අධ්‍යාපනය අයිතියකි ! විකිණීම සඳහා නොවේ !


දකුණු ආසියාතික තාක්ෂණික හා වෛද්‍ය ආයතනය (සයිටම්- SAITM, The South Asian Institute of Technology and Medicine)
 

 2008 ඔක්තෝබර් 1 දින ආයෝජන මණ්ඩලය සමග ගිවිසුම්ගත පෞද්ගලික ව්‍යාපාරයකි. එය වෛද්‍ය, කළමනාකරණ හා මූල්‍ය, ඉංජිනේරු සහ තොරතුරු සන්නිවේදන තාක්ෂණය යනුවෙන් පීඨ හතරකින් යුක්තය. 1978 විශ්වවිද්‍යාල පනත යටතේ 2011 අගෝස්තු 30 දින ප‍්‍රසිද්ධ කළ රජයේ ගැසට් පත‍්‍රය මගින් වෛද්‍ය උපාධිය (MBBS)  ප‍්‍රදානය කිරීම සඳහා අනුමැතිය ලබා ඇති නමුත් අවශ්‍ය කොන්දේසි නිසි පරිදි සපුරා නොමැති නිසා ශී‍්‍ර ලංකා වෛද්‍ය සභාව එම උපාධිය පිළිනොගනී.    මෙය ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය පෞද්ගලීකරණයට උත්සාහ දරා තිබෙන දෙවෙනි අවස්ථාවයි. පළමු අවස්ථාව රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය යි. උද්ඝෝෂණ හේතුවෙන් එය රජයට පවරා ගැනිණ. 
-----------------------------------------------------
මෙම වෛද්‍ය විද්‍යාලය නිදහස් අධ්‍යාපනයට එල්ල කරන ලද බරපලතල තර්ජනයක් වශයෙන් ගෙන එය  අහෝසි කරන්නැයි ඉල්ලා ආරම්භ කෙරී ඇති අරගලය දිගටම ඇදීයමින් පවතී. මෙම අරගලයේ පෙරටු බලඇණිය වී සිටින්නේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ මෙහෙයවීම යටතේ සරසවි සිසු සිසුවියන් ය. 
පළමුවෙන්ම අධ්‍යාපනය රජයේ වගකීමක් ලෙස පිළිගන්නා අපි ඒ අනුව අධ්‍යාපනය පෞද්ගලීකරණයට නැතහොත් වෙළෙඳපොලකරණයට ද එහි දිගුවක්වන සයිටම්වලට ද සපුරා විරුද්ධ වන්නෙමු. ඊට එරෙහි අරගලයට අපේ තිරසර සහය පළ කරමු. මෙහිදී  මුලින්ම ප‍්‍රශ්නයේ ස්වභාවය හා එයට පක්ෂ හා විපක්ෂ  මතවාද හා තර්ක පිළිබඳව පැහැදිලිතාවක් ලබා ගැනීම අවශ්‍ය බව අපගේ පිළි ගැනීම ය. 
සයිටම් ප‍්‍රශ්නය  හුදෙක් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් සම්බන්ධ ප‍්‍රශ්නයක් නොවේ. එය තනි, හුදකලා ප‍්‍රශ්නයක් වශයෙන් පමණක් ගත නොහැකි ආණ්ඩුවේ සමස්ත අධ්‍යාපන ප‍්‍රතිපත්තියට අදාළ ප‍්‍රශ්නයකි. එමෙන්ම එය අධ්‍යාපනයට පමණක් සීමා වූ ප‍්‍රශ්නයක් පමණක් ද නොවේ. අධ්‍යාපනය මෙන්ම සෞඛ්‍යය, ප‍්‍රවාහනය ආදී අනෙකුත් මූලික සේවාවන් ද කර්මාන්ත, ගොවි, ධීවර හා අනෙකුත් ක්ෂේත‍්‍ර ද කොටින්ම වත්මන් සමාජ ආර්ථික හා සංස්කෘතික යන සියලූ ක්ෂේත‍්‍ර ද පුරා ද විහිද යන සමස්ත ප‍්‍රශ්නයක එක් ප‍්‍රකාශනයකි. 

සයිටම් ප‍්‍රශ්නය මතු වී ඇත්තේ රටේ මෙතෙක්  තරමක් හෝ දුරට ශේෂව පවතින පොදු නිදහස් අධ්‍යාපනය පසෙකින් අධ්‍යාපනය මුදලට විකිණීමට දියත්කර ඇති  අධ්‍යාපනය වෙළෙඳභාණ්ඩකරණයට ලක් කිරීමේ හා ලක්වීමේ කි‍්‍රයාවලියේ අඛණ්ඩ හා ඉතාමත්ම සංවේදී ප‍්‍රශ්නයක් වශයෙනි. අධ්‍යාපනය යනු අද ධනවාදී ලාභ ගැරීමේ කොල්ලය සඳහා විවර වී ඇති ප‍්‍රධාන ක්ෂේත‍්‍රයකි. රජයේ පාසල් පද්ධතියට සමාන්තරව පෞද්ගලික උපකාර අධ්‍යාපන ආයතන හතු පිපෙන්නාක් මෙන් බිහිව ඇත. නාගරිකව පෞද්ගලික පාසල් නොකඩවාම බිහි වේ. රජයේ විශ්වවිද්‍යාලවලට සමාන්තරව පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ වීමේ කි‍්‍රයාවලියක් හට ගැනී තිබේ. සයිටම් මේ කි‍්‍රයාවලියේම දිගුවකි. වෛද්‍ය අධ්‍යාපනය වෙළෙඳභාණ්ඩකරණයට, වෙළෙඳපොළ කි‍්‍රයාවලියක් බවට පත් කිරීමේ එක් පියවරකි. එසේම අධ්‍යාපනයේ මෙම ක‍්‍රියාවලියට සමාන්තරව පොදු නිදහස් සෞඛ්‍ය සේවාව පසෙකින් පෞද්ගලික සෞඛ්‍ය සේවාව දැවැන්ත අඩි තබමින් ඉදිරියට ඇදෙයි. සයිටම් ඒ ප‍්‍රශ්නය සමග ද ඈඳේ. තනිකරම වෙළෙඳපොළ කි‍්‍රයාවලියක් වන එය සැබවින්ම සයිටම් ප‍්‍රශ්නයටත් වඩා සමස්ත ජන ජීවිතයටම  බලපාන්නක් බව මෙහි දී සිහි තබා ගැනීම වැදගත් වෙයි. 
