අරගල කරන්නන් නව අරගල උපායන් හා උපක්‍රම සෙවිය යුතු හා භාවිතයට නැගිය යුතු අවස්ථාවක් හමුවට

පමුණුවා තිබේ


2022 ආරම්භත් සමග අප සමාජය ආර්ථික හා දේශපාලන යන දෙඅංශයෙන්ම අපගේ ඉතිහාසයේ මෙතෙක් නොවූ විරූ

තීව්‍රතායකින් කඩා පාත් වූ තියුණු අර්බුදය මේ වන විට තරමක් ලිහිල් වෙමින් පවතින බවක් නිරීක්ෂණය කළ

හැකිය.


“ශ්‍රී ලංකාවේ ආහාර, සෞඛ්‍ය හා බලශක්ති සුරක්ෂිතතාව ශක්තිමත් කිරීම” සඳහා 2017 මාර්තුවල ඉන්දීය

ආණ්ඩුව ලංකා ආණ්ඩුවට ඩොලර් බිලියනයක සහන ණය පහසුකමක් සැපයීම ද 2023 අප්‍රේල්වල අයිඑම්එෆ්

පැකේජය අනුමත වීම ද එහි පළමු වාරිකය වන ඩොලර් මිලියන 330 ලැබීම ද අයිඑම්එෆ් පැකේජයෙන් පසු ලෝක

බැංකුවේ ආයෝජන හස්තය වන ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව ඖෂධ, ආහාර, පොහොර ඇතුළු අත්‍යවශ්‍ය ආනයන

සඳහා ඩොලර් මිලියන 400 ක් (පෞද්ගලික බැංකු තුනකට) සැපයීම ද ලංකාවේ ආහාර අර්බුදය සමහන් කිරීම සඳහා

ආසියානු ආසියානු සංවර්ධන බැංකුව ඩොලර් මිලියන 200 ක හදිසි ණයක් අනුමත කිරීම ද මේ ලිහිල් වීමට හේතු වී

තිබේ. මේ සියල්ල සමගින් දියත් කරන ලද තිරසර මර්දනය මගින් විරෝධතා රැල්ලේ යම් පසු බැස්මක් ඇති කිරීමට

ආණ්ඩුව සමත්ව තිබීම ද මෙම ආර්ථික ලිහිල්කරණයට යම් දුරකට හේතු වී තිබේ.


මෙම ලිහිල්කරණය සිදු වන්නේ ප්‍රධාන කොටම ආණ්ඩුවට ගැලවී ගැනීම සඳහා එල්ලී ගැනීමට සිදුව තිබූ ජීව යොත

වූ අයිඑම්එෆ් පැකේජය අනුමත වීම හේතු කොට ගෙන ය. වසර හතරක් සඳහා වන මෙම පැකේජයෙන් අනුමත මුදල

ඩොලර් බිලියන 2.9 කි. ආණ්ඩුවේ වගකීමැති ආණ්ඩුව, රාජ්‍ය ව්‍යවසායන් හා මහ බැංකුව ගෙවීමට ඇති යෝධ ණය

කන්දරාව වන ඩොලර් බිලියන 83.6 (මින් විදේශ ණය ඩොලර් බිලියන 36.73 කි) සමග ගත් විට ඩොලර් බිලියන 2.9

ක් යනු බැලූ බැල්මට හාස්‍යෝත්පාදනීය ප්‍රදානයක් වන්නේ වුව ද එමගින් ලැබෙන සහතිකය ආණ්ඩුව පත්ව සිටි

තත්ත්වයට සාපේක්ෂව එහි පැවැත්ම සඳහා ලැබෙන සැලකිය යුතු අත්වැලක් වනු ඇති බව යථාර්ථයකි.


අයිඑම්එෆ් පැකේජය යනු තාවකාලිකව යම් ප්‍රකෘතිමත්භාවයක් අත් කර ගැනීම සඳහා ආණ්ඩුවට අවස්ථාවක් ලබා

දෙන එහෙත් ප්‍රතිකූල වශයෙන් ජනතාවට චිරස්ථායි බරපතල අතුරු ආබාධ ඇති කරන කටුක තිත්ත කසායකි.

ආණ්ඩුවේ වඩාත් නිවැරදිව කීවොත් පාලක පංතියේ පැවැත්ම සඳහා විවිධ මාත්‍රාවන්ගෙන් නියම කරනු ලබන මෙම

කසාය පාලකයන් විසින් ජනතාවට පොවනු ලබන්නේ බලහත්කාරය ද රැවටිල්ල ද දෙකම එකසේ උපරිමව යොදා

ගනිමිනි.


