රුසියාව, යුක්‍රේනය සහ නේටෝව


යුක්‍රේනයේ රුසියානු ආක්‍රමනය හිට්ලර්  පෝලන්තයෙන් ආරම්භකළ  ආක්‍රමණය සහ ඇමරිකාවේ ඉරාක ආක්‍රමණය තරම්ම යුධ අපාරාධයකි. ඒවා සාධාරණයකිරීමට හෝ සැහැල්ලුකර දැක්වීමට කිසිවක් ම නැත. මෙම ගැටුමේ මූලයන් සමහරක් සෝවියට් සංගමය පැවති සමයේ මෙන්ම එය බිද වැටීමෙන් පසු  ඇමරිකා එක්සත් ජනපදය විහින් මෙහෙයවන නේටෝ සංධානය ව්‍යාප්තකිරීමේ බල අරගලය  සමග සම්බන්ධව ඇත. එම කරුණ නොතකා හැර " රුසියානු ආක්‍රමණය" හුවා දැක්වීමෙන් පමණක්   අපට ලැබෙන්නේ සිදුවීමේ අදුරු ඡායාවකි.  රුසියාව යුක්‍රේනය ආක්‍රමනය කිරීම මුළුමනින්නම වැරදිය. ඒ ගැන අපට දෙගිඩියාවක් නැත.  එහෙත් පුටින්ගේ  මර්ධනකාරී සහ මානව අයිතීන් උල්ලංඝනයකිරීමේ අවලස්සන වාර්ථා ඉදිරියට දමාගෙන රුසියාව යුදමය වශයෙන් වටකර පීඩනයක් එල්ල කිරීමේ එක්සත් ජනපද - නේටෝ- උපාය මාර්ගය නිවැරදි වන්නේ නැත. එයින් සිදුවෙන්නෙ  යුක්‍රේනය පිලිබද   පුටින්ගේ ආක්‍රමණකාරී  පිලිවෙතට යම් සුජාතභාවයක් ලැබීමය.   නේටෝවේ බල ව්‍යාප්තිය නොතිබෙන්නට සමහරවිට වත්මන් යුක්‍රේන අර්බූදයක්  පැන නොනගින්නට ඉඩ ඇති බවට ජාත්‍යන්තර යුධ විශ්ලේෂකයන් පෙන්වා දෙයි

රුසියාව වට කිරිමේ නේටෝ යුධ උපාය සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති පුටින්ගේ කලබලය තේරුමගත හැකි කරුණකි.   තම අසල්වාසීන් විශේෂයෙන් යුක්‍රේනය නොටෝවට සම්බන්ධකර නොගන්නා බවට නොටෝවෙන් සහතිකවීමක් පුටින් අපේක්ෂා කළේය. පුටින්ගේ ආරක්ෂණවාදී ඉල්ලීම බරපතල ලෙස ගනන් නොගැනීමට තරම් වොෂින්ටනයයේ  -නේටෝවේ - බල  උන්මාදය ඉහවහා ගොස් අති  බව පෙනේ.  එදා ඇමරිකාව බටහිර ද සහාය කරගෙන ඉරාකය, ලෙබනනය හා ඇප්ගනිස්ථානය ආක්‍රමණකිරීමට යොදාගත් හේතු පාඨ අද රුසියාව ද  මුමුනමින් සිටියී.   " රුසියාවේ දේශපාලන සථාවරත්වය"  වැනි තර්කයන් මගින් යුක්‍රේනයේ ස්වෛරී පැවැත්මට එරෙහිව විනාශකාරී ආක්‍රමණයක් සාදාරණය කළ නොහැක. ඒ වගේම ඒ ආක්‍රමණ ඉදිරියේ ඇමරිකාව ප්‍රමුඛ බටහිර තෝරාගනිමින් සිටින ගැටුම් උත්සන්න කිරීමේ පිලිවෙත  ද ඒ තරමටම විනාශකාරීය. පුටින්ගේ ආක්‍රමණය වගේම පුටින්ට දඩුවම් කිරීමේ නොටෝ ක්‍රියාමාර්ග  ද ලෝකය යුද තර්ජනයකට ඇද දැමීමකි. එය පුටින්ට දඩුවමක් කෙසේ වෙතත්  කෙස් ගහක තරමවත්   යුද්ධයක උවමනාවක් නැති සාමාන්‍ය ලෝක ජනතාව මත විනාශය කඩා වැටීමට සැළැස්වීමකි. මේ වන විට බෝම්බ ප්‍රහාරයන්ගෙන් මිය යන්නේ පුටින්ලා හේ බයිඩන්ලා නොව සාමාන්‍ය යුක්‍රේන ජනතාව ය. 

රුසියානු- යුක්‍රේන අර්බුදය ගැන සම්පූර්ණ හා පැහැදිලි පිංතූරයක් ලබාගැනීමට නම් එම අර්බුදය මේ තත්ත්වය කරා වර්ධනය වෙන්න  බලපෑ ගෝලීය බල දේශපාලනය හා භූ දේශපාලනයට අදාළ යතාර්තය හදුනාගැනීම වැදගත්ය. 