 ඔබ මොන පැත්ත හැරී බැලූවත් ඒ සෑම පැත්තකම ඇත්තේ එකම කි‍්‍රයාවලියකි. එනම් පැතුරුණු විකිණීමේ හා මිල දී ගැනීමේ කි‍්‍රයාවලිය යි. වෙළෙඳපොළ කි‍්‍රයාවලිය යි. හැම දෙයක්ම හුවමාරුභාණ්ඩකරණයට නැතහොත් වෙළෙඳභාණ්ඩකරණයට යටත් කිරීමේ කි‍්‍රයාවලිය යි. අපේ සංස්කෘතික ජීවිතය එනම් අපි හිතන පතන හා හැසිරෙන විදිය, විශ්වාසයන් ගොඩ නගා ගන්නා විදිය, සමාජ ඇසුර මේ සෑම ක්ෂේත‍්‍රයක්මත් අද හසුරුවනු ලබන්නේ   ධනවාදයේ තත්කාලීන දිගුව වන  නව ලිබරල්වාදී නියාමයන් විසිනි. මෙම කි‍්‍රයාවලිය ලංකාවට සීමා වූවක් නොවේ. නූතන ලෝකයම වෙළාගත් තත්ත්වයකි. අනෙක් අතට නව ලිබරල්වාදය යනු අහසින් පාත්වූ අහඹු ප්‍රපංචයක් නොව ධනවාදයේ අර්බූදයට පිලියමක් ලෙස යොදා ගැනෙන නව ධනවාදී උපාය මාර්ගයක්ම ය. එමගින් ප්‍රශ්නය තීව‍්‍රකර ඇති බව සත්‍ය නමුත්  ප්‍රශ්නයේ පදනම් ඇත්තේ හුදෙක් එම නව ආකාරය තුළම නොව පැහැදිලිවම සමස්ත ධනවාදය තුළයල ප්‍රාග්ධන සම්බන්ධතාවය තුලයග එනිසා ගෝලීය නව ලිබරල්වාදී ආකාරය වගේම ඉන්  ප්‍රකාශිත ධනවාදය  යන  සමස්තය ඇති සැටියෙන් වටහා නොගෙන අද දවසේ කිසිදු ප‍්‍රශ්නයක් තේරුම් කිරීම හෝ තේරුම් ගැනීම කළ නොහැක්කක්ම ය. 
ශුභ සාධන රාජ්‍ය ක‍්‍රමය හා එය බිඳ වැටීම 
1929 දී ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ආරම්භ වී 30 දශකය පුරා පැවති ලෝක ව්‍යාප්ත මහා ආර්ථික අවපාතය 20 වන සියවසේ දී ධනවාදය මුහුණ දුන් දරුණුතම අර්බුදය යි. මෙම ආර්ථික අවපාතයට සමපාතව වැඩෙමින් තිබූ බරපතල විරැකියාව, උද්ධමනය ආදිය හේතුවෙන් සාමාන්‍ය ජනයාගේ බලාපොරොත්තු හා ජීවිත විනාශ වී සමාජ අසහනය දැවැන්ත ලෙස මෝදු වෙමින් තිබිණ. මෙම තත්ත්වය හමුවේ එවකට එක්සත් ජනපද ජනාධිපති ෆ‍්‍රෑන්ක්ලින් ඩිලානෝ රූස්වෙල්ට් ‘‘නව කි‍්‍රයාමාර්ග’’ ( New Deals) නම් නව ආර්ථික හා දේශපාලන උපාය මාර්ගයක් හඳුන්වා දුන්නේ ය. එම නව කි‍්‍රයා මාර්ග සකස් කරනු ලැබුවේ ආර්ථික පසුබෑම පාලනය කිරීම සඳහා ආණ්ඩුවේ මැදිහත්වීමේ අවශ්‍යතාවය පෙන්වා දෙන කේන්සියානු ආර්ථික ප‍්‍රතිපත්ති මත ය. සහන, ප‍්‍රතිසාධනය හා ප‍්‍රතිසංස්කරණ (Relief, Recovery, and Reform) යන ති‍්‍රවිධ ප‍්‍රතිපත්ති එහි අඩංගු විය. රැුකියා විරහිත හා දුප්පත් ජනයා වෙනුවෙන් සහන ලබා දීම, ආර්ථිකය නැවත සාමාන්‍ය තත්ත්වයට පත්කර ගැනීම හා ආර්ථික අවපාතයන් නැවත ඇතිවීම වළක්වා ගැනීම සඳහා මූල්‍ය ක‍්‍රම ප‍්‍රතිසංස්කරණය කිරීම ඉන් යෝජනා කෙරිණ. මෙම ප‍්‍රතිපත්ති මත එක්සත් ජනපදය සැලකිය යුතු ආර්ථික හා දේශපාලන වර්ධනයක් අත්කර ගත් අතර ඊට සමගාමීව සෙසු ධනවාදී ලෝකය ද මෙම ප‍්‍රතිපත්ති  අනුගමනය කරන්නට වූයෙන් ලෝකය පුරා එක්තරා සමාජ ශුභ සාධන රාජ්‍ය ක‍්‍රමයක් ස්ථාපිත විය. ධනවාදය සමාජ සුභසාධන ව්‍යාපෘතීන් කරා යොමුවන්නේ සමාජ අසහනය මෝදුවී එය එහි  පැවැත්මට තර්ජනයක් විය හැකි අවස්ථාවලදී බව මෙවැනි ඓතිහාසික සිදුවිම් මගින් පෙන්නුම් කරයිග  කෙස්වුවත් ධනවාදයේ නෛසර්ගික ගුණය- ලාභ අනුපාතය ඉහළ දමාගැනිමල ප්‍රාග්ධන ප්‍රසාරණය හා තරගකාරිත්වය මින් නිමා නොවීය. ප‍්‍රධාන කොටම එක්සත් ජනපදය, යුරෝපය හා ජපානය අතර තරගය උත්සන්න වීමෙන් නව ප‍්‍රාග්ධන ආයෝජන අවකාශයන් විවෘතකර ගැනීම, ලාභ ශ‍්‍රමය හා භාණ්ඩ සඳහා පළල් වෙළෙඳ පොලක අවශ්‍යතාව හමුවේ තරගය පෙරටත් වඩා තීව‍්‍ර විය. ප‍්‍රතිඵලය වූයේ ආර්ථික අර්බුදයන්ට යළි යළිත් මුහුණ දීමට සිදුවීම ය. කේන්සියානු ආර්ථික ප‍්‍රතිපත්ති තවදුරටත් පිළියමක් නොවන තත්ත්වයක් පෙන්නුම් කරන්නට විය. ප‍්‍රතිඵල වශයෙන් සම්භාව්‍ය ආර්ථික ගුරුකුලය මැඩ ගෙන 70 දශකය වනවිට ෆ්‍රෙඞ්රික්  හයෙක් (Friedrich Hayek), මිල්ටන් ෆී‍්‍රඞ්මන් වැනි නව ආර්ථික න්‍යායධාරීහු නව ලිබරල්වාදී ආර්ථික න්‍යාය ඉදිරිපත් කරන්නට වූහ. ඔවුහු ද ආර්ථිකය තුළ රාජ්‍යයේ මැදිහත්වීම අවධාරණය කළහ. එහෙත් ඉන් අදහස් කළේ වෙළෙඳපොල බාධක ඉවත් කිරීමේ රාජ්‍ය මැදිහත් වීමකි. ඇමෙරිකානු ජනාධිපති රොනල්ඞ් රීගන් (1981 - 89) හා එක්සත් රාජධානි අගමැතිනි මාග‍්‍රට් තැචර් (1978 - 1990) දැඩි ලෙස නව ලිබරල්වාදී ආර්ථික ප‍්‍රතිපත්ති අනුගමනය කළ පාලකයෝ වූහ. අද ජාත්‍යන්තර මූල්‍ය ආයතන හා සංවිධාන ලෝක ධනවාදී ක‍්‍රමය හසුරුවාලීමේ දී සිය මූලික උපාය මාර්ගය කරගෙන ඇත්තේ නව ලිබරල්වාදය යි.