යෝධ අඩි තබමින් නැගී වර්ධනය වෙමින් පැවති ආර්ථික අර්බුදයේ ආසන්නතම ප්‍රතිවිපාකයන්ගෙන් බැට කෑමෙන්

අපේක්ෂා භංගත්වයට පත් සමාජ තීරුවලට අයත් ජන කොටස්වලට අයත් ජනයා ප්‍රමුඛ කර ගත් ඇවිස්සී ගිය ජන

බලවේග විසින් පාලකයන්ට එරෙහිව සාංසිද්ධිකව දියත් කරන ලද 2022 මාර්තු - ජූලි යෝධ විරෝධතා රැල්ල

ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රාජපක්ෂවරුන් බලයේ සුක්කානමෙන් පන්නා දැමීමට සමත් වු අයුරු අපි දුටිමු. එහෙත්

අනතුරුව රාජපක්ෂවරුන් විසින් බලයේ සුක්කානම පවරන පවරන ලද රනිල් වික්‍රමසිංහගේ පාලනය යටතේ සිදු

වූයේ කලකිරීම හා විරෝධය නොඅඩුව පැවතුන ද ඉහත කී තත්ත්වයන් හේතු කොට ගෙන පියවරෙන් පියවර අරගල

රැල්ලේ බැස යාමකි.


ඉහත කී තත්ත්වයන් සමග ආණ්ඩුව ආණ්ඩු විරෝධී රැල්ල යළි උත්තේජනය කළ හැකිව තිබූ පළාත් පාලන ඡන්දය

කූඨ ලෙස කල් දමා ගැනීම හරහා ද ආණ්ඩු විරෝධය යම් පමණකට පසු බැස්ස වීමට සමත්ව තිබේ. ඡන්දය කල්

දමන ලද මුල් අවස්ථාවේ විරෝධතා රැල්ලක් නැගී ආව ද මේ වන විට දැකිය හැක්කේ එම රැල්ලේ ද බැස යාමකි.


උත්ප්‍රාසය වන්නේ කිසිදු සුජාතභායක්, ජන ප්‍රසාදයක් නැති, අභ්‍යන්තර අර්බුද හා දැවැන්ත පිරිහීමක් මැද්දේ

ගමන් කරන ආණ්ඩුවක් කිසිදු විරෝධතාවක් ගණනකට නොගනිමින් නිදැල්ලේ ගමන් කරමින් තිබීම ය. දශක

ගණනාවක් තිස්සේ කුරිරු මර්දනීය උපකරණයක් ලෙස ක්‍රියා කළ ත්‍රස්තවාදය වැළක් වීමේ පනත වෙනුවට

ආණ්ඩුව දසතින් එල්ල වෙමින් තිබෙන විරෝධය නොතකා අතිශයින් කුරිරු ප්‍රති ත්‍රස්ත පනතක් සම්මත කිරීමට

සැරසෙයි. මීට දේශපාලන, බහුජන හා සිවිල් සමාජ ක්‍රියාකාරීන්ගේ විරෝධය මිස සිවිල් සමාජයේ බරපතල

විරෝධයක් තිබෙන බවක් පෙනෙන්නට නැත. මහා දේශපාලන ක්‍රියාකාරිත්වයක දී මිස සිවිල් සමාජයේ දෘෂ්ටිය

වන්නේ පාලක පංතියේ දෘෂ්ටිය යි. ඒ නිසා අර්බුද මැද්දේ වුව විවිධ තාවකාලික සහන හා ප්‍රයෝග හරහා මෙන්ම

මර්දනය හරහා සිවිල් සමාජය යම් ග්‍රහණයක පවත්වා ගන්නට පාලක කණඩායම්වලට හැකියාවක් තිබේ.


පාලක රෙජිමයට එරෙහිව විවිධ ආකාරයෙන් සටන් සටන් වදින වාමාංශික හා ප්‍රගතිශීලී කියන සියලු දේශපාලන

පක්ෂ, සංවිධාන හා කණ්ඩායම්, බහුජන හා වෘත්තීය සමිති සංවිධාන හා සන්ධාන විසින් මෙම උපායික වැරද්ද

කරනු ලබන බව පෙනෙන්නට තිබේ. පාලක රෙජිමයේ සෑම ජනතා විරෝධී, ප්‍රජාතන්ත්‍ර විරෝධී පියවරයන්ටම

එරෙහිව සටන් වැදිය යුතු ය යන්න අවිවාදිත ය. එහෙත් සුපුරුදු හුදු විරෝධය පෑමේ අරගලවලින් හා පාලකයන්ට

එරෙහිව ප්‍රේක්ෂක ජන සමූහයා මන්මත් කරවන අභියෝගවලින් පමණක් පාලක රෙජිම පලවා හැරිය නොහැකි

බව වටහා ගැනීම අවශ්‍ය ය.


