දෙමළ ජාතික ප‍්‍රශ්ණය පෙසපෙ යේ පරණ කෝට්


පෙරටුගාමි සමාජවාදී පක්ෂය එහි දෙවන ජාතික සමුළුව නිමිතිකරගෙනදේශපාලන කෘති කීපයක් නිකුත්කර තිබිණි. ඉන් ‘ලංකාවේ ජාතික ගැටළුව විසදිම පිලිබද මාක්ස්වාදී ස්ථාවරය සදහා ප‍්‍රවේශයක් කෘතිය තුල ලංකාවේ දෙමළ ජාතික ගැටළුව සම්බන්ධයෙන් ඔවුන්ගේ ස්ථාවරය දක්වා ඇත.  ජවිපෙ තුලින් උපත ලත් පෙසපයට ජවිපෙහි ජාන ලක්ෂණ තිබිම පුද්මයක් නොවේ. ඒ තරමට එය ජවිපෙ නායක විජේවීර විසින් ලියා ඇති ‘දෙමළ අරගලයට විසදුම කුමක්ද ‘ යන කෘතියෙහි ඉදිරිපත්කරන ව්‍යාජ විශ්ලේෂණයන් හා ජාතික ප‍්‍රශ්ණය අරඹයා ඉදිරිපත්කරන ලෙනින් වාදයට පටහැනි ප‍්‍රතිපත්තිවලට සම්පූර්ණයෙන්ම අනුරූපව ඇත. පෙසපය දැන් දූවිලි ගසාදමා අන්දන්න යන්නේ ඒ පරණ කෝට් එකමය. 