නව ලිබරල්වාදයේ ප‍්‍රධාන ප‍්‍රතිපත්ති මෙසේ සම්පිණ්ඩනය කළ හැකි ය:  
ආණ්ඩු විසින් සීමාවන් පනවනු ලැබීමෙන් තොර වූ ලෝක ව්‍යාප්ත නිදහස් වෙළෙඳපොල (ගෝලීයකරණය)
ආණ්ඩුව සමාජ ශුභ සාධනයෙන් ඉවත්වීම
ලාභ ඉපයීමට අවහිර කරන සියලූ ව්‍යවස්ථාපිත නීති ඉවත් කිරීම
රාජ්‍ය ව්‍යවසායන් පෞද්ගලීකරණය කිරීම
ධනවතුන් හා ඔවුන්ගේ ව්‍යාපාර මත ලිහිල් බදු ප‍්‍රතිපත්තියක් අනුගමනය කිරීම
පොදු සමාජ යහපත වෙනුවට පුද්ගල යහපත කෙරෙහි බර තැබීම 
මෙම ප‍්‍රතිපත්ති සියල්ලේ මූලික හරය ප‍්‍රාග්ධන කි‍්‍රයාවලිය ප‍්‍රසාරණය සඳහා නිර්බාධිත ඉඩකඩ විවෘත කර ගැනීම හා එහි සුරක්ෂිතතාව තහවුරු කර ගැනීම ය.  සියලූ රටවල ධනපති පාලකයින් එම කි‍්‍රයා මාර්ගය අනුගමනය කළ යුතු ය. ඔවුන්ට අන් මගක් නැත. උපරිම වුවහොත් ඔවුන්ට කළ හැක්කේ එම කි‍්‍රයාමාර්ගයේ ඇතැම් පියවර ජනතාවන්ගෙන් නැගෙන විරෝධතාවන්ගේ ප‍්‍රබලතාවයේ මට්ටමට තාවකාලිකව තරමක් කල් දැමීම පමණකි. එහෙත් යළිත් ඒවා පෙරට ගනිමින් එකී කි‍්‍රයාමාර්ගය ඔස්සේ විරෝධයන්ට මුහුණ පාමින් හා එම විරෝධයන් මර්දනය කරමින් ඉදිරියට යනු විනා ඔවුන්ට අන් විකල්පයක් නැත. ඇත්තවශයෙන් නම් සමාජ ප්‍රශ්න සම්බන්ධයෙන් චෝදනාකිරිමේදී   ඒ හෝ මේ ආණ්ඩු වෙන් වෙන් වශයෙන් ගෙන නොව ඒවා  ධනවාදය සමග එකට තබා විමසිය යුතුව ඇතග  
නව ලිබරල්වාදයේ සෑම ප‍්‍රතිපත්තියක්ම යොමුව ඇත්තේ සමාජය ආර්ථික වශයෙන් බලගැන්වීම සඳහා හෝ එය මානුෂීය දිසාවකට යොමු කිරීම සඳහා හෝ නොව ස්වල්ප පිරිසක් අත සම්පත් කේන්ද්‍රගත කිරීම වෙත ය. තුච්ඡු ස්වාර්ථයම නගාලීම වෙත ය. නිදහස් වෙළෙඳපොල හේතුවෙන් කාර්යක්ෂමතාව වර්ධනය වීම, ආර්ථිකය ප‍්‍රසාරණය වීම, ආදායම් බෙදීයාම නිසි පරිදි සිදු වීම සහ තාක්ෂණය දියුණුවීම සිදුවන බවට නව ලිබරල්වාදය තර්ක කරයි.
කෙසේ වුවත් යථාර්ථය තර්කයට වඩා බොහෝ කර්කශ ය. නිරනුකම්පික තරගකාරිත්වයේ පරමාදර්ශයක් බවට පත්වන්නට එය සියලූ මානව සබඳතාවන්ට බල කරයි. පුද්ගලයා සමාජීය සත්වයකුගේ  සිට හුදු ස්වාධීන ආර්ථික කි‍්‍රයාකාරකයකුගේ තත්ත්වයට පරිවර්තනය කරයි. නව ලිබරල්වාදය අදවන විට කෙතරම් නම් අර්බුදයකට ලක්ව තිබෙන්නේ ද යත්  ධනවාදයේ පැවැත්මට ආශීර්වාදයක් ලෙස හඳුන්වා දුන් එය අද සාපයක් වී ඇති බව එන්ට එන්ටම පැහැදිලි වෙමින් තිබේ. මේ නිසා වසර 35 වැඩි තරම් කාලයක් නව ලිබරල්වාදය ඔස්සේ ගමන්කර තිබීමත් වත්මන් පාලකයින් තවදුරටත් දැඩි විශ්වාසයකින් ඒ මගම යාමට උත්සාහ දැරීමත් එකට ගෙන සයිටම් ප‍්‍රශ්නය සලකා බැලිය යුතු බව අපේ වැටහීමයි.