රනිල්ලා, රාජපක්ෂලා, ඩලස්ලා, වීරවංශලා, මෛත්‍රීපාලලා, චම්පිකලා, හකීම්ලා යන සියල්ලෝම කුමනාකාරයෙන්

පෙළ ගැසුණ ද පාලක පංතික කල්ලි කණ්ඩායම්ම ය. මෙම හැම කණ්ඩායමක්ම විටින් විට ඒ ඒ ආණ්ඩුවේ පමණක්

නොව එකම ආණ්ඩුවල ද කොටස්කරුවෝ වූහ. මොවුන් කුමනාකාර සන්ධාන හදා ගෙන බලය සඳහා ජනතාව හමුවට

පැමිණිය ද අනුගමනය කරන්නේ එකම ආර්ථික දේශපාලන ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ගම ය.


මේවාට වෙනස්ව ජනතා ඵලප්‍රයෝජන වෙනුවෙන් පෙනී සිටින වාම, ප්‍රගතිශීලී හා පාලක පංති විරෝධී

ජනප්‍රියවාදී බලවේගයන්ට උක්ත පෙළගැසීම් අතරවන ප්‍රතිවිරෝධතා සැලකිල්ලට ගනිමින් ප්‍රති ත්‍රස්ත

පනත වැනි ආණ්ඩුවේ මර්දනීය පියවර පරාජයට පත් කරන්නට එක්ව ක්‍රියා කරන්නට කටයුතු කරන්නට පුළුවන.

කටයුතු කළ යුතු ය. එය හදිසි අවශ්‍යතාවකි. එහෙත් මෙකී බලවේගයන්ට ඊට වඩා යමක් සඳහා එම පෙළ ගැසීම්

සමග ක්‍රියාකාරිත්වයන්ට යන්නට බැරි ය.


පාලක පංති සන්ධානයන්ට යම් වෙනසක් පෙන්නුම් කරන හා අද දවසේ ප්‍රධාන ජනප්‍රියවාදී දේශපාලන

ව්‍යාපාරය බවට පත්ව තිබෙන ජවිපෙ කේන්ද්‍රිත ජාජබය සියල්ල ඡන්දයට ඌනනය කර ගත් සන්ධානයක් බවට

පත් කර තිබෙන අතර එයට සිදුව ඇත්තේ අරගලය ඡන්දයක් ලැබෙන තෙක් තමන් වටා ගොනු කර ගත් රැල්ල

නඩත්තුකර පවත්වා ගැනීමේ ක්‍රියාකාරිත්වයකට කොටු කර ලීමට ය. මේ සඳහා ඔවුන්ගේ ප්‍රධාන උපක්‍රමය වී

ඇත්තේ ලොකු රැස්වීම් පැවැත්වීම, රැස්වීම්වල දී ප්‍රේක්ෂක ජනයා මන්මත් කරවන ආණ්ඩුවට එරෙහි ප්‍රවේගකාරී

අභියෝග කිරීම් හා ඕඩියන්ස් කතා ය.


වාම හා ප්‍රගතිශීලී බලවේගයන් ද විරෝධය පෑම් වලින් ඔබ්බට සිය ක්‍රියාකාරිත්වය පෙළ ගස්වන බවක්

පෙනෙන්නට නැත. ඉදිරි වර්ධනයන් තුළ නව උපාය උපක්‍රම ගැන සිතන්නට ගවේෂණය කරන්නට සිදුව තිබේ.

අප ජනප්‍රිය විරෝධතාවන්ට පමණක් සිමා නොවී ඉන් ඔබ්බට ගමන් කළ යුතුව තිබේ. එය වාම හා ප්‍රගතිශීලී

සෑම කොටසකගේම වගකීමකි.

විප්ලවීය සමාජවාදී කේන්ද්‍රය

ජන අරගලය


                                       ජන අරගලය -රනිල් ජනාධිපති වීමෙන් පසු

ජන අරගලය ජනාධිපති ගෝඨා ගෙදර යැවීය. ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය හා අගමැති නිල නිවස අරගලකරුවන් විසින් අත්පත් කර ගනු ලැබූ අතර පොලීසිය හා හමුදාව එකී ස්ථාන අතහැර ගියහ. එහෙත් සැබවින්ම ඒ පමණින් පාලන බලය වෙනස් වීමක් හෝ පාලනයේ බලය බිඳ වැටීමක් සිදු වූයේ නැත. අරගලකරුවන් ඒවා අත්හැරීමෙන් ඒ බව තවදුරටත් පෙන්නුම් කළේ ය. 

