ඡන්දය, ධනේශ්වරයට එරෙහිව                                        
පළාත් පාලන මැතිවරණය අභියසට අපි පැමිණ ඇත්තෙමු. ප්‍ර‍ධාන ධාරාවේ සියලුම දේශපාලන බලවේග  සිය බලය තහවුරු කර ගැනීම සඳහා සටනට අවතීර්ණ වී තිබේ.මේ සඳහා ඔවුහු විවිධ උපාය උපක්‍ර‍ම භාවිතාකරමින් සිය දේශපාලන ශක්තිය වැඩිකර ගැනීම සදහා කටයුතු කරමින් සිටිති. සුපුරුදු සැමදාමත් විකුණන පොරොන්දු මාලා හා වීර චරිතවීමට දරන ප්‍ර‍යත්න මෙම ඡන්දයේදී ද මතුපිටට පැමිණ තිබේ. සමහරුන් මෙවරත් රට බේරාගැනීමට ඉදිරියට පැමිණ ඇති අතර තව කොටසක් දූෂණයෙන් තොර සුපිරිසිදු රටක් වෙනුවෙන් සටනට පිවිස තිබේ. ඉහළ ආර්ථික සංවර්ධන ඉලක්කයන් ලඟාකර ගැනීමට රටේ බලය පමණක් නොව ගමේ බලයත් තමන් සතු කර ගැනීම එජාපයේ සටන් පාඨය යි. මෙම සියලු ප්‍ර‍කාශ හා  පොරොන්දු පිළිබඳව බහුතර ජනතාවකට විශ්වාසයක් නැති බව නම් පැහැදිලි ය.
විශේෂයෙන්ම යහපාලනයැයි තමන්වම හදුනා ගන්නා ආණ්ඩුවේ ප්‍ර‍ධාන පාර්ශව දෙකම සිය බලමුළු තරකර ගැනීම සදහා ප්‍ර‍සිද්ධියේම එකිනෙකාට පහර දෙන තත්වයක් නිර්මාණය වී ඇත. ලංකාව වැනි පසුගාමි චින්තනයක් පවතින රටක මෙම විවේචන ප්‍ර‍තිපත්ති රාමුවෙන් පිටතට පැමිණ ග්‍රෝතිකවාදි ස්වරූපයක් ගැනීම පුදුම විය යුතු දෙයක් නොවේ. ආණ්ඩුවේ ප්‍ර‍ධාන පාර්ශව දෙකේ මතු වී ඇති මෙම තත්ත්වය උපයෝගි කර ගනිමින් 2015 ජනවාරි 08 වැනිදා පරාජයට පත් කළ දුෂ්ට ජාතිවාදි බලවේග සිය බලය තහවුරු කර ගැනීම සඳහා උපරිම උත්සාහයක් දරන බව පෙනේ.  මෙය බලාපොරාත්තු විය හැකි දෙයකි. මෙලෙස බලය සඳහා තුන්කොන් අරගලයක් පැන නැගී ඇති අතර මෙම පළාත් පාලන මැතිවරණය මෙම තෙපාර්ශවයේ ගල උඩ සටනක් බවට පත්ව ඇත.
කොතරම් අඩුපාඩු හා ගැටළු පැවැතියත් පැවැති රාජපක්ෂ පාලනයට සාපේක්ෂව මෙම පාලනය තුළ තවමත් කිසියම් ප්‍ර‍ජාතන්ත්‍රීය බවක් පවතී. රාජපක්ෂ පාලනය තුළ පැවැති මර්දනකාරි, භීෂණකාරි, ප්‍ර‍ජාතන්ත්‍ර‍ විරෝධී ස්වභාවයන් කිසියම් ප්‍ර‍මාණයකට හෝ ඉවත් වී තිබේ. මෙය වාමාංශික, ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී බලවේගවල අරගලවල ප්‍ර‍තිඵල ය. වාමාංශික, විප්ලවවාදී, ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදි  සියලුම දේශපාලන බලවේග උත්සාහ කළ යුත්තේ මෙම තත්වයන් තවත් වර්ධනීය තත්වයට පත්කර ගැනිමේ දේශපාලන ක්‍රියාමාර්ග තෝරනවා විනා ඒවා පසු පසට ඇද දැමීමේ ක්‍රියාමාර්ග තේරීම නොවේ.
