී හා දේශපාලන අයිතීන් ආරක්ෂාකරගැනීම සදහාත් අද කිසිසේත් සරළ මැදිහත්වීම පුමාණවත් නොවේ, ව්‍යාජ ඡන්ද පොරොන්දු ගොන්නකට මේ ව්‍යාසනයේ තීව්‍රතාවය එක දශමයකින්වත් අඩුකළ නොහැක. අවශ්‍යවන්නේ අතිශය බරපතල රැඩිකල් ප්‍රතිපත්තිමය විසදුම්ය. එවැනි ප්‍රතිපත්ති හා උපායමාර්ගයකට පමණි ලාංකීය රාජ්‍යය ආර්ථික ස්වාධීනතාවය, සමාජ සාධාරණත්වය,  මානව සංවර්ධනය, ප්‍රජාතන්ත්‍රවාදය, සමානාත්මතාවය හා සහෝදරත්වය සහිත නූතන රාජ්‍යයක් කරා  පිවිසිය හැක්කේ.
ජාතික ජන බලවේගය-NPP- සතු දෘෂඨිවාදීමය හරය සම්පිණඩනාත්මකව නමුත් පැහැදිලිව එම ලේඛණයෙහි 8 වන ඡේදය තුලින් ඉදිරිපත් කෙරෙයි. මූලික ප්‍රජාතන්ත්‍රවාදී නිදහස හා අයිතිවාසිකම්, සමාජ හා ආර්ථික අයිතිවාසිකම් පුද්ගල, දේශපාලන හා සිවිල් නිදහස ආදිය රැකගැනීම හා පුළුල්කර ගැනීම සදහා වන මේ මොහොතේ අරගලය, සැබෑ සමාජ සාධාරණත්වය එනම් සමාජවාදය සදහා කරන අරගලය සමග තදින් බැදී පවතින බවත් ඒවා එකකින් අනෙක වෙනකල නොහැකි ලෙස එකම වැඩපිලිවෙලක් යටතේ කළ යුතුව ඇති බවත් ප්‍රකාශකරයි. පොදු ජනතාවගේ ජීවන තත්ත්වය හා අයිතීන් යහපත් මට්ටමක පවත්වා ගැනීමට ඉවහල් වන දේශපාලන හා ආරිථික ප්‍රතිසංස්කරණ දිනාගැනීම සදහා කරන අරගලය හා එමගින්  ජනතාව සවිඥානකගන්වමින් හා සංවිධානයකරමින්  සමාජවාදය දිනාගැනීම සදහා ගෙනයන දිගුකාලීන අරගලය එකම වැඩපිලිවෙලක් තුල  අන්තර්ගතකර ගැනීම මගින් එය මුළුමනින්ම  හුදු ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී  වැඩපිලිවෙලකට වෙනස්ව සමාජවාදී වැඩපිළිවෙලක ලක්ෂණ අඩංගුකැගනීයි. සමාජවාදීන්ගේ සිට ප්‍රජාතන්ත්‍රවාදීන් දක්වා සියළු ප්‍රගතිශීලී පාර්ශවයන් එක වේදිකාවකට රැගෙන ඒමට එම දෘෂ්ඨිවාදය ඉවහල්වෙයි. 
ජාතික ජන බලවේගය ඉදිරිපත්කරන මෙකී සමාජ- දේශපාලන විශ්ලේෂණය හා ඉදිරි  දැක්ම සම්ප්‍රධායික දේශපාලන පෙරමුණු ඉදිරිපත්කරන  ʻ පොරොන්දුʼ දේශපාලනයට වඩා හාත්පසින් වෙනස් බව තේරුම්ගැනීමට ගැඹුරු දේශපාලන අවබෝධයක් අවශ්‍යවන්නේ නැත. සම්පූර්ණ දැක්ම සහ යෝජිත සංක්ෂිප්ත වැඩපිලිවෙල සහිත  එකගත්ව ලේඛණ‍ය හැර ජාතික ජන බලවේගය සතුව කිසිදු රහසිගත ගිවිසුමක් නැත. කැබිනට් ඇමතිකම්, නියෝජ්‍ය ඇමතිකම්, අර අමාත්‍යාංශය, මේ අමාත්‍යාංශය ආදී වශයෙන් බූදලය බෙදාගන්න ආකාරයේ කේවල්කිරීමේ දේශපාලනයෙන් එය මුළුමනින් බැහැරවෙයි. මේ අර්ථයෙන් එය දේශපලෙන පක්ෂ,සංවිධාන හා කණ්ඩායම් විසින් ඉදිරි ජනාධිපතිවරණය හෝ වෙනත් මැතිවරණයක් ඉලක්කකරගෙන ගොඩනැගූ ඊනියා සංධාන ඝණයට අයත් තවත් සංධානයක් නොවේ.  