යුක්‍රේනය

වත්මන්   යුක්‍රේනය භුමිය අතින් රුසියාවට පසු යුරෝපයේ දෙවැනි විශාලතම රටයි. බෙලාරූස්, පෝලන්තය, හන්ගේරියාව, රුමේනියාව, ස්ලොවැකියාව, මෝල්ඩාවියාව සහ රුසියාව සමග දේශ සිමා බෙදීගොස් ඇත.   රුසියාවට සම්බන්ධ දේශසිමාව පමණක් කි.මි. 2295 කි.   ජනගහනය මිලියන 43.6 කි.රුසියාව සහ යුක්‍රේනය    වංශ සහ ගෝත්‍ර කීපයක් ඒකාබද්ධකරගත් පැරනි " රූස්"-Rus- නම් රාජධානියට ඓතිහාසික නෑකම්කියන රටවල් දෙකකි. එවකට එම රජධානියේ අගනුවර ලෙස පැවත ඇත්තේ කියෙව් -Kiev-නගරය යි.  සංස්කෘතිය, භාෂාව සහ ආගම අතින් දෙරට අතර බොහෝ සමානකම්  තිබී ඇත. පසුව ක්‍රමක්‍රමයෙන් යුක්‍රේනය රුසියානු අධිරාජ්‍යට උරාගෙන ඇති නමුත් අධිරාජ්‍යයෙන් වෙන්විමේ උවමනාව යුක්‍රේනය තුල මෝදුවෙමින් පැවතුනා.    1917 පෙබරවාරි විප්ලවයෙන් රුසියානු අධිරාජ්‍යය බිදවැටීමෙන් පසු  යුක්‍රේනියානු මහජන සමූහාණ්ඩුව නමින්   යුක්‍රේනය  ස්වාධින රාජ්‍යයක්  ලෙස ප්‍රකාශයට පත්කරන්න යෙදුන. . රුසියාවේ සෝවියට් ව්‍යාපාරයේ අභාෂය හා අනුබලය    ලැබු  යුක්‍රේනියානු කම්කරු පංතිය 1919 දී එහි යුක්‍රේනියානු සමාජවාදී සෝවියට් සමූහාණ්ඩුව පිහිටුවනු ලැබීව.. 1922 දෙසැ.30 සෝවියට් සමාජවාදී සමූහාණ්ඩු සංගමය පිහිටුවීමේ දි යුක්‍රේනය එහි ආරම්භක සාමාජිකයෙක් විය. 1991 දි  සෝවියට් සංගමය විසිරුවාහැරීමෙන් පසු යුක්‍රේනය නිදහස් රාජ්‍යයක් බවට පත්වුයේ  ලෝකයේ තුන්වන විශාලතම න්‍යෂ්ඨික අවි  තොගයට හිමිකම් කියමින්ය. ( එහෙත් ඒවායේ ක්‍රියාකාරී පාලනය රුසියාව සතුය.) යුක්‍රේනයේ නැගෙනහිර හා දකුණු පළාත්වල රුසියානු සම්භවය ඇති බහුතර ජනයා රුසියායාව සමග කිට්ටු සම්බන්ධතාවයක් අපේක්ෂා කළ අතර බටහිර හා මධ්‍යම පළාත්වල ජනයා රුසියාව කෙරෙහි දැක්වූයේ අඩු හිතවත් කමකි. බෙලාරූස්, කසකස්ථානය හා රුසියාව ඒකාබද්ධ සංගමයක් විදියට ක්‍රියාකළත් ය්‍රක්‍රේනය කිසිදිනක එම සංධානයට නොබැදුන නමුත් යුරෝපා සංගමය සමග ආර්ථික හා දේශපාලන සම්බන්ධතා ගිවිසමක් ඇතිකර ගැනීමේ උනන්දුවක් දැක්වූව.  යුරෝපා සංගමයට හා නේටෝවට යුක්‍රේනයේ ඇති මේ ලැදියාව  ගැන රුසියානුවන් තුල වුයේ යුක්‍රේන විරෝධයකි.

   යුක්‍රේනයේ ස්ථානගත න්‍යෂ්ඨික අවි, කළු මුහුදේ නාවික බල ඇණියේ අයිතිය හා යුක්‍රේනය හරහා වැටී තිබූ රුසියාවට අයත් තෙල් හා ගෑස් නල පද්ධතිය   ආදීය සම්බන්ධයෙන් 90 දශකය තුල   දෙරට අතර අර්බුද පැන නැගුන වගේ ම ඒවාට අදාළව ගිවිස ගැනීම් ද සිදුකර ඇත.


 රුසියාව සහ නේටෝව 

යුක්‍රේනය නේටෝවට සම්බන්ධ වුනොත් රුසියාවේ දකුණුට වෙන්න රුසියාව දිහාවට එල්ලකරගත් අවි සහිත බලවත් අමරිකානු හමුදා කදවුරු  සහිත මිතුරෙක් ඇමරිකාවට ලැබෙනු ඇත.  ඇමරිකානු  දේසසීමාවේ කැනඩාව හෝ මෙක්සිකෝව සමග රුසියාව යුධ ගිවසුමට එළඹුනෝතින් ඇමරිකාවේ පුතිචාරය කුමක් විය හැකිද?  ඒ අනුව පුටින්ගේ මැසිවිල්ල තුලින්  ද්වනිතවන ස්වයං ආරක්ෂණවාදී  හඩ තේරුම්ගැනීම ද මෙම අර්බූදය තේරුම්ගැනීමේ දී වැදගත්ය. 

