පාර්ලිමේන්තුවෙන් ආණ්ඩු බලය ගෙන රාජ්‍යය තමන් අතට ගැනීමේ න්‍යාය
“ජනතා විමුක්ති පෙරමුණ මාක්ස්වාදයට, නිර්ධන
පංති විප්ලවයට සමුදෙයි!” යනුවෙන් "එල්ලය" නොව "ධාරණ" බ්ලොග් අඩවියේ පළ
වූ අපේ ලිපියට ප්‍රතිවාද කණ්ඩායමේ රමිඳු පෙරේරා සහෝදරයා ලියා තිබූ "අනුර
දිසානායකගේ පර්ත් කථාව - විප්ලවීය සමාජවාදී කේන්ද්‍රයට පිළිතුරක්" නම් ලිපිය
අද දේශපාලන සංවාද බිමෙහි සැබවින්ම වාද
පිටියෙහි රජ කරන උසාවි තර්කවාද කලාවට වෙනස්ව සාධනීය
සංවාදයකට කැඳවුම් කරන්නකි. පමා වී හෝ ඉන්
මතුකර තිබූ කේන්ද්‍රීය කරුණු කිහිපයක් ගැන
සංවාදයක් ගොඩ නැගීම වැදගත් ය යනු අපේ අදහස ය. මෙහි දී අප අවධානය යොමු
කරන්නේ “වැඩ කරන ජනතාවගේ පක්ෂයකට” පොදුවේ
ගත් කල වාමාංශයට පාර්ලිමේන්තුවෙන් ආණ්ඩු බලය අනතුරුව රාජ්‍ය බලය ද තමන් අතට ගෙන
ජනතාව මුහුණ දෙන සමාජ, ආර්ථික, දේශපාලන හා සමාජ ප්‍රශ්නවලට ආමන්ත්‍රණය කළ හැකි ය යන
ප්‍රවාදය යථාර්ථවාදී ද යන්න පිළිබඳව ය.
ජවිපෙ හා ජාජබ වෙනුවෙන් අපට පිළිතුරු සපයන රමිඳු සහෝදරයා සිය විවේචනය ගොඩ නගන්නේ මැතිවරණ මාවත ප්‍රායෝගික නොවේ යයි අප කියනවාය යන පිළිගැනීමේ සිට ය. “මැතිවරණ මාවත ප්‍රායෝගික නොවේ නම් බලය අල්ලා ගැනීමේ විකල්ප මාවත කෙබඳු විය යුතු දැ”යි ප්‍රශ්න කරන ඔහු මේ ගැන නිශ්චිත අදහසක් විප්ලවීය සමාජවාදී කේන්ද්‍රය ඉදිරිපත් නොකරන බව කියා සිටියි.