පෙසප කෘතියෙහි ඉදිරිපත්කරන මූලික කරුණු සියල්ලෙහි අතාර්කික බව හා එකිනෙකට නොගැලපෙන බව පෙන්වාදීම ප‍්‍රමාණවත් කෘතියකින් කළ යුත්තකි. එය ඉදිරියට තබා මෙම ලිපිය ජාතික ගැටළුව විසදීමට පෙසපය කරන යෝජනාව ගැනත් ඉන් එම ගැටළුවේ හරය මගහැර යන්න ඔවුන් දරන උත්සාහයේ විකාරසහගත බවත්  පෙන්වාදිමට සීමාකරමු. 
‘ජාතික ගැටළුව විසදිය හැක්කේ සියළු ජාතික ජන කොටස් සදහා ප්‍රජාතන්ත්‍රවාදි හා සමාන අයීතින් ලබාදීමෙනි’. ඒ සදහා විශේෂයෙන් උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල හා පොදුවේ තමිල් ජනතාව මද්‍යයේ  ප්‍රජාතන්ත්‍රවාදය හා සමානාත්මතාව තහවුරුකළ යුතුය. ජාතික පීඩනය අහෝසිකරන්නාවු භාෂාවේ  සංස්කෘතියේ රාජ්‍ය පාලනයේ පවත්නා වෙනස්කම් අහෝසිකිරිම සදහා නිති සම්පාදනය කළ යුතුය’ : ඉහත කෘතිය 348 පිට* ඒ සදහා සක්‍රීය මැදිහත්විමට අදාළව ඉල්ලීම් ස්වරූපයේ කරුණු 5 ක්ද  ක්‍රියාකාරකම් 29 ක්ද එම කෘතියේම 22 වන පරිච්ඡේදයේ සම- අයිතිය ව්‍යාපාරය’ යටතේ දක්වා ඇත.  
 ජාතික ප්‍රශ්ණය විසදිමට අවශ්‍ය  සම්පූර්ණ පිළියම දැන් අප ඉදිරිපිට ඇත. මොනතරම්නම් සරළද? මේ තරම් පහසු සරළ පිළිතුරක් තිබියදී සන්ද්ධ අරගලයකට පිවිසෙන්න තරම් දෙමළ ජනයා මෝඩවුනේ ඇයි? කිව නොහැකිතරම් අති විශාල සමපත් ප්‍රමාණයක් හා   දහස් ගණනකට ජීවිතය අහිමිකරමින් ආණ්ඩු යුද්ධයක් අල්ලාගෙන පිස්සු නැටුවේ ඇයි? මොටර් රථ  ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව, පුද්ගලයන් ලියාපදිංචිකිරිමේ දෙපාර්තමේන්තුව වැනි රාජ්‍ය ආයතන  තුල දෙමළ භාෂාවෙන් කටයුතුකිරිමට පහසුකම් සැලසීමෙන් මේ ප‍්‍රශ්ණය ගොඩින් බෙරාගැනිමට  ආණ්ඩු  ක්‍රියා නොකලේ ඇයි? අද වනවිට ඔද්දල්වී ඇති ප‍්‍රමාණය අනුව ජාතික ප‍්‍රශ්ණය මේ තරම් සරළ පිළියම් යොදා නිවාරණය කළ නොහැකි තත්ත්වයකට පත්ව ඇති බව පෙසපයට නොවැටහේද?  පෙනෙන්නේ ජවිපෙන් කැඞී වෙන්වි ඇතත් තවමත්  බොහෝ පැතිවලින් පෙන්නුම්කරන ආකාරයේ ජවිපෙ ජානමය උරුමයන් වෙතින් ඔවුන්ට ගැලවිගත නොහැකි බවකි.    
දෙමළ ජනතාව  මධ්‍යයේ   ප්‍රජාතන්ත්‍රවාදය හා සමානාත්මතාවය තහවුරුකළ යුතුය යන පෙසපයේ යෝජනාවට 1940 ගණන්වලදී නම් යම් වලංගුබාවයක් තිබෙන්නට ඉඩ තිබිණි. එදා සමසමාජ පක්ෂය සිංහල සහ දෙමළ භාෂාවන් දෙකටම රාජ්‍ය භාෂා තත්ත්වය ඉල්ලා  සිටි අතර කො. පක්ෂය ඊටත් වඩා දුර යමින් දෙමළ ජනතාවට ස්වයං තීරණ අයිතිය පවා ඉල්ලා සිටියාය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා සමානාත්මතාවය සඳහා ඉල්ලිම එතරම්ම පැරණිය.  එහෙත් ඒ ඓතිහාසික තත්ත්වයන්ට එම ඉල්ලීම්වල ගැලපිමක් තිබිනි.  වෙන්වීමේ උවමනාව කරා තවමත් දෙමළ ජනතාව තල්ලුකරදමා නැති අවදියකි ඒ.  අසාර්ථක සාකච්ඡා ගිවිසුම් හර්තාල්   හරහා ඒ අවදිය ගෙවි ගොස් හමාරය. වැඩි දුරටත්  දකුණේ සිංහල අධිපති ආණ්ඩු දෙමළ ජනතාවගේ ජාතික අභිලාෂයන්ට එරෙහිව කුරිරු යුද්ධයක් දියත්කර ඔවුන්ගේ අභිමානය බිමටම පොඩිපට්ටම් කර දමා ඇති   වර්තමානයකි මේ. එවැනි තත්ත්වයක් හමුවේ පෙසපයේ  ‘  ප්‍රජාතන්ත්‍රවාදය හා  සමානාත්මතාවය‘ යොජනාව විහිළුවක්ම පමණි. ජාතික ගැටළුවේදි  ‘ ප්‍රජාතන්ත්‍රවාදය හා සමානාත්මතාවය‘ යෝජනාව වලංගුවන්නේ ස්වයංතීරණ අයිතියේ ප‍්‍රතිපත්තිය මත පිහිටා සමාජවාදී වැඩපිලිවෙලක් සමග සම්බන්ධිතව  ඉදිරිපත්කරන්නේ නම් පමණකි. ඉන් මාක්ස්වාදීන් හා ලිබරල්වාදීන් අතර පැහැදිලි වෙනස පිලිබිඹුකෙරෙයි. නොඑසේ නම් එය පැහැදිලි ලිබරල්වාදි සටන් පාඨයකි.    