ඇමරිකාව විහින් යුක්‍රේනය  නේටෝවට සම්බන්ධකර ගැනිමට පෙළඹවීමේ ඉතිහාසය දශක තුනක්  තරම් පැරණිය.  1990 දී එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ජේම්ස් බේකර් -James Baker-සෝවියට් නායක ගෝර්බචෝප්ට පොරොන්දු වෙමින් කියා සිටියේ නැගෙනහිර යුරෝපයට අයත්  කලින් සමාජවාදී රාජ්‍යයන් කරා නේටෝව ව්‍යාප්ත නොකරන බව ය. ඒ හිලව්වට ජර්මනිය එක්සත් කිරීමට ගොර්බචෝප් එකගවී සිටිය. ඒ අනුව රුසියාවේ විරෝධයක් නැතිව ජර්මනිය එක්සත් කළ නමුත් නේටෝව සිය පොරොන්දුවට පටහැනිව හන්ගේරියාව, පෝලන්තය සහ චෙක් රටවල්  සහ ලැටිවියාව, ලිතුවේනියාව සහ එස්තෝනියාව යන කලින් සෝවියට් රාජ්‍යයන්ව පැවති රටවල්   කරා ද නේටෝව ව්‍යාපත්කරන්නට යෙදුන.   ඒ සැම අවස්ථාවකම රුසියාව තද බල ලෙස තම  නොසතුට,විරෝධය දැක්වූව.   රුසියාව නේටෝවේ මේ ව්‍යාප්තිය  දකින්නේ තමන් ක්‍රමානුකූලව නේටෝව විසින් වටකරමින් තම ආරක්ෂාවට තර්ජනය එල්ලකරමින් සිටින ලෙසය.  ඒ වගේම නේටෝ  ව්‍යාප්තිය ඇමරිකාව කරන බරපතල ප්‍රතිවිපාක ඇතිකරන  වරදක් වනු ඇතැයි   සමහර  ඇමරිකානු ප්‍රතිපත්ති සම්පත්දකයන් විසින් ද  අනතුරු අගවා ඇත.  නේටෝව ආරක්ෂාකර ගැනීම හා එහි ව්‍යාප්තිය  පසුපස ඇත්තේ එක්සත් ජනපදයේ බලය හා කීර්තිය ප්‍රවර්ධනකිරීම සහ අවසානයේ  අමරිකානු හා බටහිර යුධ කර්මාන්තයට    වාසි අත්කර දීමය. නැගෙනහිර රටවලට මෙය පෙනී ගියේ  දුර්වල රුසියානු කදවුරට වඩා  ඇමරිකානු සංධානය  " කීර්තිමත්" සංවිධානයක් ලෙසය. කෙසේවුවත් ඇමරිකානු ගැති   බොරිස් යෙල්ට්සින් වැනි රුසියානු නායකයන්  බොහෝවිට  ඇමරිකාව  සමග එකගතාවයකින්  කටයුතු කිරීම මගින් පෙන්නුම් කර ඇත්තේ  ඇමරිකාවට කියන තරම් ආරක්ෂක  ගැටළුවක් නොතිබුන බවය. යෙල්ට්සින්ගේ මැතිවරන ව්‍යාපාරයට  රහසින්  ඇමරිකාන් උපදේශකයන්ගේ සහාය  ලැබූ බවට වාර්ථා වී ඇත. ගෝලීය ආරක්ෂාව ගැන ඇමරිකාවට අවංක උවමනාවක් ඇති නම් කළ යුත්තේ නෙටෝව ව්‍යාපත් කිරීම නොව රුසියාව සමග වඩාත් සහයෝගයෙන්  කටයුතු කිරීම බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂකයන්ගේ මතය යි. ඇමරිකාවේ මෙම ඓතිහාසික නොසළකා හැරිමවල ප්‍රතිඵලය නම් රුසියානු ජනතාව ඇමරිකාව සම්බන්ධයෙන් විශ්වාස භංගත්වයක සිටි  පුටින් වගේ ඒකාධිපතියෙකුගේ  සරණ පැතීමය. මේ හේතුවෙන්  2000 දී පළමු වරට බලයට පත් පුටින් මේ දක්වා   රුසියානු දේශපාලනය මෙහෙයවන තීරකයා බවට පත්ව සිටී.     මෙම කරුණු සනාථකරමින්  හිටපු ඇමරිකානු ආරක්ෂ ලෙකම්වරු, , සී අයි ඒ අධ්‍යක්ෂකවරු සහ තවත් ඉහළ පෙළේ ඇමරිකානු  නිළධාරීන් හා යුධ විශ්ලේෂකයන්  විසින් පසු කාලයේ   ප්‍රකාශයට පත්කර ඇති  පොත් පත් හා ලිපි ලේඛණ  වැනි    සාක්ෂි සහිත ලියකියවිලි විශාල ප්‍රමාණයක් ජෝජ් වොෂින්ටන් විශ්ව විද්‍යාලයේ  ජාතික ආරක්ෂව පිලිබද ලේඛණාගාරයේ තැන්පත්ව ඇත.  නේටෝව ව්‍යාප්තකරමින් ඇමරිකාව    විසින්  තමන්  රවටනු ලැබූ බවට රුසියාව කරන චෝදනාවට මේ ඓතිහාසික වාර්ථා පදනම සපය යි. 


පුටින් සහ බෙදුම්වාදීන් 

  ඉහත  ඓතිහාසික කරුණු මගින් වඩාත් තීව්‍ර කරනු ලැබ, සහ එය ඉදිරියට දමා රුසියානු ජාතිකත්වය උද්ධීපනය කරමින් වැඩුන  පුටින්ගේ ඒකාධිපතිත්වය සිය දේශසීමා අවට රටවල් දෙස  නිතරම සැකයෙන් හා විමසිල්ලෙන් ද අවශ්‍ය විටක අවධානම් සහිත යුද ක්‍රියාන්විතයන් දියත් කිරීමට ද  සුදානමව සිටියාය.  යුක්‍රේනයේ " හිතුවක්කාරකම" ගැන රුසියාව සිටියේ දැඩි අවධානයෙන් යුතුවය.    යුක්‍රේනයේ නැගෙනහිර කලාපයේ  ඩොන්බාස් ( Donbass) සහ ලුහන්ස්ක්  (Luhansk) පළාත්වල බෙදුම්වාදී  සටන් කණ්ඩායම්වලට ආයුධ, පුහුණුව සහ යුධ උපදෙශකයන් සපයමින්  රුසියාව යුක්‍රේනය " මේච්චල් " කරගැනීමේ උපායකට පිවිසෙන අයුරු පෙනෙන්නට ඇත. කලාපීය බලවතුන් අවට කුඩා රටවල්  " කීකරුව " තබාගැනිමට  නිතර අනුගමනය කරන උපාය මාර්ගයකි එය.  අද වනවිට එම පළාත් දෙක ස්වාධීන " මහජන සමූහ ආණ්ඩු  " ලෙස රුසියාව විසින් නිළ වශයෙන් පිලිගෙන ඇත.    1954  දී යුක්‍රේනයට  පවරා දුන් ප්‍රදේශයක්ය යන පදනම මත 2014 දී යුක්‍රේනයේ ක්‍රිමියානු අර්ධද්වීපය ආක්‍රමණයකර  ඈදාගැනීමට ද  රුසියාව කටයුතු  කළා. . රුසියාව විහින් මෙසේ ක්‍රිමියාව අත්පත්කර ගැනීම නිසා යුක්‍රේනියානුවන් තුල  රුසියාව සම්බන්ධයෙන් වු පැරණි විරෝධාකල්පය අලුත් වුනා පමණක් නොව නේටෝව කෙරෙහි සමීප ආකල්පයක් ද මෝදු වුනා.  