අර්බුදය කොතෙක් තියුණු පැවතිය ද ජන අරගලය පෙර නොවූ විරූ විශාලත්වයකින් හා ජවයකින් යුතු ක්‍රියාන්විතයක්ව තිබුණ ද ජූලි 20 පාර්ලිමේන්තු ජනාධිපතිවරණයෙන් විසල් ජයක් අත්කර ගනිමින් රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා බවට පත් විය. ඔහු ලද ජයග්‍රහණය බිමේ ජන අභිලාෂයේ පැතුම හා යථාර්ථය නොවන නමුදු වත්මන් දේශපාලන සංග්‍රාම බිමේ ආසන්න යථාර්ථය වී ඇත්තේ එයයි. දේශපාලන වශයෙන් අනාථ වී සිටි පොහොට්ටු රෙජිමයට මේ මොහොතේ විශාල බහුතර ඡන්දයකින් වෙනත් මුහුණතකින් සිය බලය තහවුරු කර ගැනීමට හැකිව තිබේ. 

ගෝල්ෆේස් අරගල බිමේ සටන්කරුවන් මෙම රෙජිමය පිළිනොගන්නා බව සහතික කර කීව ද මේ සිදුවීම් සමග දිග හැරෙමින් පවතින්නේ සටන්කාමී අරගලකරුවන් හුදකලා කළ හැකි  අරගලයේ ඇතැම් කොටස්, අරගලයට සහය දුන් ව්‍යවස්ථානුකූල ප්‍රජාතන්ත්‍රවාදීන් වැනි කොටස්, ඇතැම් වෘත්තික සංවිධාන, ඇතැම් පැවිදි කොටස් අරගලයෙන් විතැන් කළ හැකි තත්ත්වයකි. අරලියගහ මන්දිරය ඉදිරිපිට “නෝඩීල්ගම” උපවාසය අවසන් කිරීම හා “නෝඩීල්ගම”ඉවත් කර ගැනීම, රතු කුරුස සංවිධානය “ගෝඨාගෝගමින්” ඉවත්ව යාම, නුවර ගෝඨාගම පොලීසියට භාර දීම වැනි සිද්ධීන්ගෙන් සංකේතවත් කරන්නේ බොහෝ දුරට විය හැකි මේ තත්ත්වය යි. එසේම ජූලි 22 දින අළුයම ජනාධිපති ලේකම් කාර්යාලයේ හා අවට පරිශ්‍රයේ රැඳී සිටි අරගලකරුවන් මර්දනකාරී බලහත්කාරයෙන් ඉවත් කිරීමෙන් ප්‍රකාශිත අරගලයට මුහුණ දීමේ රනිල් පාලනයේ උපායික ප්‍රවේශය මෙරට පමණක් නොව ජාත්‍යන්තරව පවා විරෝධයකට ලක් වුව ද අරගලයට බරපතල පසුබෑමක් ඇති කරන්නට පුළුවන. ඒ අභියෝගය ජය ගන්නට නම් අරගලය මෙතෙක් අනුගමනය කළ සිය උපායික ප්‍රවේශය සංස්කරණයකට භාජනය කිරීම ගැන බරපතල්ව සිතිය යුතුව ඇත. 

එමෙන්ම රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයට පත් කිරීමෙන් ද අනුප්‍රාප්තික ජනාධිපති වශයෙන් තෝරාපත් කර ගැනීමෙන් ද පසු ඔහු රටේ පවතින අර්බුදයට යම් පිළියමක් සැපයෙනු ඇතැයි ද දේශපාලන අස්ථාවරත්වය යම් පමණකට ජය ගනු ඇතැයි ද විශ්වාස කරන ප්‍රවනතාවක් සමාජයෙහි ඇතැම් කොටස් අතර පැතිර තිබේ. 

මේ සියල්ල අරගලය තුළ පෙර පැවති ජන ආකර්ෂණය ද ගැම්ම ද යම් පමණකට බැස යාමට හේතු විය  හැකි ය. එපමණක් නොව අරගලයේ අසංවිධිත භාවය ද අරගලකරුවන් අතරම පවතින විවිධ බාධාකාරී වෙනස්කම් ද අරගලයේ පෙර පැවති ජවයේ පසුබැසීමක් ඇති කරන්නට පුළුවන. යම් විශේෂිත තත්ත්වයක් පැන නැගුනහොත් මිස මේ තත්ත්වය තුළ “රනිල් ගෝ හෝම්” යන සටන් පාඨය “ගෝඨා ගෝ හෝම්” යන සටන් පාඨය තරම් ප්‍රබල එකක් නොවීමට ඕනෑ තරම් ඉඩ තිබේ.