පෙසපය කියන ආකාරයට ජාතික  ප්‍රශ්ණය පැනනැගී ඇත්තේ   භාෂාවේ  සංස්කෘතියෙ හා රාජ්‍ය‘ පරිපාලනයේ අසමානකම් නැතිකරන නීති නොමැති නිසාය. ඒ නීති පැනවීමෙන්  ජාතික  ප්‍රශ්ණය විසදෙයි.  78 ආණ්ඩුක්‍රමව්‍යවස්ථාවේ මුලික අයිතිවාසිකම් ඡේදයේ 12 වගන්තිය යටතේ සියළු පුද්ගලයන් නිතිය ඉදිරියේ සමාන වන අතර නීතියේ සමාන රැකවරණය  ලැබිමට හිමිකම් ඇත්තෝය. වාර්ගිකත්වය, භාෂාව, සංස්කෘතිය, කුලය,  ලිංගිකත්වය , දේශපාලන අදහස්,  උපන් ස්ථානය වැනි කිසියම් කරුණක් මත පුද්ගලයන් වෙනස්කොට සැලකිම නොකළ යුතුය. ඉතිං මේ විදියට සමානාත්මතාවය සහතික කරන නීති රෙගුලාසි ගොන්නක් ඉහටත් උඩින් අප සතුව ඇත.  බැලූබැල්මට දෙමළ ජනතාව විශේෂ කරගත්, ඔවුන්ව වෙනස්කොට සලකන, ඔවුන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රිය අයීතින් සිමාකරන  කිසිම වගන්තියක් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අග සිට මුලට පීරා බැලූවත් සොයාගත නොහැක. එසේ  නිශ්චිත නිතියක් මගින් ආවරණය නොකර තිබියදීත් සිංහල රාජ්‍ය බල ආධිපත්‍යය 48 සිටම සුළුතර දෙමළ ජනතාව මත මුදාහැරෙයි. ඉන්  ඔවුන්ගේ ආර්ථික, සංස්කෘතික, සමාජීය හා දේශපාලන ජිවිතයේ වර්ධනය මොටකෙරුනි. වැඩිදුරටත් ඔවුන්ගේ ජාතික අභිමානය සමච්චලයට ලක්කෙරුනි. සිංහල බහුතරය පිලිගැනිමට අකමැති දෙමළාට ඇති ප‍්‍රශ්ණයයේ යථාර්තය එයයි. ඒ  වගේම ඊට එරෙහිව දෙමළ පිඩිත ප‍්‍රතිරෝධක ව්‍යාපාරයක් ද පැවති බවත් අදත් පවතින පවත් පැහැදිලිය. එසේ   නිශ්චිත නිතියකින් නොවේ නම් මේ සිංහල රාජ්‍ය බල ආධිපත්‍යය ගලාගෙන එන්නේ කොතැනකින්ද? එය ව්‍යවස්ථාපිත යම් නීති රෙගුලාසියක් මගින්  ප‍්‍රකාශවන්නේ නම්   හදුනාගැනිම එතරම් අපහසු නැත. එසේ නම් පෙසපය කියන ආකාරයට එවැනි අධිපතිවාදි නීති අහෝසිකරන මෙන් හා සමානාත්මතාවය තහවුරුකරන නව නීති පනවන ලෙස ඉල්ලා සිටිය හැක. 
72 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුලින් ලංකාව ‘ඒකීය රාජ්‍යයක්‘ ලෙස ස්ථාපිතකිරිම මගින් ජාතික ගැටළුව නිර්මාණය වුයේ යැයි සැලකිය නොහැක. මක්නිසාද ජාතික ගැටළුව ප‍්‍රකාශවෙන්නේ ඊටත්  පෙර සිටය. 72 ව්‍යාවස්ථාව මගින් කළේ දෙමළ ජාතික ගැටළුව ‘ලියාපදිංචිකර‘ ඊට එරෙහිව සිංහල රාජ්‍ය අධිපතිවාදය වටා ආරක්ෂක වැටක් බැඳගැනීමය. 78 ව්‍යවස්ථාව මගින් ද කළේ එයමය. 