  ඇමරිකාව විසින් සපයන ලද අවි ආයුධ හා වෙනත් ආධාරවලට අමතරව දෙන ලද අනාගත පොරොන්දු මගින් පොළඹවනු ලැබූ යුක්‍රේනය ද තම බලාපොරොත්තුව අතහැරියේ නැත. යුරෝපා සංගමය සමග ආර්තික හා දේශපාලන සහයෝගිතාවය පදනම්කරගත් ගිවිසුමක් අත්සන්කිරීමට යුක්‍රේනය  සැලසුම් කරමින් සිටිය. ප්‍රතිචාර වශයෙන්  රුසියාව යුක්‍රේනය මත අපනයන සීමාකිරීම් පනවන ලද අතර . අත්විය හැකි  මුල්‍ය හා දේශපාලන " ඛේධවාචකයක්" ගැන   අනතුරු ඇගවීම් කළා  රුසියාව සමග හිතවත්  යුක්‍රේනයේ එවකට ජනාදිපති වික්ටර් යනුකොවිච් විසින් ගිවිසුම අත්සන්කිරීම අත්හිටුවනු ලැබුව.  ප්‍රතිචාර වශයෙන්   ඩොලර් බිලියන ගනනක නය සහ තවත් පහසුකම් ප්‍රමාණයක් යුක්‍රේනයට ප්‍රධානය කරන්න රුසියාව කටයුතු කළා.  එහෙත් යනුකෝවිච් විහින් ගිවිසුම අත්හිටුවීමට එරෙහිව ජනතා විරෝධයන් පැන නගින්නට වූයෙන්  සිදුවුනේ   යුක්‍රේනයේ අභ්‍යන්තර අර්බූදය උග්‍ර කරන තවත් සාධක එයට එකතුවිමය. 

යුරෝමේඩන්- විරෝධතා ව්‍යාපාරය 

2013 නොවැ. මස යෝධ විරෝධතා රැල්ලක් යුක්‍රේනය පුරා හමා යන්නට වුනා. මේ විරෝධතා ව්‍යාපාරයේ ආරම්භය  කියෙව් නගරයේ නිදහස් චතුරශ්‍රයෙන්- -Maidan Nezalezhnosti-ආරම්භ වූයෙන් එය " යුරෝ මේඩන් " - Euromaidan- නමින් ද " අභිමානයේ විප්ලවය" -Revolution of Dignity-නමින් ද හදුන්වයි. විරෝධතාකරුවන් හා පොලීසිය අතර ගැටුම් උත්සන්න වුනා. පැය 24 ක කාලය තුල ගැටුම්වලින්  මියගිය ගනන 77  කි. ගල් කැට, ක්‍රිකට් බැට් සහ පසුව මොලටෝවි කොක්ටේල් - පෙට්‍රල් යොදාගත් බෝමබ විශේෂයක්- විරෝධතාකරුවන්ගේ ආයුධ වුනා.  ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ හදුන්වාදීමටත් ඉක්මන් මැතිවරනයක් පැවැත්වීමට එකගවෙමින් ජනාදිපති යනුකොවිච් විරුද්ධ පක්ෂ නායකයන් සමග කළ සාකච්ඡාවලින් පසු   ගිවිසුමක් අත්සන්කරන්නට යෙදන.  මේ සාකච්ඡා සංවිධානය කරන ලද්දේ යුරෝපා සංගමයේ නියෝජිතයින් සහ  පෝලන්තය, ප්‍රංශය හා  ජර්මනියට අයත් නියෝජිත්යින් විසින්ය. රුසියානු මැදිහත්කරුවෙක්ද එයට සහභාගිවුනා.      එහෙත් එය නොතකා විරෝධතාකරුවන් නගරය, පාර්ලිමේන්තු ගොඩනැගිල්ල, ජනාධිපති පාලන කාර්යාල සංකීර්ණය, අභ්‍යන්තර අමාත්‍යාංශය  අත්පත්කරගෙන පෙබර.21 පාර්ලිමේන්තු පනතක් මගින් යනුකොවිච් ජනාධිපති තනතුරෙන් නෙරපා හැරිය. එසේවුවත් ව්‍යවස්ථාධායක අදිකරණයේ විමර්ශණයක් ද හතරෙන් තුනක බහුතරක් ද අවශ්‍යකෙරනෙ  ජනාධිපති ධූරයෙන් ඉවත්කිරීමේ ක්‍රියාවලිය සහ     ධූරයෙන් පහකළ ජනාදිපතිවරයා වෙනුවට අගමැතිවරයා එම තනතුරට පත්කළ යුතු බව ව්‍යවස්ථාවෙන් දක්වා තිබුනත් එසේ නොකර විපක්ෂ නායක ඔලෙක්සන්ඩර් ටචිනොව්-Oleksandr Turchynov-වැඩ බැලීමට පත්කිරිම ව්‍යවස්ථානුකූලව සිදු නොවූ බව නීති විශාරදයන් කියා සිටී. ඒ මත පිහිටමින් රුසියාව ද යනුකොවිච් ද මේ ක්‍රියාදාමය කුමන්ත්‍රණයක් ලෙස හැදින්වීමට ඉදිරිපත්ව සිටී. 


