කාන්තා විමුක්තිය


ස්ත‍්‍රී දූෂණ, කාන්තාවන්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වය හා ළමා අපයෝජන ලංකාවේ අද කවරදාටත් වඩා උත්සන්නවෙමින් පවතී. රාජ පාක්ෂික දේශපාලන බලයේ අනුහසින් දූෂණයෙන් වංචාවෙන් ඥාති සංග‍්‍රහයෙන් අධි සුඛෝපබෝගීව වැඩෙන ශරීරයන් ලිංගික අස්වාදය පතා කාන්තාවන් මත ප‍්‍රචණ්ඩවය මුදාහරීයී . දූෂකයන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක නොකර වීරයන් සේ නිදහසේ සැරිසරන්නට ආණ්ඩුව ඉඩ හරීග මෙසේ මේ ප‍්‍රවනතාවය උත්සන්නකිරීමෙහි ලා සුවිශේෂී දායකත්වයක් ලබා දී ඇත්තේ ආණ්ඩු පාක්ෂික දේශපාලන බලය හැර අන් යමක් නොවේ. 
පීඩිත ජනයාට අයත් කාන්තාවන් ළමයින් මෙසේ දූෂණයට ප‍්‍රචණ්ඩත්වයට අපචාරයට ගොදුරුවීම පීඩිත ජනයාට එරෙහි එල්ලකර ඇති පොදු පීඩනයේ එක් පැතිකඩකි. 