එසේම රනිල් යනු ගෝඨා මෙන් ආධුනික පාලකයෙකු නොව අත්දැකීම් සහිත මර්දනීය ඉතිහාසයකට හිමිකම් කියන පාලකයෙකුය යන්න අමතක නොකළ යුතු ය. ඔහු අරගලය දියකර හැරීමේ හා බෙදීම් ඇති කර සටන්කාමී කොටස් හුදකලා කර අවසානයේ ඔවුන් දැඩිව මර්දනය කිරීමේ  අඩු තීව්‍රතා ගැටුම් මර්දනීය උපක්‍රම අනුගමනය කරන බවක් පෙනෙන්නට තිබේ. ඔහු අරගලකරුවන් සාමකාමී අරගලකරුවන් හා කැරලිකාර ප්‍රචණ්ඩ අරගලකරුවන් යයි දෙකට බෙදා අනෙක් අරගලකරුවන්ගෙන් සටන්කාමී අරගලකරුවන් වෙන් කර මර්දනය කරන බව පැහැදිලිවම කියා සිටී. මෙය දැඩි අරගලකාරීන් මර්දනය කර සෙසු අරගලකරුවන් හීලෑකර නිහඬ කිරීමේ උපක්‍රමයකි. ගෝඨාභයට දැඩි මර්දනකාරී පාලනයක් ගෙන යාමේ උවමනාව තිබුණ ද එහිලා ඔහු සම්පූර්ණ අසාර්ථක පාලකයෙකු බව ඔප්පු කරමින් නැගී වර්ධනය වෙමින් පැවති ජන අරගලය හමුවේ පලා ගියේ ය. එහෙත් රනිල් ඔහුට වඩා අදිටන් සහගතව උපායශීලීව හා මර්දනයෙන් අරගලය පාගා දමන්නට ඇති සූදානම පෙන්නුම් කරයි. විරෝධතාකරුවන් 2022 ජූලි 13 දින කතානායක නිල නිවසට හා පාර්ලිමේන්තුවට ඇතුල් වීමට දැරූ උත්සාහය මැඩලීම, ජූලි 22 අළුයම ජනාධිපති ලේකම් කාර්යාලයේ හා අවට පරිශ්‍රයේ රැඳී සිටි අරගලකරුවන්  මර්දනීය බලය යොදා ඉවත් කිරීම වැනි සිද්ධීන් මගින් පෙන්නුම් කරන්නේ එයයි. 

ගෝඨා ගියා සේම රනිල්  ද යා යුතුය යන්න අවිවාදිත කරුණකි. එහෙත් මේ නිශ්චිත මොහොතේ ප්‍රමුඛ සටන් පාඨය විය යුත්තේ “සර්ව පාක්ෂික අන්තර්වාර පාලනයකට යනු”යන්න ය. ඒ යටතේ  පහතින් එන ඉල්ලීම් වැනි ඒවා ඉටු කරන්නට බල කළ යුතු ය යනු අපේ අදහස ය.

■             අන්තර්වාර පාලනයේ අමාත්‍ය මණ්ඩලය 10 කට සීමා කරනු

■             අමාත්‍ය මණ්ඩලයට අන්ත දූෂිතයන් පත් නොකරනු,

■             19ූ ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරනු (මෙ මගින් විධායක ජනාධිපතිවරයාගේ අත්තනෝමතික බලතල බොහොමයක් කප්පාදු කෙරේ),

■             නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා බලය පැවරෙන (අදාළ වියතුන්, වෘත්තීය සමිති, ගොවි ධීවර ආදී බහුජන සංවිධාන නියෝජිතයින්, ජාතීන්ගේ නියෝජිතයින්, ස්ත්‍රී හා තරුණ නියෝජිතයින්, ජන අරගල නියෝජිතයින්, සිවිල් සමාජ සංවිධාන නියෝජිතයින් ආදීන්ගෙන් සමන් විත) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් ස්ථාපිත කරනු.

■             වත්මන් ආර්ථික අර්බුදයෙන් බැට කන ජනයාට කඩිනම් සහන සලසන හදිසි ආර්ථික වැඩපිළිවෙලක් සම්පාදනය කිරීමට යෝග්‍යයන්ගෙන් යුත් මණ්ඩලයක් පත් කර එවන් වැඩපිළිවෙලක් ක්‍රියාවට නගනු.

■             අල්ලස් දූෂණ හා වංචා සම්බන්ධ දැඩි නීති හා ඒ සම්බන්ධ කිරීමේ පූර්ණ බලතල සහිත ආයතන පිහිටුවනු  

■             මාස 12 කින් පසු ජනතාවට තමන් කැමති පාලනයක් තෝරා පත්කර ගැනීමට මහ මැතිවරණයක් ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය මගින් සම්පාදිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ජන අනුමැතිය ලබා ගැන්ීම සඳහා ජනමත විචාරණයක් ද පවත්වනු

ආදී වශයෙන්.  