මින්ස්ක් ගිවිසුම

යුක්‍රේනයේ බෙදුම්වාදී අරගල පැවති නැගෙනහිර හා දකුනු ප්‍රදේශවල ( ඩොනෙට්ස්ක් සහ ලුහන්ස්ක් ) සාමය තහවුරුකිරීමේ අරමුණ ඇතිව, ප්‍රංශය හා ජර්මනියේ මැදිහත්වීම ඇතිව  රුසියාව, යුක්‍රේනය සහ යුරෝපා ආරක්ෂාව සහ සහයෝගිතාව පිළිබද  සංවිධානය ඇතුලත් ත්‍රයි පාක්ෂික කණ්ඩායම විසින් සකස්කරන ලදුව බෙලාරුස් හි මින්ස්ක් නගරයේදී  2014 සෙප්. මස අත්සන්  කරනු ලැබූ ගිවිසුම  ප්‍රශ්ණයට අදාළ  ඩොනෙට්ස්ක් සහ ලුහන්ස්ක් මහජන සමූහ ආණ්ඩුවේ නියෝජිත.යින් ද නොනිළ මට්ටමෙන් මීට  සහභාගිවුනා.  එහෙත් ගැටුම්කාරී තත්ත්වය නොනැනවුන අතර 2015 ජනවාරි වන විට ගිවිසුම සම්පුර්ණයෙන්ම අඩාල වුනා. පෙර පාර්ශවයන්ගේම මැදිහත්වීමෙන් නැවත 2015 පෙබ. මස " මින්ස්ක් -ii නමින්  කොන්දේසි 13 ක් ඇතුලත් අලුත් ගිවිසුමක් අත්සන් කරන්නට යෙදුන. රුසියාව සහ යුක්‍රේනය මින්ස්ක් ගිවිසුම ඔවුනොවුන්ට උවමනා විදියට අර්ථ දක්වමින් එකිනෙකාට චෝදනා නගාගන්නවුනා. ගිවිසුම අත්සන් කරනු ලැබුවේ රුසියාව  තමන්ට තුවක්කු  මානාගෙන සිටිය දි බවත්  ගිවිසුම  යුක්‍රේනයේ විනාශය  ලගාකරන බවත් යුකේන ආරක්ෂක ලේකම් ප්‍රකාශකර සිටිය.   යුක්‍රේනය නේටෝවට සම්බන්ධ කර නොගන්නා බවට ඇමරිකාවෙන්  සහතිකයක්   ගිවිසුම හරහා රුසියාව බලාපොරොත්තු වුනත් ඇමරිකාව එය ප්‍රතික්ෂේප කළා. 

2022 පෙබ.15 රුසියානු  ඩූමාව (පාර්ලිමේන්තුව) සම්මත කරන යෝජනාවක් අනුව 2022 පෙබ .21 දින ඩොනෙට්ස්ක් සහ ලුහන්ස්ක් මහජන සමූහ ආණ්ඩු රුසියාව විසින් නිළ වශයෙන් පිලිගන්නා අතර   මින්සික් ගිවිසුම  ද එදිනම අවසන් වුනා. පෙබ.24 දින රුසියාව යුක්‍රේන ආක්‍රමණය  ආරම්භ කළා. 

  

රුසියාව මත  සම්භාධක පැනවීම

ඇමරිකාව සහ යුරෝපා සංගමය විසින් රුසියාව මත සම්භාධක පැනවිම සිදුකරන්නෙ  2014 දී රුසියාව යුක්‍රේනයේ ක්‍රිමියාව ආක්‍රමණය කිරීමත් සමගය. පුද්ගලයන්, වානිජ ව්‍යාපාර සහ රුසියානු නිළධාරීන්   ඉලක්ක කරගෙන එම සම්භාධක ක්‍රියාත්මක වුනා.  ඊට ප්‍රතිචාර වශයෙන් රුසියාව ද  ඇමරිකාව,යුරෝපා සංගමය ඇතුළු තවත් රටවල් කීපයකට සම්භාධක පැනවූව. මේ සම්භාධක පැනවීමේ ක්‍රියාවලියෙන් දෙපාර්ශවටම ආර්ථික අපහසුකමවලට මුහුණ පාන්න සිදුවුනා යුක්‍රේනයේ ඩොන්බාස් පළාතේ බෙදුම්වාදී අරගලයට රුසියාවේ මැදිහත්වීම සළකා රුසියානු බල ශක්ති ආයතන, අවි ආයුධ සහ ඉන්ධන කර්මාන්තයට හා තවත් අයිතම් සහ පුද්ගලයන් සැළකිය යුතු  ප්‍රමාණයක් මත  සම්භාධක  වැඩි කරන්නට යෙදුන.. 2022 පෙබ. ආක්‍රමණයත් සමග සම්භාධක ක්‍රියාත්මක කාල සීමාව සහ අයිතම් හා පුද්ගල ලැයිස්තුව තවත් දිගු වෙන්නට වුනා. මේ සම්භාධක අතරින් රුසියාව වඩාත් අපහසුතාවයට පත්කර  ඇතතේ  ස්විප්ට් සමාජයෙන් කපා හැරීමය. 

ස්ව්ප්ට්- SWIFT- යනු  1977 දි බෙල්ජියම පදනම් කරගත් " ලෝක ව්‍යාප්ත අන්තර් බැංකු මුල්‍ය විදුලි සංදේශ සමාජය" Society for Worldwide Interbank Financial Telecommunication- නම්  .අන්තර්ජාතික මුල්‍ය හුවමාරු හා  ගෙවිම් කටයුතු සංවිධානය කරන ප්‍රමුක පෙළේ පණ්වුඩ හුවමාරු ජාලයකි. රටවල් හා පළාත් 200 ට අයත් මුල්‍ය ආයතන 11, 000 ට වැඩි ප්‍රමාණයක් මෙහි සේවාව ලබාගනී.  ආරම්භයේදී එය ස්වාධීන ආයතනයක් වුව ද 11/9 අල්කයිඩා ප්‍රහාරයෙන් පසු ඇමරිකානු බලපැමට යටත් ආයතනයක් බවට පත්ව, ස්විප්ට්  හරහා බොහෝ  බැංකු ගණුදෙනු    ඇමරිකාවේ අධික්ෂණයට භාජනය වුනා. පසුව ස්විප්ට් ආයතනය   සම්භාධක පැනවීමේ ක්‍රියාවලියට හවුල් කරගන්නත් ඇමරිකාවට හැකිවුනා.  2012 දී ඇමරිකාවේ උවමනාව අනුව ස්විප්ට් ආයතනය  ඉරාන බැංකු පද්ධතිය සමග සියළු සම්බන්ධත කපා හැරිය. පලස්තීන හිතවාදීන් ඊස්‍රායල බැංකු සමග සම්බන්ධතාවය නවත්වන ලෙස ස්විප්ට් ආයතනයෙන්   ඉල්ලා සිටියත් ඔවුන්   එය ප්‍රතික්ෂේප කළා. 2022 දි රුසියාවේ යුක්‍රේන ආක්‍රමණයත් සමග ඇමරිකාව හා යුරෝපා සංගමයේ මැදිහත්වීමෙන් ස්විප්ට් ආයතනය තෝරාගත්  රුසියානු බැංකු ප්‍රමාණයක සම්බන්ධතාව සිය ජාලයෙන් ඉවත් කළා . ඇමරිකාවේ තර්ජන හමුවේ ඊට මූණ දීමට  2014 දීරුසියාව තමන්ගේම මුල්‍ය හුවමාරු සංනිවේධන ජාලයක්  -System for Transfer of Financial Messages- පිහිටුවාගන්නව. චීනය ද එවැනි ජාලයක් පිහිටුවාගෙන ඇත. ඉදිරියේ දී චීනය සමග එක්ව අන්තර්ජාතික මට්ටමට මුල්‍ය පණ්වුඩහුවමාරු ජාලය පුළුල් කරන්න රුසියාව බලාපොරොත්තු වෙනව. 