උතුරේ තහඩුවලින් යම්තමින් ආවරණයකරගත් නිවස් ඇතුලේ තම පියා ල ස්වාමි පුරුෂයා ලසහෝදරයා අහිමිකරනු ලැබීමෙන්, සියලූ මිනිස් අභිමානයන් අහිමිකරනු ලැබීමෙන් වේදනාවට පත් මව්වරුන්ගේ, බිරින්දෑවරුන්ගේ, සහෝදරියන්ගේ කථාව ඊටම ඈඳුනු තවත් කතාවකි. 
මෙවැනි තත්ත්වක් යටතේ ස්ත‍්‍රී විමුක්තියී සොයා අප යා යුත්තේ කුමන දිසාවකටද, කවර ලෙසද, කා සමගින් ද යන්න ගැන ස්ත‍්‍රී ව්‍යාපාරයේ පෙරමුණ ක‍්‍රියාකාරිනියන්ගේ අවධානය යොමුවිය යුතුව ඇත. 
පැවති අමානුෂික තත්ත්වයන්ට යටත්ව වැඩකිරීමට එරෙහිව ඇමරිකානු කාන්තාවන් ගෙනගිය සටන් ව්‍යාපාරය දිරිමත් කරනු සඳහා ඇමරිකානු සමාජවාදී පක්ෂය විසින් ප‍්‍රථම වරට ජාතික කාන්තා දිනයක් ප‍්‍රකාශකරනු ලැබීය. පසුව 1910 දී සමාජවාදි ජාත්‍යන්තරයේ කාන්තා කාර්යාලය විසින් සංවිධානය කළි වැඩකරන කාන්තාවන්ගේ ජාත්‍යන්තර සමුළුව විසින් ජාත්‍යන්තර කාන්තා දිනයක් ප‍්‍රකාශයට පත්කරන්නේ ආර්ථික, දේශපාලන හා සමාජීය ක්ෂේත‍්‍රයන්හි කාන්තාවන් ලැබූ ජයග‍්‍රහනයන් අගයකර ඔවුන් දිරිමත් කිරීම සඳහාය. 1911 දී සෑම වසරකම මාර්තු 8 ජාත්‍යන්තර කාන්තා දිනය ලෙස පිළිගනු ලැබීය. 
1975 දී එ. ජා. සංවිධානය විසින් එම වසර ජාත්‍යන්තර කාන්තා වසර ලෙෂ ප‍්‍රකාෂකිරීමත් සමග සියලූ සාමාජික එටවල් මාර්තු 8 ජාත්‍යන්තර කාන්තා දිනය ලෙස නිල වශයෙන් පිලිගනු ලැබීය. එතැන් සිට මේ දක්වා පාලකයන් එම දිනය වෙනුවෙන් ශුභාශිංෂණ පිරිනැමීම පුරුද්දක් වශයෙන් කරති.
ඇප්ගනිස්ථානයේ මව්වරුන් සහ දූවරුන් මත ඩ්‍රෝන යාත‍්‍රා මගින් බෝම්බ හෙළීමට අණකරන ඇමරිකානු පාලකයනුත් ස්ත‍්‍රී දූෂකයන් පෝෂණයකරන ආරක්ෂාකරන අපේ රටේ පාලකයනුත් කාන්තා දිනය වෙනුවෙන් එක පෙළටි සුභාශිංෂණී නිකුත්කරති. අපි ඒවා විශ්වාසකරන්නේ ද? ඒවා පිටුපස ඇති දේශපාලනය තේරුම් ගැනීමට වර්ථමාන ස්ත‍්‍රී විමුක්ති කණ්ඩායම්වල න්‍යාය හා ක‍්‍රියාකාරිත්වය අපට පිටුවහලක් සපයන්නේ ද ? කොටින්ම ස්ත‍්‍රීන් පුරුෂ ආධිපත්‍යයට යටත් කරනු ලැබුවේ කෙසේද ?  කුමන ඓතිහාසික තත්ත්වයන් යටතේ එසේ සිදුවුණිද ? එම තත්ත්වයන් මගහරවා ගැනීමට අපට කළ හැක්කේ කුමක් ද? යනාදී ප‍්‍රශ්ණවලට අපිම පිළිතුරු සොයාගතයුතුය. 