 

 


මේ වකවානුවේ ජන අරගලයේ මූලික සටන් පාඨය විය යුත්තේ “ මහජන සමූහාණ්ඩුවක්” යන්න ය. එය අප ඉල්ලන්නේ පාලකයන්ගෙන් නොවේ. පාලකයන්ට අප බල කර කියා සිටිය යුත්තේ එවන් මහජන සමූහාණ්ඩුවකට මග පාදා ගත හැකි එක් මගක් වන අන්තර්වාර පාලනයක් සඳහා ය. මහජන සමූහාණ්ඩුවක් යන්න ජනතාවගේ කටයුත්තකි. එවැන්නක් සාධනය කර ගන්නට නම් අරගල ව්‍යාපාරය බිමේ සිට ජාතික මට්ටම දක්වා ගොඩ නැගෙන මහජන ව්‍යාපාරයක් ගොඩ නැගීමට ප්‍රමුඛ අවධානයක් දිය යුතු ය. මහජන ව්‍යාපාරය යනු කිසියම් පක්ෂයක් හෝ කිහිපයක් විසින් ගොඩ නගනු ලබන්නක් නොවේ. පක්ෂවලට ඊට මැදිහත් වන්නට පුළුවන. සිය ශක්තිය ඊට එක් කරන්නට පුළුවන, එහෙත් එය ගොඩ නැගීමට පුරෝගාමී විය යුත්තේ අරගල ව්‍යාපාරය ය. අරගලයේ යෙදී සිටින ජනයා ය. අරගලකරුවන් කතා කරන මහජන සභාවක් ගොඩ නැගිය හැක්කේ මහජන ව්‍යාපාරයක් ගොඩ නැගීමේ මෙම ක්‍රියාදාමය තුළ ය.

 

 

මැතිවරණයක් මගින් ජනතාවට තමන්ගේ නියෝජිතයින් තෝරා ගැනීමට අවස්ථාව ලද විටක “මහජන සමූහාණ්ඩුවක්” යන සටන් පාඨය යටතේ මැතිවරණය සඳහා අරගල ව්‍යාපාරය (එනම් ගොඩ නැගෙන මහජන ව්‍යාපාරය) තුළ නියෝජනය වන හා විය යුතු සියලු පාර්ශව එක්සත් බලයක් බවට පත් කරන තමන්ගේම මැතිවරණ සන්ධානයක් ගොඩ නැගීමට ක්‍රියා කළ යුතු අතර එම සන්ධානය හරහා මැතිවරණයට සටන් වැදිය යුතු ය. ජන අරගලය වෙනුවෙන් පෙනී සිටින කවර පක්ෂයක්, සංවිධානයක් වුව මේ සන්ධානයට එක් විය යුතු ය. එක් කර ගත යුතු ය.

 

රනිල් පාලනය යටතේ අරගලයේ උපක්‍රම කෙසේ විය යුතු ද? ගෝල්ෆේස් වැනි කඳවුරුබැඳීම ආකාරයේ අරගල තවදුරටත් ප්‍රධාන අරගල මාධ්‍යය ලෙස ගත හැකිද යන්න සැලකිල්ලට ගත යුතු  බව අපේ අදහස ය. එම අරගලය තුළ පැවතියේ විරෝධය ප්‍රබලව හා පුළුල්ව ප්‍රකාශයට පත් කිරීම පමණි. අරගල ව්‍යාපාරය ශක්තිමත් ජනතා ව්‍යාපාරයක් බවට පත් වීමට නම් ගොවි බිම්, ධීවර බිම්, වැඩබිම්, ආයතන ආදී විවිධ මට්ටම්වලින් දැනුවත් සංවිධිත ජන බල ඒකක වශයෙන් ගොඩ නැගීම අවශ්‍ය ය. ඒවා බිම් මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා ජාල ක්‍රියාකාරිත්වයක් තුළට ගෙන ආ යුතු ය. අරගලය කතා කරන මහජන කවුන්සිලයක් යථා වශයෙන් ගොඩ නැගිය හැක්කේ එවන් ක්‍රියාදාමයක් තුළ පමණි.