 එක්අතකින් . අන්‍යොන්‍ය වශයෙන් බලය සඳහා වන ආණ්ඩුවේ පාර්ශව දෙක අතර වන සීතල යුද්ධයද, ආණ්ඩුවේම ක්‍රියා කලාපයද අනෙක්අතින් ඒ නිසාම පරාජිත ජාතිවාදී හා ගෝත්‍රවාදී ඒකාධිපතිවාදී බලවේගයන් යළි හිස එසවීමද  පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය ද බොහෝ සෙයින් ලංකාවේ ඉදිරි ආසන්න දේශපාලනයේ ගතිකයන් නිශ්චය වනු ඇත.
මෙම තත්වයන් පිළිබඳව ගැඹුරින් විශ්ලේෂණය කොට නිසි දේශපාලන ක්‍රියාමාර්ග තේරීමක් ඡන්දයට ඉදිරිපත්ව සිටින ලංකාවේ ‘‘වාමාංශික පක්ෂවලින් ද සිදුවන බවක් නොපනේ.මේ වන විට ඡන්ද ව්‍යාපාරයේ නියැලී සිටින පොදුවේ ගත් කල ජාතික දේශපාලනයෙහි ප්‍රධානතම  වාමාංශික දේශපාලන ව්‍යාපාරය ලෙස සැලකෙන ජ.වි.පෙ මෙම ඡන්දය ගමේ ඡන්දයකට ලඝුකර ඇත. එය ද දූෂණයෙන් තොර සුපුරුදු ප්‍රාදේශීය සභාවක්, සුපුරුදු නගර සභාවක් පිහිටුවීම සඳහා මහජනතාවගෙන් බලය ඉල්ලා සිටි. දූෂණය වංචාව වැනි කාරණා පිළිබදව මහජනතාව දැනුවත් කිරිමේ කිසිදු වරදක් අපි නොදකිමු. මෙහි වරද පවතින්නේ  දූෂණය, අල්ලස වංචාව වැනි කාරණා ධනවාදි ක්‍ර‍මය තුළ පවතින නෛසර්ගිකයන් බව මහජනතාවට  පෙන්වාදීමට  ඔවුන් දක්වන අසමත්කමයි. සිය අභ්‍යන්තර අධ්‍යාපන කඳවුරුවලදී මොනවා කීවත් භාවිතයේදි ජවිපෙ සමාජ ප්‍රජාතන්ත්‍ර‍වාදි ව්‍යාපාරයක් බවට පත් වී තිබේ.
මීට අමතරව ප්‍රාදේශීය සභා කිහිපයක් සඳහා ඉදිරිපත් වී සිටින කුඩා වාමාංශික දේශපාලන පක්ෂ කිසියම් සාධනීය කරුණු ඉදිරිපත් කළත්, අධි බලැති ජනමාධ්‍ය කතිකාවතින් ඔවුන්ට කිසිදු ඉඩක් නොලැබේ. එවැනි පක්ෂ කිහිපයක් ඉදිරිපත් වී සිටිනවා ද යන්නත් සමාජය නොදනී.
නමුත් සැළකියයුතු ක්‍රියාකාරිත්වයක් පෙන්නුම්කරන  පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ස්ථාවරය සපුරා වෙනස් තත්වයක පවතී. ඔවුන්ට අනුව හුදෙක් ඡන්ද ගුණ්ඩු මල්වෙඩි පිපිරීමක් පමණක් වන මෙම ඡන්දයට ජනතාව නොරැවටිය යුතුය,  මෙවැනි දූෂිත, ප්‍රජාතන්ත්‍රීය නොවන බොරු ඡන්ද වර්ජනය කිරීමට ජනතාව කටයුතු කළ යුතුය.
   විප්ලවවාදී පක්ෂයක් මැතිවරණවලට ඉදිරිපත් වෙනවා ද නැද්ද යන්න තීරණය කරන්නේ ඒවා නිශ්චිත සන්දර්භය තුළ ජනතාවට අධ්‍යාපනය දීමේ වේදිකා බවට පත් කර හැකි ද හා පාර්ලිමේන්තුව හා පළාත් පාලන  ආයතන ආදිය තුළ යම් නියෝජනයක් ලබා ගත හැකි ද සහ  මැතිවරණවලට ඉදිරිපත් වීමෙන් ව්‍යාපාරයේ හා පංති අරගලයේ වර්ධනයට ආධාරයක් සැලසේ ද නැත්ද යන්න මත ය.