ස්ත‍්‍රීන් මත ආධිපත්‍යය පැටවීමෙහි ලා ශාරීරික වෙනස්කම් හෝ ලිංගික ක‍්‍රියාකරිත්වය වැනි ස්වභාවික කරුණු හේතුන් වී නොමැති බව අද මානව විද්‍යාව විසින් හෙළිකරගෙන ඇත. ඇත්තවශයෙන් ම නම් එවැනි කරුණු නිසාවෙන් නම් ඇතිවිය හැක්කේ අනොන්‍ය සුහඳ බැඳීමක් මිස ආධිපත්‍යයක් නොවේ. ස්තී‍්‍රන් මත පීඩනය හා අවමානය හෙළා ඇත්තේ හුදෙක් දේපළ සම්බන්ධතාවයන් මත ගොඩනැගී ඇති පවුල් සංස්ථාව විසින්ය. පිරිමින් දේපළ සම්බන්ධයෙන් නෛතික තීරකයා වී ඇති නිසාය,  සමාජ නිෂ්පාදන කටයුතුවලින් බොහොමයක් පිරිමින් අත සංකේන්ද්‍රනය වී ඇති නිසාය. එය ස්වභාවික කරුණක් නොව ඉඳුරාම සමාජීය කරුණකි. පෞද්ගලික දේපළවල උරුමය සම්බන්ධ කරුණකි. ඒ වගේම පුරුෂෝත්තමවාදය පදනම් වී ඇත්තේ පිරිමින්ගේ නෛසර්ගික ගුණයක් - හිතුවක්කාරිත්වයක් මත නොව මේ පෞද්ගලික දේපළ උරුමය විසින් ඔවුන් වෙත ආරෝපණයකර ඇති අධිකාරිත්වය මතය. එහි අනෙක් තේරුම නම් එමගින් ස්ත‍්‍රිය නිශ්ක‍්‍රීය තත්ත්වයකට පත්කර ඇති බවය. ආගම විසින් පිරිමියාගේ අධීනත්වයත් ස්ත‍්‍රියගේ පරාධීනත්වයත් පවුලේවගකීම් හා යුතුකම්’ ලෙස ඒත්තුගන්වා අධ්‍යාත්මික බැම්මකින් එය බැඳ දමනු ලැබ ඇති අතර වැඩිදුරටත් එය රාජ්‍යය විසින් නීතියේ වරපට මගින් නොසෙල්වෙන සේ බැඳදමයි. චිරාත් කාලයක් පුරා පැවතීම හේතුවෙන් පෞද්ගලික දේපළ, පවුල සහ නීති පද්ධතිය ස්වභාවික වූත් සමාජයට අත්‍යාවශ්‍ය වූත් දේ විදියට පිළිගැනීමටත් ඊට අනුගතව ජීවත්වීමටත් අපි පුරුදු වී සිටිමු. සෑමවිටමත් සෑම තැනකදීමත් පිරිමින් තමන් පළමු පෙළට දමා ක‍්‍රියාකරන්නේත් ඒ වගේම ඊට ප‍්‍රතිවිරුද්ධව ස්ත‍්‍රීන් තුමූම පසුබා දෙවන පෙළක සිටගන්නේ ත් මේ ඓතිහාසික පුරුද්ද නිසාය. 
මින් පැහැදිලි කෙරෙන්නේ ස්ත‍්‍රියගේ ඓතිහාසික ඇදවැටීමට මූලික හේතු පුරුෂෝත්තමවාදයෙනුත් ඈතට විහිද යන බවයි. සමාජ ආර්ථික සංවිධානයේ ගැඹුරට විහිද යන බවයි. පුරුෂෝත්තමවාදයට එරෙහිව අපි, ස්ත‍්‍රී විමුක්ති ව්‍යාපාරය සටන් වැදිම අත්‍යාවශ්‍ය කටයුත්තක් වුවද එය කේන්ද්‍රීය ප‍්‍රශ්ණය නොවන බව වටහාගත යුතුය. පොදුවශයෙන් ස්ත‍්‍රී විමුක්ති ව්‍යාපරය මෙම තත්ත්වය මෙයාකාරයෙන් වටහාගෙන ඇත්ද, ස්ත‍්‍රීන් එවැනි අවබෝදගැන්වීමක් කරා මෙහෙයවීමේ වැඩපිලිවෙලක් අප ෂතුව ඇත්ද යන්න සොයාබැලිය යුතුය. විශේෂයෙන් ධනවාදය තුල, කිසිවකටවත් කිසිවෙකූටවත් මොනම විදිහකින් හෝ ගැලවීයාමට නොහැකි විදියට වෙළඳ භාණ්ඩ බවට පත්කර ඇති සමාජ ආර්ථිකයක් තුල ස්ත‍්‍රී විමුක්තිය සඳහා වූ අරගලය පුරුෂෝත්තමවාදයට එරෙහිව පමණක් වූ අරගලයකට, සෑම ක්ෂේත‍්‍රයකම පිරිමින් හා සමාන අයිතීන් දිනාගැනීමේ අරගලයකට පමණක් සීමා කළ හැකිද යන්න විමසිය යුතුව ඇත. සමහරවිට සාපේක්ෂව ඉහළ සමාජ ස්ථරයන්ට අයත් ස්ත‍්‍රින් කොටසකට එවැනි අයිතීන් දිනාගැනීමෙන් තෘප්තිමත් විය හැකි වුවද පහළ පංතික ස්ත‍්‍රීන් බහුතරය මත තවදුරටත් පීඩනය නොවෙනස්ව පවතිනු ඇත. මක්නිසාද දිලිසෙන ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන් පිටුපස පීඩනයේ මුලික හේතුකාරකය නොනැසී පවතින නිසාය. 