ලංකාවේ නව ලිබරල්වාදයේ නියමුවන් එය ලංකාවට ආදේශකර ගැනීමේ දී එහි ආදීනව සම්පූ්ර්ණයෙන්ම නොසලකා හැර ඇතිවා පමණක් නොව මෙහි ධනවාදය උත්තරාරෝපිත ධනවාදයක් ලෙස සහජාසයෙන්ම හිමිකර ගත් ආර්ථික, දේශපාලන හා සංස්කෘතික විකෘතියකින් යුක්තය යන කරුණ ද මුළුමනින්ම නොසලකා හැර තිබේ. මින් සිදු වූයේ ලංකාවේ විකෘතිමය ධනවාදය වඩාත් විකෘති තත්ත්වයකට පත්වීම ය. අධික දූෂණය, අල්ලස හා වංචාව, ඒ කරාම යොමු වූ ගොරහැඩි සදාචාර විරෝධී දේශපාලනය, ජාතිවාදය හා ආගම්වාදය ඒ අධි විකෘතියේ ප‍්‍රකාශනයන් ය. ධනවාදයේ නෛසර්ගික පීඩනයට වඩා මේ අධි විකෘති වූ ධනවාදයේ පීඩනය බරපතල ය, කර්කශ ය. 
පොදු මානව හා සොබා දහමේ නිසි සහ යහ පැවැත්ම සඳහා පෞද්ගලික ව්‍යවසාය අහෝසි කළ යුත්තක් වශයෙන් පැවතුන ද සංවර්ධිත ධනේශ්වර රටවල පෞද්ගලික ව්‍යවසාය අපේ වැනි උත්තරාරෝපිත, පසුගාමී ධනවාදී රටවලට සාපේක්ෂව යම් ප‍්‍රමිතියකින් යුක්තව කි‍්‍රයාත්මක වන බව දැකිය හැකි ය. එහෙත් පාර්ශවීය වශයෙන් මිස සමස්තයක් වශයෙන් ඒ ප‍්‍රමිතිය අපේ වැනි රටවල දී අත්කර ගැනීමේ ඉඩකඩ බෙහෙවින් අඩු ය. එහෙයින් පෞද්ගලීකරණය යටතේ සංවර්ධිත රටවල් අත්කර ගෙන ඇති ධනේශ්වර සංවර්ධනයේ මට්ටමට තබා ඒ ආසන්නයට හෝ ළංවීම නොහැකි කරන සන්දර්භයකි අපේ වැනි රටවල පවතින්නේ. 
ලෝක නව ලිබරල්වාදී  ප‍්‍රතිපත්ති සම්පාදකයන්ගේ ප‍්‍රමුඛ කාර්යයන්ගෙන් එකක් වූයේ නව ලිබරල්වාදය උදෙසා සමාජයේ ගැඹුරු දෘෂ්ටිමය පරිවර්තනයක් ඇති කිරීම ය. එනම් පුද්ගලයා අධ්‍යාත්මික වටිනාකමකින් යුත් නොව  හුදු නව්‍යකාරක ආර්ථික ජීවියෙකු නැතහොත් රොබෝවකු බවට පරිවර්තනය කිරීම ය. ඒ අනුව අධ්‍යාපනය, විශේෂයෙන් උසස් අධ්‍යාපනය සමාජ ශුභ සිද්ධිය නොව ස්වාර්ථකාමී පුද්ගල ශුභ සිද්ධිය සඳහා වූවක් ය යන්න තහවුරු කිරීම ප‍්‍රධාන අවශ්‍යතාවයක් බවට පත් විය. ‘‘සාහිත්‍යය කන්න ද?’’ යි මෙරට නව ලිබරල්වාදයේ නියමු ජේආර්ගේ මුවින් රළු ලෙස ප‍්‍රකාශිත වූ එම දෘෂ්ටිවාදය අද මටසිලිටු හා ඒත්තු ගන්වනසුළු ආකාරයකින් සැලකිය යුතු තරම් බුද්ධිමතුන් පිරිසකගෙන් ඉදිරිපත් වෙමින් පවතී. නව ලිබරල්වාදයෙන් එල්ල වී ඇති මෙම දෘෂ්ටිමය තෙරපුම කෙතරම් බලපෑම් සහගත ද කියනවා නම් අපේ ඇතැම් ප‍්‍රගතිශීලී  බුද්ධිමතුන් පමණක් නොව වික‍්‍රමබාහු කරුණාරත්න වැනි වාමාංශික නායකයින් පවා වත්මන් ආණ්ඩුවේ නව ලිබරල්වාදී ආර්ථික ප‍්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිටිනු දකින්නට පුළුවන. 
අප යළි සයිටම් ප‍්‍රශ්නය වෙත එළඹෙන්නේ නම් ‘‘සියලූ දෙනාට නිදහස් අධ්‍යාපනයේ අයිතිය තහවුරු කරනු’’ යන්න සයිටම් විරෝධී ව්‍යාපාරයේ ප‍්‍රධාන ඉල්ලීම ය. මෙය ලාංකීය සමාජයට අලූත් සටන් පාඨයක් නොවේ. එම ඉල්ලීම 1942 දී අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ සඳහා පත් කළ කොමිසම විසින් ‘අධ්‍යාපනය නාගරික පොහොසත් පිරිස්වලට පමණක් ලබා ගත හැකි වෙළෙඳ භාණ්ඩයක් වීම නවත්වා එය බාලාංශයේ සිට විශ්වවිද්‍යාලය දක්වා අය කිරීමකින් තොරව- නිදහස්ව - සියලු දරුවන්ට ලබා ගත හැකි විය යුතු ය’ යන නිර්දේශයට අනුව එවකට අධ්‍යාපන ඇමති සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතා විසින් 1945 දී කි‍්‍රයාත්මක කරන ලද වැඩපිළෙිවෙලට මුළුමනින්ම වාගේ අනුකූල බව කිව යුතු ය. 