ජාතික ජන බලවේගය යනු වාම ලැදි කොටස් නිතර ආවේගාත්මකව ඉල්ලා සිටින වාමාංශික බලයක් ප්‍රකාශකෙරෙන ආකාරයේ වාම සංධානයක් හෝ පෙරමුණක් ද නොවේ. මක්නිසාද එය තනිකරම වාමාංශික පක්ෂ , සංවිධාන හා පුද්ගලයන්ගෙන් පමණක් සැදුන එකක් නොව, ප්‍රජාතන්ත්‍රවාදී, මානවවාදී, පරිසරවේදී ආදී වශයෙන් පගතිගාමී කොටස් ද එහි වාඩිවී සිටිති. මේ මොහොතේ දේශපාලන අරගලය තුල ඔවුන්ට ද සුවිශේෂී කාර්යභාරයක් ඇති බව ජාතික ජනබලවේගයේ පිළිගැනීමයි.
ධනපති කදවුරේ පාලක කණ්ඩායම්වලට සහ ඒවායේ ප්‍රතිපත්ති හා ක්‍රෙමා්පායන්ට එරෙහිව  අභිමුඛ වන පරිදි අද ගොඩනැගිය යුත්තේ රටේ සියළු ජන කොටස්වලට අයත් සාතිශය බහුතර ජනතාවගේ උවමනාවන් නියෝජනය කරන ප්‍රබල මහජන ව්‍යාපාරයකි. එම මහජන ව්‍යාපාරය, එහි ස්වභාය අනුවම පක්ෂ හෝ කණ්ඩායම් කීපයක හුදු පෙරමුණක් විය නොහැකි නමුත් එය ගොඩනැගීමෙහිලා වාමාංශික හා ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයන්ගේ පුරෝගාමිත්වය හා දායකත්වය අත්‍යාවශ්‍යය. එය ගොඩනැගිය යුත්තේ  ආර්ථික, සමාජ, දේශපාලන,සංස්කෘතික හා පාරිසරික යනාදී සෑම ක්ෂේත්‍රයක් තුලම කළ යුතුව තිබෙන එදිනෙදා අරගලය සමග  ඓන්ද්‍රීයව බැදෙමින්, වඩාත් වැදගත් වූ අරගලය, එනම් දේශපාලන බලය දිනාගැනීම සදහා වූ අරගලය කරා  පෙරට ගෙනයාම ඔස්සේය. සක්‍රීය මහජන ව්‍යාපාරය ස්වකීය අරගලයේ යම් නිමේෂයකදී මහජන ආණ්ඩුවක් බවට, විකල්ප රාජ්‍ය බලය ලෙස තමන්ම ස්ථානගතවිය යුතුය.. මෙතෙක් කතා කළ සාධනීය ලක්ෂණ අනුව ජාතික ජන බලවේගය අඩුළුහුඩුකම්  නැති, පරිපූර්ණ,ව්‍යාපාරයක් ලෙස කෙනෙකුට හැගී යා හැක. එහෙත් එය එසේ නොවේ.     ප්‍රමාණාත්මකව මේන්ම ගුණාත්මකවත් තව බොහෝ දේ එය විසින් අත්පත්කර ගත යුතුව ඇත. වහාම හදුනාගතයුතු හා පිටුදැකිය යුතු එහි නිශේධනීය ලක්ෂණ කීපයක්ම ඇත.
 අභ්‍යන්තර මතවාදී අරගලය දුර්වල තත්ත්වයක පැවතීම එහි එක් ප්‍රධාන දුර්වලතාවයක් ලෙස දකිමු. අපේ අත්දැකීම්   නම්  යම් සංවිධානයක් තුල  මතවාදී අරගලය- නිර්මාණාත්මක, විවෘත හා සෟජු සංවාදශීලී සාකච්ඡා විධික්‍රමය කොතරම් ගුණාත්මක තත්ත්වයකින් පවතින්නේද යන්න එම සංවිධානයේ ප්‍රගමනය කෙරෙහි තීරණාත්මකව බලපාන එක් ප්‍රධාන සාධකයක් බවයි. රටේ ඉදිරියෙන් සිටින වාමාංශික හා ප්‍රගතිශීලී සංවිධාන රාශියක්  ජාතික ජන බලවේගය නියෝජනයකරන බව සත්‍ය නමුත් එහි දෘෂ්ඨිවාදීමය අරගලය තුල ඔවුන්ගේ බලපෑම ප්‍රමාණවත්  තත්ත්වයක නොපවතී. ඉන්  ව්‍යාපාරය එක් පැත්තකට බරව ගමන්කිරීමේ වැරදි ප්‍රවනතාවයකට තල්ලුවී යාමේ වැඩි ඉඩක් පවතී. 