ඇමරිකාව,යුරෝපා සංගමය සහ ඔවුන්ගේ හිතවතුන් රුසියාව මත පනවා ඇති සම්භාදක ඇත්ත වශයෙන්ම , යුක්‍රේන යුද්ධය නැවැත්වීමට   කරන බලපෑමකට වඩා දිගුකාලීනව රුසියාවේ ආර්ථිකයට බලපෑම් කිරිම හා එමගින් රුසියාවේ අභ්‍යන්තර නොසන්සුන්තාවය වර්ධනයකර එය මුළුමනින්ම බිමට සමතලා කර දමා  තම පසමිතුරු  එක්  ගෝලිය බලවේගයක් වේදිකාවෙන් සදහටම ඉවත්කර දැමීම ඇමරිකාවේ දිගුකාලින අරමුණ වී ඇති බව  දේශපාලන විශ්ලේෂකයන්ගේ මතය යි . 

එක්සත් ජාතීන්ගේ ප්‍රඥාප්තය අනුව  සාමයට තර්ජනය එල්ලකිරිම, ආක්‍රමණය කිරීම වැනි ක්‍රියාවලට එරෙහිව යම් රටකට විරුද්ධව  යම්  ක්‍රියාමාර්ගයක් ගැනීමේ , ( සම්බාධක පැනවීම වැනි)  අයිතිය ඇත්තේ එම සංවිධානයට පමණකි. ඉතිහාසය පුරා එම අයිතිය ඇමරිකාව විහින් පැහැරගෙන තම බලය හා කිර්තිය තහවුරුකර ගැනීම  වෙනුවෙන් අනෙකා මත   හිතුමතේට සම්බාධක පනවමින් සිටී.  තමන්ගේ සහ තම සහචර රාජ්‍යයන්ගේ යුධවාදී, මානව විරෝධි  ක්‍රියාමාර්ගලට එරෙහිව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට එන ඕනෑම යෝජනාවක් එකහෙළා බැහැර කිරීමට ඔවුන් තම " නිශේධ බලය" පාවිච්චි කරයි.    ජාත්‍යන්තර සම්මුතීන් තිබුනත් ඒවායින් බැදී සිටිමට  ගෝලිය බලවේගයන් ක්‍රියා නොකරන බවට මෙය කදිම සාක්ෂියකි. අවශය විටක ප්‍රතිවිපාක නොළබාම එම ජාත්‍යන්තර නීති, සම්මූතින් උල්ලංඝනය කිරීමට ඔවුන් සූදානම් ය. යුක්‍රේනය සම්බන්ධයෙන්  පමණක් නොව ඕනෑම කලාපයක්, රටක් සම්බන්ධයෙන් ඔවුන්ගේ ප්‍රතිපත්තිය ,හැසිරීම එබදුය. මෙය රුසියාව, චිනය  ඇතුළු ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සමාජිකයන් සියළු දෙනා සම්බන්ධයෙන් අදාළ ය.

       