 

ඉදිරි කාලය තුළ කඳවුරු බැඳීමේ අරගල වෙනුවට ජනතා විරෝධය හා කෝපය ප්‍රකාශ කිරීමේ ඒකාබද්ධ රැලි, පෙළපාලි ආදියට ප්‍රමුඛ අවධානයක් දීමට සිදු වනු ඇත. ඉකුත් ජන අරගලයේ ප්‍රධාන ප්‍රවේශය වූයේ උපායික ප්‍රහාරයේ (strategical offensive) එනම් ගෝඨා රෙජිමය පලවා හැරීම කේන්ද්‍රීය ඉලක්කය කර ගත් ප්‍රවේශයකි. අප කල්පනා කරන පරිදි දැන් අරගලයේ ප්‍රවේශය උපායික ප්‍රහාරය කේන්ද්‍රීය කරගත් ප්‍රවේශයක් නොව උපක්‍රමික ප්‍රහාරය (tactical offensive) කේන්ද්‍රකරගත් ප්‍රවේශයක් විය යුතු ය. එහි පවතින පාලනය පලවා හැරීම සඳහා වන අරමුණ තිබේ. එහෙත් වහාම නොවේ. එය සාපේක්ෂ වශයෙන් දිගු කාලීන ය. එය හදිසිම (immediate) කාර්යය බවට පත් කරනු ඇත්තේ අරගලයේ වර්ධනය විසින් යනු අපගේ අදහස ය.

 

විප්ලවීය සමාජවාදී කේන්ද්‍රය

2022 ජූලි 24   

 

 

 

 

 

 

  

 

 

ජනාධිපති වහා ඉවත් වෙනු! ජනතා ආණ්ඩුවකට මග හදමුææ


අගමැති මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්වීමට සිදුවීමත් සමගම රාජපක්ෂ ආණ්ඩුව බිඳ වැටී ඇත ජනතා හඬට කන් නොදී ජනාධිපති ලෙස ගෝඨාභය රාජපක්ෂ තවම තනතුරේ රැඳී සිටිය ද ඔහු පත්ව සිටින්නේ රටේ පාලන බලය මෙහෙයවිය හැකි තත්ත්වයක නොවේ. සමස්ත රාජ්‍ය යන්ත්‍රයම වාගේ අක්‍රීයවී ඇති අතර ඔහුගේ නියෝග හා උපදෙස් පිළි නොගන්නා තත්ත්වයක් උද්ගත වෙමින් පවතී.

මෙවන් වාතාවරණයක් තුළ ජනාධිපතිවරයා තව දුරටත් ධූරයේ එල්ලී සිටින්නට උත්සාහ කළත් ඒ සදහා පවතින ඉඩ කඩ හා තර්කානුකූලභාවය ඉතාම අවම බව පැහැදිලිය. ඔහු ධූරයේ රැදී සිටින තාක්ම රට පුරාම අරගලකාරී තත්ත්වයන් තව තවත් වර්ධනය විය හැකිවා විනා පාලනය වීමක් සිදුවීමේ ඉඩක්  නැත. 2022 මැයි මස 9 දින ගෝල්පේස් අරගල බිමට එල්ල කළ නීච මැර ප්‍රහාරයත් සමගම මැරයින්ට එරෙහිව බහු ජන ක්‍රියාකාරිත්වය මුදා හැරුණේ නිමේශයකිනි. රට පුරාම ජනතාව කෝපයෙන් ඇලලී යමින් පොහොට්ටු මැති ඇමතීන්ගේ ගෙවල් ද යාන වාහන ද  දවා හලුකර දමන්නට වූහ. මැර ප්‍රහාරයේ මොහොතේ සිටම වීදි බසින්නට වූ  පොදු මහ ජනයා කෙතරම් ප්‍රචණ්ඩකාරී තත්ත්වයකට ඇද දැමුණේ ද යත් ඔවුන් කිසිදු නීතියක් මගින් පලනය කරගත නොහැකි තත්ත්වයකට පත්වූයේ නිරායාසයෙනි.   

පොදු ජනයා එවන් ප්‍රචණ්ඩකාරී තත්ත්වයකට ඇද දමා රට ගිනි ගන්නා තත්ත්වයකට පත් කිරීමේ වගකීම සම්පූර්ණයෙන් ම භාර ගත යුත්තේ මහින්ද රාජපක්ෂ කේන්ද්‍රය කරගත් රාජපක්ෂ පාලනය ය.  මේ පාලක මැර තක්කඩියන්ට ඔවුන්ගේ සාපරාධී දුෂ්ට ක්‍රියාවන් සම්බන්ධයෙන් නිසි දඬුවම් ලබා දිය යුතු බව සැබෑ ය. එසේ නමුත් පුද්ගල ඝාතන හා දේපොළ විනාශකිරීම වැනි ක්‍රියා අරගලයේ සැබෑ ජයග්‍රහණයන්ට හා ගරුත්වයට හානි පමුණුවනවා පමණක් නොව පාලකයන්ට ඔවුන්ගේ දුෂ්ට අරමුණු ඉටු කර ගැනීම සදහා මර්දනයේ පිහිට පැතීම තර්කික කරනු ඇත.  