සයිටම් විරෝධයට එරෙහි තර්ක
‘‘සියලූ දෙනාට නිදහස් අධ්‍යාපනයේ අයිතිය තහවුරු කරනු’’ යන්න සයිටම් විරෝධී ව්‍යාපාරයේ ප‍්‍රධාන ඉල්ලීම වන අතර ‘‘සෑම කෙනෙකුටම අධ්‍යාපනය ලැබීමට අයිතිය තිබිය යුතුය’’ යන්න පෞද්ගලික අධ්‍යාපනයට (සයිටම්) පක්ෂවාදීන්ගේ එක් මතයක් වේ. එයින් පළමු ඉල්ලීම තුළ එන ‘‘නිදහස්’’ යන්න හළා ඇත. එහි තේරුම ඔවුන් මුදල් අයකර අධ්‍යාපනය ලබා දීමේ ක‍්‍රමයකට ඉඩක් සැලසීම අනුමත කරන බව ය. එහෙත් මෙය නව ලිබරල්වාදී පනින රිලවාට ඉණිමං බැඳීමකි. ඒ මග යාමට ආණ්ඩු දිරිමත් කිරීමකි. මේ අයවැයෙන් (2017) අධ්‍යාපනයට වෙන් කරන මුදල් විශාල වශයෙන් කපා හැර තිබීම මීට හොඳ උදාහරණයකි. මුදල් ගෙවිය හැක්කන්ට නම් තවදුරටත් ‘‘නිදහස්’’ අධ්‍යාපනයක් අවශ්‍ය නැති බව ඇත්ත ය. එහෙත් විශේෂයෙන්ම රටේ බහුතරයක් වන දුප්පත් දරුවන්ට එය අවශ්‍ය ය. රටේ වාම හා සෙසු ප‍්‍රගතිශීලී කොටස් විසින් විශේෂයෙන් විශ්වවිද්‍යාල ශිෂ්‍ය ව්‍යාපාරය විසින් ජීවිත පරිත්‍යාගයෙන් ගෙන යනු ලැබූ  අරගල හේතුවෙන් විවිධ ආණ්ඩුවල කැපිලි කෙටිලි මැද්දේ නමුත් එම අයිතිය තවමත් සැලකිය යුතු තරම් දුරකට ආරක්ෂා වී ඇත. 
සයිටම් පක්ෂවාදීන් ඉදිරිපත් කරන තර්කයේ ප‍්‍රධාන ප‍්‍රස්තුතය වන්නේ සයිටම් විරෝධය තුළ පුද්ගලයෙකුට අධ්‍යාපනයට ඇති අයිතිය අහිමි කිරීමක් සිදුවන්නේ ය යන්න ය. නැතහොත් සෑම කෙනෙකුටම අධ්‍යාපනය ලැබීමට තිබිය යුතු අයිතිය සයිටම් විරෝධය විසින් උල්ලංඝනය කරනු ලබන්නේය යන්න ය. සන්දර්භයෙන් වෙන්කර ගෙන බලන්නේ නම් මේ තුළ සාධාරණ තර්කයක් ගැබ්ව ඇතැයි කෙනෙකුට පෙනී යා හැකි ය. එහෙත් ඇත්තටම නම් එහි ඇත්තේ පටු, කුහක, මධ්‍යම පංතික ස්වාර්ථකාමිත්වයේ තර්කණයක් මිස අන් කිසිවක් නොවේ. එක් පැත්තකින් ‘‘සෑම කෙනෙකුටම’’ යන පළල් සමාජ කොට්ඨාසයේ ආවරණය තුළ බහා ඔවුන් මේ කතා කරන්නේ ඉහළ මධ්‍යම පංතික සුළු ප‍්‍රතිශතයක් ගැන ය. එහෙත් ඔවුන් සිතාමතාම අමතක කරන තවත් පැත්තක් ඇත. ඒ උසස් අධ්‍යාපනය ලැබීමට සුදුසුකම් තිබියදීත් විශ්වවිද්‍යාලයට ඇතුල්කර නොගත් ඒ වගේම පෞද්ගලික විශ්වවිද්‍යාලවලට පුදන්න තරම් සල්ලි නැති විශාල පිරිසක් පිළිබඳ ප‍්‍රශ්නය ය. 2014/15 උසස් අධ්‍යාපනයට සුදුසුකම් ලත් සංඛ්‍යාව 149,572 කි. මින් රජයේ උසස් අධ්‍යාපන ආයතනවලට ඇතුළත්කර ගත් සංඛ්‍යාව 25,643 කි. ප‍්‍රතිශතයක් වශයෙන් 17% කි. ඒ අනුව උසස් අධ්‍යාපනය අහිමි වූ සංඛ්‍යාව 123,929 කි. එනම් 79. 56%කි. මේ අතරින් 23,929 ක්ම මුදල් ගෙවා පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන කරා යොමු වූවා යයි අප උපකල්පනය කළොත් උසස් අධ්‍යාපනය අහිමි වූ පිරිස 100,000 කි! මෙසේ වූයේ ඇයි? කරුණු දෙකක් නිසා ය. එකක් උසස් අධ්‍යාපනය සැපයීමට ආණ්ඩුව අපොහොසත්ව තිබීම ය. අනෙක පෞද්ගලික අධ්‍යාපනය සඳහා පිදීමට තරම් ඔවුන්ට මුදල් නොතිබීම ය. තමන්ගේ මුදලින් හෝ අධ්‍යාපනය ලැබීමට කෙනෙකුට අයිතිය තිබිය යුතු යයි කියන සයිටම් ක‍්‍රමයේ අධ්‍යාපනයට පක්ෂව පෙනී සිටින්නන්ගේ ගණනය කිරීම් තුළින් ඉහත කී බහුතරයක් වූ ‘‘අහිමි කරනු ලැබූවන්’’ හළා දමා නැති ද? 