දක්ෂිණාංශික අන්ත ජාතිකවාදීන්- නව පැසිස්ටවාදීන්   

යුක්‍රේන විරෝධතාකරුවන් අතර  දක්ෂිණාංශික අන්ත ජාතිකවාදී කණ්ඩායම් ද සිටී. 2014 දී ස්වෙච්ඡා මහජන හමුදාවක් ලෙස    පිහිටුවනු ලැබූ  " අෂොව් හමුදා කණ්ඩය"- Azov Battalion- එවැන්නකි.    ඔවුන් ප්‍රමාණයෙන්  කුඩා නමුත් හොදින් සන්නද්ධ වු පිරිසකි.     නිළ නොවන නමුත්  සන්නද්ධ කණ්ඩායම්  වශයෙන් විරෝධතා කටයුතුවලදී ඔවුන්ගේ බලපෑම ඉහළය.  අෂෝව් හමුදා කණ්ඩයේ ප්‍රධාන අණදෙන්නා වුනේ  නව නාසිවාදී " යුක්‍රේන දේශප්‍රේඹී සංවිධානයේ" නායක  ඇන්ඩ්‍රී බිලෙට්ස්කි ය.-Andriy Biletsky-  ඔවුන් ප්‍රථමයෙන් යුක්‍රේනයේ ඩොන්බාස් ප්‍රදේශයේ සටන්වැදී සිටි රුසියාවට ලැදි බෙදුම්වාදීන්ට එරෙහිව යුධ ක්‍රියාන්විතයන් මෙහෙයවනු ලැබ පසුව යුක්‍රේන ජාතික ආරක්ෂක හමුදාවට  නිළ වශයෙන් ඇතුලත් කරගෙන ඇත.   ඔවුන්ගේ  ලාංජනය විදියට යොදාගෙන ඇත්තේ ජර්මන් නාසි හමුදාවේ ලාංජනය යි. එහි සමහර නායකයන් පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇති අතර  ඉහල පොලීස් තනතුරුවලට  ද පත්කරනු ලැබ ඇත.  2015 දී  එයට පුහුණුව හා යුදමය ආධාර ලබා දී ඇත්තේ ඇමරිකානු හමුදාව විසින් ය. ජනතාවගේ දේපොළ  කොල්ලැම, නීති විරෝධී රදවාගැනීම් සහ වදහිංසාවට ලක්කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට යුධ අපරාද චෝදනා එල්ලකෙරුන. මෙම චෝදනාත් ,  ඔවුන්ගේ  නාසිවාදී " සුදු උත්තරීත්ව" දෘෂිඨිවාදයත්  සලකා බැලූ ඇමරිකානු කොංග්‍රසය වරක් ඔවුන්ට ආධාර දීම නවතා දැමුවත් එය ටිකක කාලයකට පමණක් සීමා වුනා.    යුක්‍රේනයේ චතුරශ්‍රවල පිහිටි  පැරණි සෝවියට් යුධ ස්මාරකයන් ඉවත්  කරමින් ද   සමහර ස්මාරකයන් මත ඔවුන්ගේ ධජයේ පැහැය වු කළු සහ රතු පාට ආලේප කරමින් ද තම අන්ත ජාතිකවාදය වැපිරීම  ඔවුන් දිගටම කරගෙන යමින් සිටී.  


වාමාංශිකයන්, පැසිස්ට් විරෝධීන් සහ  සාමය සදහා සමාජ ක්‍රියාකාරින් 


  . මේ අතර දිගු කලක සිට  සාමය වෙනුවෙන් පෙනී සිටි සමාජ ක්‍රියාකාරීන් , පැසිස්ට් විරොධීන්  සහ වාමාංශිකයන්   මේ ආක්‍රමණය හමුවේ  තම මාවත තෝරාගැනීම පිළිබද එක්තරා ගැටළුකාරී තත්තවයකට මුහුණ පා සිටී. ඔවුන්ගේ තෝරාගැනීම වුනේ ඒ මොහොතේ රුසියානු  ආක්‍රමණයට එරෙහිවිම ය.  ඔවුන් සමහරක්  යුක්‍රේනියානු හමුදාව යටතේ එහෙත් යම් පමණක ස්වාධීනතාවයක් සහිතව ස්වේච්ඡා මහජන හමුදා ඛණ්ඩයන් විදියට සංවිධානය වී දේශසීමා ආරක්ෂා කිරීමේත් යුදධයෙන් බැට කන පවුල්වලට බේරී යාමට උදව් කිරීමෙත් ආධාර හා භාන්ඩ එකතුකිීමේත්  යෙදී සිටි.  එය අන්තයට කුණු වී ගිය  පාලන ක්‍රමයක් සහිත යුක්‍රේනය සමග හෝ ව්‍යාප්තවාදි, යුධවාදී  නේටෝව සමග හෝ එකගතාවක්  නොවන බව ඔවුන්ගේ ස්ථාවරය යි.   තම දේශපාලන  බලපැම සමාජය තුල තහවුරුකිරීමේ  මාර්ගයක් ලෙස ද ඔවුන් මෙය අර්තකතනය කරයි. දක්ෂිණාංශික ජාතිකවාදින් කෙරෙහි  ඔවුන්ගේ  සමනය නොවන විරෝධය හේතුවෙන් ඔවුන්   නිතර   " ද්‍රෝහින් " ලෙස   හංවඩුගැසීමට ලක් වෙයි.  

යුක්‍රේනයට අනන්‍ය  අභ්‍යන්තර  ගැටළු මගින් ජනතා විරෝධයන් පැන නැගීම සිදුවුවත් ඒවාට බටහිර හා ඇමරිකවේ අධාර අනුබල ලැබූ බවට වාර්ථා වෙයි.  ඇමරිකාව, යුරෝපා සංගමය සහ රුසියාව යන ගෝලීය බලවේගයන්ගේ නිළ නොවන අදිසි අතපෙවීම් හේතුවෙන් වර්ධනය වූ  යුක්‍රේන අර්බූදය එම බලවේගයන්ගේ  සෘජු මැදිහත්වීමට ඉඩකඩ සලසන මට්ටමට අද  උත්සන්නවී  ඇත.


යුක්‍රෙන්යේ විදෙස් ප්‍රතිපත්තිය ? 

