වාමාංශික, ප්‍රජාතන්ත්‍රවාදී සහ වෙනත් සමාජ
ක්‍රියාකාරී කොටස් අතර මාස ගණනාවක් පුරා කරගෙන ගිය සාකච්ඡා මාලාවකින් අනතුරුව එළඹුන එකගතාවය මත
ජාතික ජන බලවේගය පසු ගිය ජුලි 14 දින
බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී මහත් හරසරින් ජනගත කෙරිණි.
ලංකාවේ ජාතික දේශපාලනය තුල දේශපාලන
සංධාන,පෙරමුණු ගොඩනගා ගත් අවස්ථා බොහෝය.
දක්ෂිණාංශික පක්ෂ එම වර්ගයේම තවත් දක්ෂිණාංශික පක්ෂ සමගත්, වාමාංශික පක්ෂ
තවත් වාමාංශික පක්ෂ සමගත් සංධාන හෝ පෙරමුණු ගොඩනගාගෙන ඇතිවා පමණක් නොව, වාමාංශික
පක්ෂ, තමන් විසින් ʻපංති සතුරන්ʼ කියා හදුන්වා දුන් දක්ශිණාංෂික පක්ෂ සමග ද
සංධාන ගොඩනගාගැනීමට ක්‍රියාකර ඇත. කිසියම්
තනි පක්ෂයකට ඒ තත්කාලීන දේශපාලන මොහොත,
බොහෝවිට එය ඉදිරි මැතිවරණයකි, තනිව ජයගැනීමට ඇති නොහැකියාව හේතුවෙන් එවැනි
සංධාන ගොඩනගාගැනීම කරා යොමුව ඇති බව පැහැදිලිය.
එවැනි අවස්ථාවල එළි දැක්වෙන්නේ වැඩිමනත් මැතිවරණ ප්‍රතිපත්ති මාළාවක් ලෙස
ඡන්ද පොරොන්දු ලැයිස්තුවකි. සමස්ථ ගැටළුව විශලේෂණයකරගැනීමෙන් අනතුරුව රටේ
දිගුකාලීන සමාජ, ආර්ථික හා සංස්කෘතික දියුණුව වෙනුවෙන් ඇතිකරගත් ගැඹුරු දැක්මක් මත
පදනම් වූ පලල් ප්‍රතිපත්ති මාලාවක් ඒවායෙහි කිසිවිටකත් අඩංගු නොවීය. ඒ වෙනුවට
පවතින ආණ්ඩුවේ වැරදි හුවාදක්වා ඊට වෙනස්ව ආකර්ශණීය පොරොන්දු මාලාවක් ඉදිරිපත්කරනු
ලබයි. මේ ඊනියා පෙරමුණුවල තවත් විශේෂත්වයක් නම් කිසිදාක ජනතාවට දැකගන්න, දැනගන්න
නොලැබෙන අදෘෂමාණ ගිවිසුම්ය. ඇමතිකම් බෙදාගැනීමේ නිර්ලජ්ජිත කෙවල්කිරීම්වලින් පිරි
හෙයින් ඒවා සදා රහසක් වශයෙන් රැකගනී. ඉදින්, මෙවැනි පෙරමුණු බලයට පත්වීමෙන් පසු පැවති ආණ්ඩුවටත් වඩා වේගයෙන් රට අගාදයට ඇදගෙන
යයි. පෙරමුණු පාර්ශවයන් එකිනෙකා පරයමින් උදාවූ අවස්ථාව උපයෝගීකර ගනිමින් රාජ්‍ය දේපල කොල්ලකෑමෙහි, දූෂණයෙහි, ඥාති සංග්‍රහයෙහි
යෙදෙන්නට පටන්ගනී. මේ විෂම චක්‍රය බිද
දැමීමට කිසිම සම්ප්‍රධායික දේශපාලන පක්ෂයක් ඉදිරිපත් නොවනවා විතරක් නොව ඔවුන් නැවත
නැවතත් විවිධ පෙරමුණු , සංධාන අටවා ගනිමින් එය තවත් තීවෘකරයි. මේ අනුව ලංකාවට
අදාළව දේශපාලන පෙරමුණු/ සංධාන ගොඩනගාගැනීම රටේ ඉදිරි ගමන අරඹයා කරන ලද්දක් නොව
හුදෙක් ඒ ඒ දේශපාලන පක්ෂවල පැවැත්ම ආරක්ෂාකරගැනීමට අනුගමනය කරන ලද උපාය මාර්ගයකි.
එක් අතකින් ඉන් පිළිබිඹුවෙන්නෙ මොරමින්
පවතින දේශපාලන ව්‍යාකූලත්වය තුල තනි තනි පක්ෂවල පැවැත්ම අභියෝගයට ලක්ව ඇති බව ය. වාමාංශික
පක්ෂ සම්බන්ධයෙන් මේ සත්‍යය අදාළ වෙයි.