ආණ්ඩුව එක පැත්තකින් අධ්‍යාපනය විකුණන අතර රටේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් වැය කරන මුදල් කපා හරිමින් සිටී. එමෙන්ම යම් සහන මුදලක් ගෙවා දුප්පත් සිසුන්හට ලබා ගැනීමට තිබූ බාහිර උපාධි පාඨමාලා නවතා දමා තිබේ. නමුත් විශාල මුදලකට විකුණන පාඨමාලා වෙනුවෙන් පෙනී සිටින අය එම සිසුන්ගේ අධ්‍යාපනයේ අයිතිය වෙනුවෙන් පෙනී නොසිටිති. අගමැතිවරයාට අනුව රටේ ජනගහනයෙන් 43% ක ආදායම දිනකට ඩොලර් දෙකක් නැති තරම් ය. රටේ ආදායමින් 80% ක් හිමිවන්නේ 20% ක් තරම් අතලොස්සකට ය. මෙවැනි රටක  රු. ලක්ෂ 120 කට වඩා වැඩි මුදලක් අධ්‍යාපන පාඨමාලාවකට වැය කළ හැක්කේ ජනගහනයෙන් ඉතා සුළු පිරිසකට බව ඉතා පැහැදිලි ය. රජය දුප්පත් දරුවන් වෙනුවෙන් අධ්‍යාපන අවස්ථා කපා හරිමින් විශාල ලෙස මුදල් වියදම් කළ හැකි සුළු කොටසකට නියමිත අධ්‍යාපන සුදුසුකම් නොමැති වුවත් අධ්‍යාපන අවස්ථා පළල් කරමින් සිටී. මෙයින් කියවෙන සත්‍යය කුමක් ද? අධ්‍යාපනයේ අයිතිය හිමිකරමින් තිබෙන්නේ විශාල මුදල් වියදම් කළ හැකි සුළු පිරිසකට පමණක් බව නොවේ ද? මෙම තත්ත්වය තුළ සිදු වන්නේ බමුණු කුලය  බිඳ වැටීම කෙසේ වෙතත් තව තවත් හොඳින් තහවුරු වීම නොවේ ද? අතලොස්සක් හැර මධ්‍යම පංතික සිවිල් ප‍්‍රභූන්   බොහෝ දෙනෙක් ප‍්‍රජාතන්ත‍්‍රවාදය, සාමය, සහජීවනය, නීතියේ සාධාරණත්වය, මානව අයිතීන්, යහපාලනය වැනි ගාම්භීර සටන් පාඨ හ`ඩ නැගීමේ දී යථා සම්බන්ධතාවන්ගෙන් ව්‍යුක්තව ඉදිරිපත් කරන්නේ ද මේ ලෙස ම බව අපි සිහි තබා ගත යුතු වෙමු.                   
සයිටම් පක්ෂවාදීන්ගේ තවත් තර්කයක් වන්නේ ලංකාවේ රාජ්‍ය අතිශයින්ම අකාර්යක්ෂම බවත් ඒ අනුව අනෙක්වා මෙන්ම අධ්‍යාපනය ද රජයම භාර ගැනීම එම අකාර්යක්ෂමතාව තවදුරටත් විශාලනය කිරීමක් බවත් ය. එහෙයින් පෞද්ගලික අධ්‍යාපන ක‍්‍රමය මනා ප‍්‍රමිතිකරණයක පිහිටුවා ආණ්ඩුවේ දැඩි නියාමනයට යටත් කළ යුතු යයි තර්ක කරති. දියුණු’ ධනපති රටවල අධ්‍යාපනය, සෞඛ්‍යය, ප‍්‍රවාහනය වැනි ඒවා නියමිත ප‍්‍රමිතීන්ට අනුව නියාමනය කරන බව පෙනෙන්නට ඇත. ඒ සාපේක්ෂ වශයෙන් 'දියුණු’ ප‍්‍රජාතන්තී‍්‍රය පරිසරයක ය. අනෙක් අතට එම රටවල් ඒ කියනි 'දියුණුව’ ලබාගෙන ඇත්තේ හුදෙක් ඒවායේ අභ්‍යන්තර සංවර්ධනයේ ගතිකයන්ගේම ප්‍රත්ඵලයක් වශයෙන් නොවේ. අතිතයේ හෝ වර්තමානයේ සෙසු ලෝකයම සූරාකැමට ගොදුරුකරගැනිම ද මගිනි. මෙම ක‍්‍රමය යටතේ සදාතනික ගොදුරු බිමක් විනා  ස්වායක්ත සංවර්ධනයක් සහිත  ලංකාවක් ගැන අපට බලාපොරොත්තු තබන්නට බැරි ය. නිදසුන් ලෙස පොදු ජනයා ගමන් බිමන් යන පොදු මගී ප‍්‍රවාහනය පෞද්ගලීකරණය කිරීමෙන් ඔය කියන කාර්යක්ෂමතාව හා ප‍්‍රමිතිය ළ`ගාකර ගෙන තිබේ ද? අද අප අත්විඳිමින් සිටින්නේ මොනතරම් නම් පිරිහුණු මගී ප‍්‍රවාහන සේවාවක් ද යන්න ගැන අමුතු පැහැදිලි කිරීමක් අවශ්‍ය නැත.  ඇත්තතටම නම් එවැනි ඒවා නව ලිබරල් ප‍්‍රතිපත්තියට වුව ද මුළුමනින්ම පටහැනි ය. මක්නිසා ද නව ලිබරල්වාදය නිතරම උපදෙස් ලබා දෙන්නේ ප‍්‍රාග්ධනය නන්නත්තාර කිරීමට නොව එය සංකේන්ද්‍රණයකර මනා කළමනාකරණය හා දියුණු තාක්ෂණය සමග මුසු කොට ඉහළ තලයකට ගෙන ඒමට ය. මගී ප‍්‍රවාහන සේවය පෞද්ගලීකරණය කිරීම යටතේ ලංකාවේ ධනවාදයට පිළිකාවක් වැළඳුනා මිස එහි අවම හෝ සංවර්ධනයක් සිදු නොවීය.  
සයිටම් ආයතනය ආයෝජන මණ්ඩලය යටතේ ලියාපදිංචි වූ දින සිට මේ දක්වා එහි සියලූ කටයුතු එකින් එක නිරීක්ෂණය කරන්නේ නම් පෞද්ගලීකරණ කි‍්‍රයාවලිය මොන තරම් වංචනික කූට ව්‍යාපාරයක් ද යන්න මනාව පැහැදිලිවේ. ලංකාවේ ධනවාදයේ පසුගාමීකමත් ඒ සමග වෙලී ඇති ජරාජීර්ණ දේශපාලන සංස්කෘතියත් විසින් කිසිම ක්ෂේත‍්‍රයක දියුණු ප‍්‍රමිතිකරණයක් හෝ මනා නියාමන ප‍්‍රතිපත්තියක් හෝ අනුගමනය කිරීමට හා කාර්යක්ෂමතාවක් අත්කර ගැනීමට ඉඩක් තබා නැත. අධ්‍යාපනයේ පෞද්ගලීකරණයට එම ඉරණම අත් නොවේ යයි කාට කිව හැකි ද?