ස්ත‍්‍රීන් ලිංගික වස්තූන් ලෙෂ හැඩගන්වා දරුණු ලෙස සූරාකෑමට භාජනය කරන ජනප‍්‍රිය රූපලාවන්‍ය හා විලාසිතා ප‍්‍රවනතාවය සම්බන්ධයෙන් ස්ත‍්‍රි විමුක්ති ව්‍යාපාරයේ ආකල්පය කෙබඳුද ? ස්ත‍්‍රීන් විලාසිතාවන් වෙත වැඩිවශයෙන් යොමුවීම ජීව විද්‍යාත්මක හේතූන් සමග සම්බන්ධයක් නැත. නැතහොත් ඈත අතීතයේ සිට පැවතෙන සිරිතක් ද නොවේ. පිරිමින් ධනයේ හා බලයේ සංකේතයන් වූ පසු ඔවුන්ගේ අවධානය දිනාගැනීම ස්ත‍්‍රීන් ගේ පැවැත්ම සඳහා අත්‍යාවශ්‍ය විය. ඒ සඳහා වූ තර`ගය ස්ත‍්‍රීන්ගේ ස්වභාවික ලාලිත්‍යය අප‍්‍රමාණවත්බවට පත්කර කෘතිම ලස්සන හඹායන්න පෙළඹවීය. අනතුරුව විලාසිතාව ඉහළ ප‍්‍රභූ ස්ත‍්‍රී පැළැන්තියේ අනන්‍යතාවය වගේම උඩ`ගුබවේද ප‍්‍රකාශණයක් විය. එය ස්ත‍්‍රීන්ගේ පිළිග ත්අයිතියක්බවට පත්කළේ ඕනෑම දෙයක් විකුණා ලාභ ගැරීමට මං සොයමින් සිටි ධනවාදී ව්‍යාපාරික ලෝකයයි. දවසින් දවස වෙනස්වන විලාසිිතා හා රූප ලාවන්‍ය අඩුම කුඩුම වෙළඳ පොලෙට හඳුන්වා දෙමින් ඔවුන් ඒ අයිතිය අපට මතක්කර දෙයි. කෑම බීම වගේම විලාසිතාව මූලික උවමනාවක් බවට ඒත්තු ගන්වයි. මෙම විලාසිතා  ප‍්‍රවනතාවයෙන් නොකියවෙන එක් කතාවක් නම් පිරිමින්ගේ ලිංගික අවධානය යොමුකර ගැනීම සඳහා ස්ත‍්‍රීන් ඔවුනොවුන් අතරම තර`ගයකට පොළඹවනු ලැබ තිබීමය. අනෙක් කතාව නම් ස්ත‍්‍රී පීඩනය විකෘත්ති ලෙෂ ප‍්‍රකාශවීමය. ධනවාදය පොදු වශයෙන් මුලූ සමාජයමත් විශේෂයෙන් ස්ත‍්‍රීන්මත් ව්‍යාජ විඥානයක ගිල්වා දමා ඇත. ස්ත‍්‍රී විමුක්තිය දිනාගැනීම පුරුෂෝත්තමවාදී පීඩනයට විරුද්ධ ජනප‍්‍රිය සම අයිතිය දිනාගැනීමේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අරගලයකට සීමා කළ නොහැක්කක්මය. තම පයට ලා ඇති විලංගුවල දිස්නයෙන් මංමත්වීමෙන් ස්ත‍්‍රීන් මිදී සිටීම සිය විමුක්ති අරගලයේ එක් වැදගත් ප‍්‍රාථමික කොන්දේසියකි. එම යථාර්තය අවබෝද ගැන්වීම ස්ත‍්‍රී විමුක්ති ව්‍යාපරය සතු පැහැර හැරිය නොහැකි වගකීමකි.(

නැවත පලකිරීමක් බව සලකන්න)

No comments:

Post a Comment

Featured Post

අධ්‍යාපනය අයිතියකි ! විකිණීම සඳහා නොවේ !

දකුණු ආසියාතික තාක්ෂණික හා වෛද්‍ය ආයතනය (සයිටම්-  SAITM, The South Asian Institute of Technology and Medicine)    2008 ඔක්තෝබර් 1 දින ආයෝජ...