ධනේශ්වර  පාලන ක්‍රමයක් තුළ කිසිදු ජනතා ප්‍රශ්නයකට සැබෑ විසඳුම්  නොසැලසෙන බව ඇත්තය. පළල් මහජන ව්‍යාපාරයක් සහිත විප්ලවවාදි ‍ දේශපාලන ව්‍යාපාරයක් ගොඩනගා ගැනීමේදී ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදි ඉඩකඩ පුළුල්කර ගැනීමට කටයුතු කිරිම ඉතා වාසිදායකය. විප්ලවවාදී  දේශපාලන කණ්ඩායම් මෙය ප්‍රමුඛ අවධානයක් යොමු කළ යුතු කරුණකි.
මෙම ක්‍රමය තුළ මහජනතාවගේ ඡන්දයට හිමිවන්නේ අවම වටිනාකමක් බව ඇත්තය. ඡන්දය ලබාගෙන බලය තහවුරු කර ගැනිමෙන්  පසු අති බහුතරයක් හැසිරෙන්නේ මහජනතාවෙග් නියෝජිතයන් ලෙස නොව ව්‍යාපාරිකයන්ගේ, කුඩුකාරයන්ගේ  හා අන්ත දූෂිත බලවේග වල නියෝජිතයන් ලෙස බව පැහැදිලිය. එයට විකල්පය ඡන්දය වර්ජනය කිරිමද?   යම් යම් විශේෂිත තත්වයන් යටතේ ඡන්ද වර්ජන ව්‍යාපාරයන් ගෙනයාමට වාමාංශික, විප්ලවවාදි සංවිධානවලට සිදුවේ. නමුත් මේ මොහො‍තේ එවැනි තත්වයක් ඇතැයි අපි විශ්වාස නොකරමු.
පවතින සියලු මහජන නියෝජිත ආයතන අන්ත දූෂිත ඒවා බවට කිසිදු විවාදයක් නැත. ප්‍රාදේශීය සභාවේ සිට පාර්ලිමේන්තුව දක්වාම මෙම තත්වය පවතී.මෙම මහජන නියෝජිත ආයතන කොතරම් දූෂිතවූවත්, ඒවාට තම පක්ෂ හා කණ්ඩායම්වලින් නියෝජිතයන් කිහිප දෙනකු හෝ පත්කරයවා ඒවා තුළමත් හෙළිදරව්කිරීම් සහ එමගින්  ජනතාව දැනුවත්කිරීම ඒ ඒ නිශ්චිත තත්ත්වයන් යටතේ වාමාං ශික බලවේගවල වගකීම විය යුතුය.
කිසියම් විප්ලවීය පක්ෂයකට හෝ කණ්ඩායමකට ඡන්දයක් ස‍ඳහා ඉදිරිපත් වන්නට හැකියාවක් නොතිබෙන්නට පුළුවන. එහෙත් මේ ඡන්දයේ දී එජාප, ශ්‍රීලනිප හා පොහොට්ටු පක්ෂවලට එරෙහිව දූෂණයට මර්දනයට එරෙහිව හඬ නගන ධනේශ්වර නොවන පක්ෂ හා කණ්ඩායම්වල නියෝජිතයින් මේ ආයතනවල නියෝජනය වීම වැදගත් ය, ප්‍රයෝජනවත් ය. නිවැරදි ය.  කළ යුත්තේ පවත්නා නිශ්චිත තත්ත්වයන් තුළ මෙම ඡන්දයේදී එජාප, ශ්‍රීලනිප හා පොහොට්ටු පක්ෂවලට එරෙහිව ඒ ඒ තැනවලදී  ඉදිරිපත්ව සිටින ධනේශ්වර නොවන පක්ෂ වන සමාජවාදී පක්ෂය, එක්සත් සමාජවාදී පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ යන පක්ෂවල අපේක්ෂකයන් තෝරාපත්කර යැවීමට ඡන්දය දීම ය.  
විප්ලවීය සමාජවාදී කේන්ද්‍රය
06.02.2018




No comments:

Post a Comment

Featured Post

අධ්‍යාපනය අයිතියකි ! විකිණීම සඳහා නොවේ !

දකුණු ආසියාතික තාක්ෂණික හා වෛද්‍ය ආයතනය (සයිටම්-  SAITM, The South Asian Institute of Technology and Medicine)    2008 ඔක්තෝබර් 1 දින ආයෝජ...