නිදහස් අධ්‍යාපනය තුළින් වරප‍්‍රසාදිත ප‍්‍රභූ පැළැන්තියක් හා ඔවුන්ගේ ආධිපත්‍යයක් බිහිව ඇතැයි ද පෞද්ගලික අධ්‍යාපනය හරහා බිහිවන වෘත්තිකයින්ගේ ප‍්‍රවේශය මගින් එම ආධිපත්‍යය බිඳ වැටෙනු ඇතැයි ද සයිටම් පක්ෂවාදීන් ඉදිරිපත් කරන තවත් තර්කයකි. රජයේ වෛද්‍යවරුන්ගේ කි‍්‍රයාකලාපය තුළින් පෙන්නුම් කරන ප‍්‍රභූ අධිපතිවාදය පැහැදිලිවම ප‍්‍රතික්ෂේප කළ යුත්තකි. ඔවුන් එක් අතකින් සිය වෘත්තීය ජීවිතයේ දී නව ලිබරල්වාදය සමග මැනවින් ගැලපෙමින් ද අනෙක් අතට නව ලිබරල්වාදයේම ප‍්‍රකාශනයක් වූ සයිටම්වලට විරුද්ධ වෙමින් ද පෙන්නුම් කරන දෙබිඩි හැසිරීම සයිටම් පක්ෂවාදීන්ට අවියක්ව තිබුණ ද එයින් සයිටම් ඔස්සේ හඹා එන අධ්‍යාපනයේ පෞද්ගලීකරණය යුක්ති යුක්ත කරන්නට බැරි ය. සයිටම් පන්නයේ වෛද්‍යවරුන් හරහා වත්මන් වෛද්‍යවරුන්ගේ ප‍්‍රභූ ආධිපත්‍යයට අභියෝගයක් එල්ල කළ හැකිවන්නට පුළුවන. නමුදු එවැනි වෛද්‍යවරුන් හරහා ඊටත් වඩා ප‍්‍රභූ හා හිතක් පපුවක් නැති ‘‘රෝබෝටික’’ ආධිපත්‍යයක්  බිහි නොවනු ඇතැයි සහතික කළ හැක්කේ කාට ද? නිදහස් අධ්‍යාපනයෙන් උපන් වෛද්‍යවරුන්ගේ ආධිපත්‍යය මෙහෙම නම් මිලියන ගණනින් ගෙවා වෛද්‍යවරුන් වන්නන්ගෙන් මතුව ආ හැකි ආධිපත්‍යය කෙබඳු විය හැකි ද?
අධ්‍යාපනය පොහොසත් පිරිස්වලට පමණක් ලබාගත හැකි වෙළෙඳ භාණ්ඩයක් වීම නවත්වා එය සියලූ දරුවන්ට අයකිරීමකින් තොරව ලබා ගත හැකිවිය යුතුය යන නිදහස් අධ්‍යාපනයේ මූලික අරමුණ නැවත සිහිපත් කළ යුතු ය. ඒ සමගම   අධ්‍යාපනය පූර්ණ රාජ්‍ය පාලනය යටතට පත්වුවත්   එමගින් එහි සියළු ගැටළු නිරාකරණය වන්නේයැයි අපි  මොහොතකටවත් විශ්වාස නොකරමු. මක්නිසාද විශේෂයෙන්ම ලංකාවේ ධනවාදය එහි අසමත් බව නැවත නැවතත් ඔප්පුකර ඇති නිසාය.   
අන් සෑම කරුණක් සම්බන්ධයෙන් මෙන්ම කොමියුනිස්ට්වාදීන් ලෙස අපි අධ්‍යාපනය සම්බන්ධයෙන් ද නිශ්චිත හා පැහැදිලි ප‍්‍රතිපත්තියක පිහිටමු. එනම් කොමියුනිස්ට් ප‍්‍රකාශනයේ 2 වන පරිච්ඡේදයේ යෝජිත කි‍්‍රයා මාර්ග අතර අංක 10 න් ප‍්‍රකාශිත ‘සියලූ දරුවන් සඳහා නිදහස් අධ්‍යාපනය’ යන ඒ මූලික ප‍්‍රතිපත්තිය මත පිහිටමු. පවුලේ සිට පුළුල් සමාජය දක්වා පැතුරුණු කි‍්‍රයාවලියක් හරහා අසංවිධිත හා සංවිධිත ආකාරයෙන් පුද්ගලයා තුළ දැනුම, සමාජීය අගයන් සහ නිපුණතාවන් සංවර්ධනය කිරීම අධ්‍යාපනයෙන් අදහස් කෙරේ. පැහැදිලිවම මෙම කි‍්‍රයාවලිය සෑම කල්හිමත් සෑම තැනකදීමත් සමාජීය සහභාගිත්ව කි‍්‍රයාවලියකි. එය කිසිසේත් විකිණීමට හෝ මිලදී ගැනීමට සැකසුණු පෞද්ගලික නිෂ්පාදනයක් හෝ පෞද්ගලික සංස්ථාවකට අයත් කාර්යයක් නොවේ. එය රජයක පැහැර හැරිය නොහැකි වගකීමකි. ලෝකය පුරාම විශේෂයෙන් අසල්වැසි ඉන්දියාවේ නිදහස් අධ්‍යාපනයේ අයිතිය වෙනුවෙන් පුළුල් සමාජ ව්‍යාපාරයක් කි‍්‍රයාත්මක වෙමින් පවතියි. සටන්කාමී ශිෂ්‍ය හා මහජන ව්‍යාපාර හේතුවෙන් ලංකාවේ නිදහස් අධ්‍යාපනය අර්ධ වශයෙන් හෝ මුළුමනින්ම හෝ පෞද්ගලීකරණය කර වෙළෙඳ භාණ්ඩයක් බවට පත් කිරීමට ආණ්ඩු මෙතෙක් දැරූ උත්සාහයන් ව්‍යර්ථ වී ඇත. ලංකාවේ ආර්ථිකය නව ලිබරල් ප‍්‍රතිපත්ති සමග ගැට ගැසීමට අරමුණුකර ගෙන සිටින මෛතී‍්‍ර-රනිල්   ආණ්ඩුවට සයිටම් ප‍්‍රශ්නය ‘මුට්ටිය දමා බැලීමකි.’ සයිටම් විරෝධී ව්‍යාපාරය පළල් මහජන ව්‍යාපාරයක් ලෙස අනවරතව පෙරට ගෙන යා  යුත්තේ වැඩිමනත්ම මේ නිසා ය. 