කියෙව් සමාජ විද්‍යාව පිලිබද ජාත්‍යන්තර ආයතනය විසින් පවත්වන ලද ජන මත සමීක්ෂණයක් අනුව  2014 ට පෙර යුක්‍රේනියානුන් ගෙන් අඩක් වගේ ප්‍රමාණයක්   රුසියාව, බෙලාරූස් සහ කසකස්ථානය ඇතුලත් සංගමය සමග සම්බන්ධවෙන්න කැමැත්තෙන් ද ඉතිරි අඩක ප්‍රමාණය යුරෝපා සංගමය සමග සම්බන්ධ වෙන්න කැමැත්තේන්  ද සිට ඇත. රුසියාව සහ යුරෝපය යන පාර්ශව දෙක සම්බන්ධයෙන් යුක්‍රේනියානුන්  දක්වා ඇති   " යුරේසියානු" බහු ආකල්පය  විදෙස් කටයයුතුවලදී  යුක්‍රේනය  නොබැදි ප්‍රතිපත්තියක පිහිටුවීමට කරන පෙළඹවීමකට සමානාය.  එහෙත් තත්ත්වය   සම්පුර්ණයෙන්ම වෙනස්වී ඇත්තේ රුසියාව 2014 දී යුක්‍රේනයේ ක්‍රිමියාව ආක්‍රමණය කිරීමත් සමග ය. ඒ ඇරෙන්න.  දුෂණයට විරුද්ධවීම, අධිකරණ හා මුල්‍ය කටයුතුවල විනිවිධභාවය  වැනි සමාජ ප්‍රතිසංස්කරණ ගැන  යුරෝපා සංගමය දක්වන උනන්දුව ගැන ද යුක්‍රේනුවන් තුල වූයේ පැහැදීමකි. " යුරෝමේඩන්" මහජන විරෝධතා ව්‍යාපාරය පැනනැගීම පිටුපස වූයේත් පසුව එම ව්‍යාපාරය වර්ධනයවීම කෙරෙහිත් විශාල වශයෙන් බලපෑ සාධකය වුනේ    යුක්‍රේනියාන්න්ගේ මේ " යුරෝපා ප්‍රමෝදය "  යි. දක්ෂිණාංශික අන්ත ජාතිකවාදින් විරෝධතා ව්‍යාපාරය තුල කෑපී පෙනුනත් පාර්ලිමේන්තු මැතිවරණවලින් ඉදිරියට එ්මට ඔවුන්ට නොහැකිවීමෙන් පෙනී යන්නෙ යුක්‍රේනියානු ජනතාව  බටහිර හෝ රුසියානු යුධ සංධානවලට  අයත් නොවන  සම්ප්‍රධායික   නොබැදි  ප්‍රතිපත්තියක පිහිටීමට කැමැත්තක් දක්වන බවයි. කෙසේවුත්, සමහර දේශපාලකයන්‍  නේටෝව සමග උපායික සංධානයකට එළඹීමට උනන්දුවක් දක්වන අතර යනුකොවිච් වැන්නන් ඊට පටහැනිව රුසියාව තෘප්තිමත්වන ආකාරයේ " නොබැදි ප්‍රතිප්තියකට " නැඹුරුවක් දක්වයි. යුක්‍රෙන්ය අනුගමනය කළ යුතු විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් වු මේ දෝලනය යුක්‍රේනයේ අභ්‍යන්තර දේශපාලන උනුසුම උග්‍රකිරිමට- එය අද වගේ යුධ තත්ත්වයක්  දක්වා වර්ධනය කිරීමට රුසියාවට සහ ඇමරිකාවට අවස්ථාව සැළසි ඇති බව දේශපාලන නිරීක්ෂකයන්ගේ මතය යි. හුදෙක් " ස්වෙරීභාවය" මත පදනම්ව තීරණ ගැනිමට වඩා " ප්‍රායෝගකව" තීරණ ගැනීමට යුක්‍රේනය සලකාබලන්නේ නම්  ඇමරිකාව හා බටහිර සමග මෙන්ම රුසියාව සමග ද යුධමය නොවන ආර්ථික හා සමාජ සංවර්ධනය අරඹයා මධ්‍යස්ථ පිළිවෙතකට එළඹිම අතිශයින් වැදගත් වෙයි.  දෙවන ලෝක යුද්ධයෙන් පසු විදෙස් හමුදා තම භූමියෙන් ඉවත්වීමට හිලවි වශයෙන් මධ්‍යස්ථ වීමට  ඕස්ට්‍රියාව ගත් තීරනය ද එබදුම වැදගත් ප්‍රායෝගික පියවරකි.  මින්ස්ක් ගිවිසුම අනුව යුක්‍රේනය බලය බෙදිමේ පාලන ක්‍රමයකට යා යුතු අතර  යුක්‍රේනය තුල රුසියානු මැදිහත්විම නතර කළ යුතුය. නෝම් කොම්ස්කි පෙන්නාදෙන විදියට දිගු කාලයක් ගැටුම්වලට පදනම වු  සහ වත්මන් අර්බූදයේ දී කැපී පෙනුන කාරණය වූ ඇමරිකාවට යටත් නේටෝව වැනි යුධ සංධානයක් වෙනුවට " පොදු යුරෝපා නිවහනක්" වෙනුවෙන් යුරෝපය කල්පනා කරන්නේ නම් හා    එ් සදහා යුරෝපය  පෙළඹවීමට පුටින් පියවර ගන්නේ නම් එය යුක්‍රේනය, යුරෝපය හා අවසානයේ සමස්ථ ලෝකයටම ආහිර්වාදයක් වනවා ඇත.  එවිට  පරිසරය හා මිනිසාගේ පැවැත්ම සදහා සුදසු  ලෝක‍යක් නිර්මාණය  වනවා ඇත.   

  මේ ප්‍රාර්ථනාව සමගින් අපි දු , රුසියානු ආක්‍රමනයට එරෙහිව ස්වකීය රට, ජීවිත, දේපොළ ආරක්ෂාකර ගැනීමට සැබෑ ලෙසම නිර්භිතව සටන් කරන යුක්‍රේනියානු ජනතාව සමග,  අත්අඩංගුවට ගෙන සිරගතකිරීමේ අනතුර නොසළකා ප්‍රසිද්ධියේ සිය රාජ්‍යයේ අපරාධවලට විරෝධය දක්වන දහස් ගණන් රුසියානු ජනතාව සමග  සහ   යුධවාදී, ආක්‍රමණකාරී,හා  මානව විරෝධි ප්‍රතිපත්ති අනුයන හා එවැනි  ක්‍රියාකරකම්වල යෙදී සිටින  ඇමරිකාව ප්‍රමුඛ නේටෝව වැනි සැම ආකාරයකම  ප්‍රතිගාමී  බලවේගයන්ට එරෙහිව  විරෝධය පාමින් සටන් වැදී සිටින ලෝකයේ ප්‍රගතිශීලි ජනතයා සමග    අත්වැල් බැදගනිමු. 

ඒඩීපී රත්නායක 

2022.03 .10  


No comments:

Post a Comment

Featured Post

අධ්‍යාපනය අයිතියකි ! විකිණීම සඳහා නොවේ !

දකුණු ආසියාතික තාක්ෂණික හා වෛද්‍ය ආයතනය (සයිටම්-  SAITM, The South Asian Institute of Technology and Medicine)    2008 ඔක්තෝබර් 1 දින ආයෝජ...