අනෙක් වැදගත් කරුණ නම් හුදු  ප්‍රචාරකවාදී  ප්‍රනතාවයෙන් එය ගැලවිය යුතුය. ජාතික ජනබලවේගයේ එකගතා පියවිල්ලෙ 15 වන ඡේදයෙහි ඉතාමත් පැහැදිලිව මෙසේ සදහන් කර ඇත. ʻ අද දවසේ ගොඩනැගිය යුතුව ඇති මෙම පොදු මහජන ව්‍යාපාරය හා මහජන ආණ්ඩුවක් සදහා වන ව්‍යාපාරය හුදෙක් මැතිවරණ සීමා මායිම් තුළ ගොඩ නැගෙන හෝ ගොඩ නැගිය යුතු ව්‍යාපාරයක් නොවේ.ʼ ජාතික ජන බලවේගය මේ ස්තාවරය සමග දැඩි ලෙස ඇලී සිටිය යුතුය.  ලග එන මැතිවරණ කාලය අනුව ප්‍රචාරාත්මක වැඩ සටහන් අවශ්‍ය බවට තර්කයක් නැත. එහෙත් ඒවා ඇස් නිලංකාර කරන වැඩ සටහන් නොවිය යුතුය. අතීත මැතිවරණ දේශපාලනය තුල එවැනි ඇස්බැන්දුම්වලින් ලැබී ඇති ප්‍රෙයා්ජනය නිවැරදිව තකසේරුකරගැනීමට අපි සමත් විය යුතුය.   ජා.ජන බලවේගය විසින් හදුනාගෙන ඉදිරිපත්කර ඇති වැඩපිලිවෙල මැතිවරණයකින් කෙළවරකරගත නොහැකි දිර්ඝකාලීන වැඩපිලිවෙලක් විහින් පමණක් සාක්ෂාත්කර ගැනීමට ඇති දුෂ්කර කාර්ය කොටසකි.එසේම එය නායක මට්ටමේ පිරිස්වල එකතුවකට  පමණක් ඉටුකරගත නොහැක්කකි.  අනිවාර්යයෙන්ම බිම් මට්ටමේ ජනතාව ඒ වටා එකතුකරගත යුතුය. එය ඔවුන්ගේ එනම් එම ජනතාවගේ කාර්යභාරයක් ලෙස ඔවුන් වෙතම පවරා දිය යුතුය. වාමාංශය මෙතෙක් කරන ලද ʻකොන්ත්‍රාත්ʼ දේශපාලනයට වඩා එය මුළුමනින්ම වෙසනස්ය.
 ඉදින් ,  ප්‍රචාරාත්මක හා අධ්‍යාපනික වැඩ සටහන් අවශ්‍ය වන්නා වගේම,  සංවිධානය කිරීම පිළිබද කරුන වඩාත්ම පෙරමුණට ගතයුතුය. ජාතික ජන බලවේගය නමින් වූ මහජන ව්‍යාපාරය  පක්ෂයක්,සංධානයක් නොවන බව අපි පුනපුනා ඉහත පැහැදිලි කර ඇත.  පොදු ජන අරගලය සමග නිරන්තරයෙන් ඉදිරියට ඇදෙන ක්‍රියා දාමයකින් හෙබි එය, මුණ ගැසෙන තත්ත්වයන් සමග හැපෙමින්, සමහරවිටක මුහු වෙමින්, වෙනස්වෙමින් , ස්වකීය තත්ත්වය තමන් විහින්ම පරිවර්තනයට ලක්කර ගනී.  ඒ අනුව එය ව්‍යාපාරයකි, movement එකකි.  වත්මන් රාජ්‍ය ව්‍යුහයට විකල්ප රාජ්‍ය ව්‍යුහයක් බවට පරිවර්තනය වීමේ ගුණය මහජන ව්‍යාපාරය  සතු වෙයි. එසේම අනාගතයේ කිසියම් දවසක රාජ්‍ය අවයවයක් ලෙස ස්වකීය තත්ත්වය අහෝසිකරගැනීමේ ගුණය ද ඊට ඇත.   අසංවිධානාත්මක,  විනයකින් තොර, නූගත්, බහුතර ජනතාව, සංවිධිත, විනයගත,දියුණු දැක්මක් සහිත මහජන ව්‍යාපාරයක් බවටත් තවත් අනස්ථාවක රාජ්‍ය ව්‍යුහයක් කරා  ඔසවා තැබීමත්  එතරම් ලෙහෙසි කටයුත්තක් නොවේ. ඈත නගර, ප්‍රාෙද්ශක හා ගම් පීරා ගමන්කරන, ජාතික, ආගමික,හා ලිංගික  මිත්‍යා විශ්වාස බිදගෙන යන විද්‍යාත්මක දැක්මක් හා යෝධ කාර්ය සාධන නිපුණතාවයක් ඊට තිබිය යුතුය. ඒ සදහා විශාල කැපවීමක් ද දේශපාලන පරිණතභාවයක් ද අවශ්‍යය. මේ විශිෂ්ඨ කාර්්‍ය එනම් මහජන ව්‍යාපාරය සංවිධනය කිරීමේ කාර්්‍යයට වැඩි බරක් යෙදිය යුතුව ඇත. ජාතික ජන බලවේගය මේ සදහා ගැඹුරින්  සිය අවධණය යොමු කරනු ඇතැයි අපි දැඩිව අපේක්ෂාකරමු.
ඒඩීපී රත්නායක
අගෝ.8, 2019

No comments:

Post a Comment

Featured Post

අධ්‍යාපනය අයිතියකි ! විකිණීම සඳහා නොවේ !

දකුණු ආසියාතික තාක්ෂණික හා වෛද්‍ය ආයතනය (සයිටම්-  SAITM, The South Asian Institute of Technology and Medicine)    2008 ඔක්තෝබර් 1 දින ආයෝජ...