මෙවන් තත්ත්වයක් තුළ මේ සම්බන්ධයෙන් සිය දැඩි අවධානය යොමුකර මෙතෙක් දී ඇති ආදර්ශය අනුව යමින් මහත් වගකීමෙන් කටයුතු කරන ලෙස අරගල බිමේ සිටින සියළු පාර්ශව වලින් අපි ඉල්ලා සිටිමු.

එසේම මෙම අරගලකාරී තත්ත්වය උපයෝගීකර ගනිමින් ජාතිවාදී  හා ආගම්වාදී අරගල ඇති කිරීම සදහා බොහෝ විසකුරු බලවේග මේ පාලක කල්ලියේ ආධාර හා මෙහෙවීම ඇතිව කටයුතු කරනු ඇති බව නිසැක ය. මැයි 10 දින මීගමුව කටුවපිටිය ප්‍රදේශයේ සිංහල මුස්ලිම්  ගැටුමක් නිර්මාණයකිරීමට ගත් උත්සාහයෙන් මේ බව මනාව පැහැදිළි වේ.

එසේම මෙහි තවත් අවධානයට ගත යුතු මහත් අවාසනාවන්ත තත්වයක්ද නිර්මාණය වීමේ අවකාශ තිබේ. දැනටමත් දකින්නට ඇති පරිදි මෙවන් අරගල අවස්ථාවන්හි සමාජ‌යේ  සිටින විවිධ පාදඩ බලවේග දේපොළ මංකොල්ලකමින් විවිධ විනාශකාරී ක්‍රියාවල නිරතවීම ය.   මෙවැනි විනාශකාරී ක්‍රියා මගින් ද අරගලයේ ජයග්‍රහණයට විශාල ලෙස බාධා පමුණුවනු ඇති අතර ඒවා ද පාලකයින්ගේ මර්දනීය මෙහෙයුම්වලට, මිලිටරිකරණ මැදිහත්වීම්වලට මහත් සේ සේවය කරනු ඇත.  එමනිසා ජන බලවේග මෙවැනි ක්‍රියාවන් වලකා ලීමට ක්‍රියාකාරී වීම අත්‍යවශ්‍ය ය. මේ සදහා ජන අරගලයේ සියළු පාර්ශවවලට විශාල  වගකීමක් පැවරෙනවා පමණක් නොව ඒවාට එරෙහිව  ක්‍රියාකාරී මැදිහත්වීමක් ද  ඉතාම අවශ්‍ය ය.

අගමැතිවරයා  ඉවත්වී පලා ගොස් සැගව ගැනීමත් සමඟ මේ වන විට රට පවතින්නේ ආණ්ඩුවක් නොමැති රාජ්‍ය පාලනය බිද වැටී ඇති අරාජික තත්ත්වයක ය. මතුවී ඇති මේ හිදැස යහපත් ආකාරයට හසුරුවා ගැනීම සදහා ක්‍රියාකිරීම සියලු වාම හා ප්‍රගතිශීලී බලවේගවල වගකීම වන අතර ඒ සදහා එකිනෙකා පරයා යමින් කටයතු නොකර සාමූහිකව කටයුතු  කිරීම මේ මොහොතේ අත්‍යවශ්‍ය දෙයකි. මේ වනවිටත් ජනතා අරගලය යම් ප්‍රමාණයක ජයක් ලබා ඇති අතර එම ජයග්‍රහණය තවත් ඉදිරියට ගෙනයාමට ඒවායේ එක්සත්භාවයක්  ඇතිතකර ගැනීම දවසේ අවශ්‍යතාවක් මෙන්ම පැහැර හැරිය නොහැකි වගකීමක් ද වන බව අවධාරණයට ගත යුතු ය. එහෙයින් එක්සත් කර ගත යුතු  සෑම ප්‍රගතිශීලී බලවේගයක්ම එකතුකර ගනිමින්  ජනතා ආණ්ඩුවක් බිහිකර ගැනීම සදහා සාමූහික නායකත්වයක් යටතේ සටන් වදින ලෙස අපි සියළු ප්‍රගතිශීලී බලවේගයන්ගෙන් ඉල්ලා සිටිමු. මේ සදහා අපට කළ හැකි සෑම දෙයක්ම ඉටුකර ලන බවත් ඒ සදහා කැපවෙන බවත්  ප්‍රකාශකර සිටිමු.

විප්ලවීය සමාජවාදී කේන්ද්‍රය    

 

 

 

Featured Post

අධ්‍යාපනය අයිතියකි ! විකිණීම සඳහා නොවේ !

දකුණු ආසියාතික තාක්ෂණික හා වෛද්‍ය ආයතනය (සයිටම්-  SAITM, The South Asian Institute of Technology and Medicine)    2008 ඔක්තෝබර් 1 දින ආයෝජ...