අප සයිටම් ප‍්‍රශ්නය සලකා බැලිය යුත්තේ මේ සියල්ල සමග එකට ගෙන බව අපේ වැටහීම ය. ඒ අනුව අප පහත සඳහන් කරුණු සැලකිල්ලට ගත යුතු බව අපේ අදහසයි.
සයිටම් විරෝධී අරගලය පෙරට ගත යුත්තේ හුදෙක් සයිටම් අහෝසි කිරීමේ තනි අරගලයක් ලෙස නොව නිදහස් අධ්‍යාපනය උදෙසා (මෙන්ම රජය විසින් මහජන ශුභ සිද්ධිය සඳහා අවශ්‍යයෙන්ම පවත්වාගත යුතු සේවා පෞද්ගලීකරණයට එරෙහිව) කරන සමස්ත අරගලයේ කෙටසක් ලෙස ය. සමස්ත අධ්‍යාපනයම දරුණු පෞද්ගලීකරණයකට කොටුවී තිබිය දී  හුදෙක් සයිටම්වලින් නිදහස් අධ්‍යාපනය මුදවා ගැනීමට සීමාවන අරගලයක් ශක්තියෙන් වැඞීයාමේ විභවයෙන් අඩු බවක් පෙන්නුම් කරයි. 
මෙම සයිටම් ප‍්‍රශ්නය නිදහස් අධ්‍යාපනය සඳහා එනම් අධ්‍යාපනය පෞද්ගලීකරණයට/ වෙළෙඳභාණ්ඩකරණයට පත් කිරීමට එරෙහිව කළ යුතු අරගලයක් බවට අනිවාර්යයෙන්ම පත්වන හෙයින් කෙටිකාලීන ජයග‍්‍රහණ අපේක්ෂාවෙන් අරගලය සංවිධානය කිරීමේ දුෂ්කරතාව හඳුනාගත යුතු ය. එය දිගු කාලීන අරගලයක් වන්නේ එය ලෝක ක‍්‍රමය සමග ගැට ගැසුණු රජයේ දිගුකාලීන ප‍්‍රතිපත්තිය සමග බැඳී ඇති හෙයිනි. 
එහෙයින් එම අරගලය නිදහස් අධ්‍යාපනය හා අධ්‍යාපනය පෞද්ගලීකරණයට එරෙහි අරගලය තුළ පමණක් නොව ජනතාවගේ සෙසු ප‍්‍රජාතන්තී‍්‍රය අයිතීන් උදෙසා කළ යුතුව තිබෙන අරගලය සමග ඒකාබද්ධ අරගලයක් බවට පත් කිරීමට යොමු විය යුතු ය. මෙම අරගලය හුදෙක් ශිෂ්‍ය ව්‍යාපාරයට පමණක්, ශිෂ්‍ය ව්‍යාපාරයේ නායකත්වයෙන් පමණක් ජයග‍්‍රහණය කරා ගෙන යාම දුෂ්කර බව වටහා ගැනීම  ද අවශ්‍ය වේ. 
අරගලයේ ස්වභාවය හා සන්දර්භය අනුවම එය උද්ඝෝෂණ සටන් පාඨයක වපසරියේ සීමා මායිම් තුළම ජයගත හැක්කක් ද යන්න සලකා බැලිය යුතු ය. එය අද උද්ඝෝෂණික අන්තර්ගතයක් ගෙන තිබුණ ද එමෙන්ම එය ආරක්ෂා කළ යුතුව තිබුණ ද එය මේ මොහොතේ ඉදිරියට ගත යුත්තේ ප‍්‍රධාන කොටම කුමන සටන් පාඨ අන්තර්ගතකර ගන්නා සන්දර්භයකින් ද යන්න පිළිබඳව බැ?රුම් අවධානයක් යොමු කළ යුතු ය. මන්ද රජයේ අතිමූලික ප‍්‍රතිපත්තියක් පැරදවීමට පුළුල්තම ජනයා දිනා ගැනීමෙන් තොරව අසීරුවන නිසා ය.   
එමෙන්ම අරගලයේ ඇතැම් සටන් පාඨ අරගලය පදනමින්ම බිඳ දමන ඒවා ලෙස මතු වී පෙනෙන බව ද පැවසිය යුතු ය. නිදසුන් ලෙස  මාලබේ වෛද්‍ය විද්‍යාලය වෛද්‍ය සභාවේ අනුමැතියෙන් පිහිටුවන ලද්දක් නොවේ, එය නීති විරෝධීය, ඊට නිසි ප‍්‍රමිතියක් නැත, වෛද්‍ය විද්‍යාලයක් බවට පත් වීමට අවශ්‍ය කරන මුලික අවශ්‍යතා සපුරා නැත. පුහුණු වීමට නිසි ශික්ෂණ රෝහල් නැත. මේ සියල්ල සපුරාලිය හැකි දේ ය. ඒවා සපුරනු ලැබුවහොත් අරගලයට සිදුවනු ඇත්තේ කුමක් ද? 
එහෙයින් මෙම අරගලය පරාජය වීමකට ඉඩ නොතබා එහි දිශානතිය හා එල්ලය කෙටිකාලීන නොව දිගු කාලීන එකක් බවට පත්කර ගන්නා හා අරගලයේ යෙදී සිටින බලවේග ආරක්ෂාකර ගන්නා සේම ඔවුන් සැබෑ කි‍්‍රයාකාරීන් ලෙස ඔසවා තැබීමට හැකි ප‍්‍රවේශයකින් යුතුව අපි මේ අරගලය සමග අතිනත ගත යුත්තෙමු.
අපට අවසාන වශයෙන් කීමට ඇත්තේ අධ්‍යාපනය යනු මිනිසුන් ශික්ෂණය කරන්නක් විනා වෙළෙඳපොලේ විකුණන වෙළෙඳ භාණ්ඩයක් නොවිය යුතු හෙයින්  එසේ නොවේ යයි සිතන සියලූ දෙනා මෙම අරගලයට නිසි දායකත්වය දිය යුතුය යනුයි.    



No comments:

Post a Comment

Featured Post

අධ්‍යාපනය අයිතියකි ! විකිණීම සඳහා නොවේ !

දකුණු ආසියාතික තාක්ෂණික හා වෛද්‍ය ආයතනය (සයිටම්-  SAITM, The South Asian Institute of Technology and Medicine)    2008 ඔක්තෝබර් 1 දින ආයෝජ...