ඇත්තවශයෙන්ම ජාතික ගැටළුවේ ප‍්‍රභවය ඇත්තේ ලංකාවේ රාජ්‍යය පිහිටුවාගැනීමේදී නියෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදී සංකල්පය පටු කෝණයකින්  භාවිතයට යොදාගැනීම තුලය. එහිදී ලංකාව බහු වාර්ගික, බහු සංස්කෘතික රටක්ය යන්න නොසලකා හැර ඇත. සුළුතර ජනයාගේ උවමනාවන් සාක්ෂ්‍යාත්ක්රගත හැකි පරිදි  අවශ්‍ය  දේශපාලන බලය ඔවුන් වෙත ලබා දෙනවා වෙනුවට නියෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදය  උපයෝගීකර ගත්තේ නොවැරදීම සිංහල මහ ජාතිය වෙත රාජ්‍යයේ ආධිපත්‍යය හිමිවෙන ලෙසය. මොනතරම් නිදහස්, සාධාරණ මැතිවරණයක් පැවැත්වුත් අවසානයේ ජයග‍්‍රහණය කරන්නේ  සිංහල මහ ජාතිය නියෝජනයකරන පාර්ශවයකි. දෙමළ ජනයා වෙත යමක් ලබාගැනිමට අවශ්‍ය නම් කළයුත්තේ දෙමළ ජාතික නියෝජිතයන් ඒ ඒ සිංහල ආණ්ඩුවලට හේත්තුවි කන්කෙඳිරිගැමය, නැතිනම් සාකච්ඡා මේසවල කල්මැරීමය. එහෙත් ඉන් දෙමළ ජනයා මත පැටවුන පිඩනය විශාලනයවිම හැර ලැබුන සාධනිය දෙයක් නැත. 
නියෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදය ලංකාවට ගලපාගැනිමේදී  ජන වාර්ගික විෂමතාවයන් සැලකිල්ලට නොගැනීමේ  අමනෝඥකම පිළිබඳ චෝදනාව පැහැදිලිවම අතීත ධනපති පංතික දේශපාලන නායකයන් වෙත එල්ලවිම නොවැළැකිවියහැක. බලය උදෙසා සිංහල බහුතරයේ ඡන්ද මත යැපිම ඔවුන්ට අත්‍යාවශ්‍ය විය. වත්මන් ධනපති පංතික දේශපාලන නායකයන් ද මින් ගැලවිගත නොහැකිව ඇඹෙරෙමින් සිටිනු පෙනේ. 
ජාතික ගැටළුව දැන් ඇත්තේ පෙසපය හිතන තරම් සරළ නීති හඳුන්වාදිම මගින් නිරාකරණයකළ නොහැකි මට්ටමකය. අනෙක් අතට පෙසපය ජාතික ගැටළුව විසඳිය හැක්කේ සියළු ජනකොටස් සඳහා ප‍්‍රජාතන්ත‍්‍රවාය හා සමාන අයීතීන් ලබාදීමෙන් යැයි කියා කටගන්නටත් පෙර ‘එය ධනවාදයට කළ නොහැක‘ යැයි කියයි. (එම කෘතිය 348 පිට වරහන් තුල කොටස බලන්න) මේ පරස්පරතාවය පැනනගින්නේ අන් යමකින් නොව ‘පුරුද්දේ බලය‘  ඉස්මතුවිමෙනි. ජාතික ගැටළුවට විසඳුම ඇත්තේ සමාජවාදය යටතේ පමණකැයි යන ජවිපෙ පැරණි වාග් මාලාව පුනරුච්ඡාරනයකිරීමකි. 
ධනවාදය අසමත්ය යන්න වත්මන් සමාජ සංවර්ධන අවධියට අදාළ පොදු ප‍්‍රවාදයක් මිස ධනවාදයට කිසිවක්ම කළ නොහැකියැයි ඉන් අදහස් නොවේ. ජාතික ගැටළුවට බලය බෙදිම වැනි සාපේක්ෂ විසඳුමක් කරා හෝ යාමට ධනපති ආණ්ඩුවකට හැකියාවක් නැතැයි කීම එතරම්ම යතාර්ථයක් නොවන බව කිවයුතුය. 
ලංකාවේ දැන් ක‍්‍රියාත්මක නියෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදය දෙමළ ජාතික අනන්‍යතාවය යුක්තිසහගත අයුරින් ප‍්‍රකාශකෙරෙන පරිදි ගැඹුරු වෙනසකට ලක්කළ යුතුය. එය කළ හැක්කේ පූර්ණ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණයක් මගින් පමණි.   මෙහිදී අපට මුණගැසෙන ප‍්‍රධාන අභියෝගයක් වන සිංහල බෞද්ධ ස්වෝත්තමවාදය පරාජයකිරිම අත්‍යාවශ්‍යය.  
මේ සඳහා වු අරගලයේ පෙරමුණ ගතයුත්තේ වාමාංශික ව්‍යාපාරයයි.  එහෙත් අවාසනාවකට ඔවුන් එය එහෙමපිටින්ම අතහැරදමා ඇත.  









     


No comments:

Post a Comment

Featured Post

අධ්‍යාපනය අයිතියකි ! විකිණීම සඳහා නොවේ !

දකුණු ආසියාතික තාක්ෂණික හා වෛද්‍ය ආයතනය (සයිටම්-  SAITM, The South Asian Institute of Technology and Medicine)    2008 ඔක්තෝබර් 1 දින ආයෝජ...