පාර්ලිමේන්තුවෙන් ආණ්ඩු බලය ගෙන රාජ්‍යය තමන් අතට ගැනීමේ න්‍යාය

“ජනතා විමුක්ති පෙරමුණ මාක්ස්වාදයට, නිර්ධන පංති විප්ලවයට සමුදෙයි!” යනුවෙන් "එල්ලය" නොව "ධාරණ" බ්ලොග් අඩවියේ පළ වූ අපේ ලිපියට ප්‍රතිවාද කණ්ඩායමේ රමිඳු පෙරේරා සහෝදරයා ලියා තිබූ "අනුර දිසානායකගේ පර්ත් කථාව - විප්ලවීය සමාජවාදී කේන්ද්‍රයට පිළිතුරක්" නම් ලිපිය අද දේශපාලන සංවාද බිමෙහි  සැබවින්ම වාද පිටියෙහි රජ කරන උසාවි තර්කවාද කලාවට වෙනස්ව  සාධනීය සංවාදයකට  කැඳවුම් කරන්නකි. පමා වී හෝ ඉන් මතුකර තිබූ කේන්ද්‍රීය කරුණු කිහිපයක් ගැන  සංවාදයක් ගොඩ නැගීම වැදගත් ය යනු අපේ අදහස ය. මෙහි දී අප අවධානය යොමු කරන්නේ  “වැඩ කරන ජනතාවගේ පක්ෂයකට” පොදුවේ ගත් කල වාමාංශයට පාර්ලිමේන්තුවෙන් ආණ්ඩු බලය අනතුරුව රාජ්‍ය බලය ද තමන් අතට ගෙන ජනතාව මුහුණ දෙන සමාජ, ආර්ථික, දේශපාලන හා සමාජ ප්‍රශ්නවලට ආමන්ත්‍රණය කළ හැකි ය යන ප්‍රවාදය යථාර්ථවාදී ද යන්න පිළිබඳව ය.  

ජවිපෙ හා ජාජබ වෙනුවෙන් අපට පිළිතුරු සපයන රමිඳු සහෝදරයා සිය විවේචනය ගොඩ නගන්නේ  මැතිවරණ මාවත ප්‍රායෝගික නොවේ යයි අප කියනවාය යන පිළිගැනීමේ සිට ය. “මැතිවරණ මාවත ප්‍රායෝගික නොවේ නම් බලය අල්ලා ගැනීමේ විකල්ප මාවත කෙබඳු විය යුතු දැ”යි ප්‍රශ්න කරන ඔහු මේ ගැන නිශ්චිත අදහසක් විප්ලවීය සමාජවාදී කේන්ද්‍රය ඉදිරිපත් නොකරන බව කියා සිටියි.

මෙහි දී මැතිවරණ මාවත ප්‍රායෝගික නොවේ යයි අප කියා ඇත යන පිළිගැනීමම වැරදි ය. අප එසේ  කියා නැත. අප කියා ඇත්තේ බලය මාරු කිරීමේ අරගලය හුදෙක් පාර්ලිමේන්තු අරගලයට ඌනනය කිරීම වැරදි බව ය. ජනතාව සවිඥානක සංවිධිත දේශපාලන බලවේගයක් ලෙස ගොඩ නගනවා වෙනුවට ධනපති පක්ෂ මෙන් පොරොන්දු පිට පොරොන්දු දෙමින් අපටත් වරක් දෙන්න. අප කරලා පෙන්නනම් වැනි පොරොන්දු දෙමින් ජනතාව පොරොන්දු දේශපාලනයක ගිල්වා දැමීම වැරදි බව ය. මැතිවරණ මගින් ආණ්ඩු බලය දිනා ගත්තත් ජවිපෙ නායකයින් කියන පරිදි අති සරල ලෙස රාජ්‍ය බලය දිනා ගැනීම පහසු නොවන බව ය. අප කියා ඇත්තේ මෙයයි.

මැතිවරණයකින් ඇතැම් විට ආණ්ඩු බලය ගන්න පුළුවන් වේවි. ඒත් රාජ්‍ය බලය ගන්න පුළුවන් ද? ඒක කරන්න බැහැ. රාජ්‍යය යි ආණ්ඩුවයි කියන්නේ එකක් නොවයි දෙකක් කියලා ජවිපෙ හොඳින් දන්නවා. මේ ක්‍රමය යටතේ තාවකාලිකව ආණ්ඩු බලය අත්පත්කර ගත්තත් රාජ්‍යය නමැති උපකරණයේ බලය සෙලවෙන්නේ නැහැ. දහසකුත් එකක් ඓන්ද්‍රිය බැමිවලින් එය ධනපති පංතිය සමග පමණක් නොවෙයි ඒ පංතියේ විදේශ ස්වාමීන් සමගත් බැඳිලා ඉන්නවා. ප්‍රගතිශීලී නිලධාරීන් ස්වල්ප දෙනෙක් හමුදාව තුළ, පොලීසිය හා පරිපාලන යන්ත්‍රය තුළ ඉන්න පුළුවන්. එසේ සිටියාට ලොකු වෙනසක් වන්නේ නැහැ. මෙය වාම දේශපලනයක යෙදෙන්නක් දැන සිටිය යුතු ප්‍රාථමික සත්‍යයක්.

යමෙක් අපේ ලිපිය අවධානයෙන් යුතුව කියෙව්වා නම් අපේ ප්‍රධාන විවේචනයක් වන්නේ මැතිවරණ මාර්ගයෙන් බලය අල්ලා ගැනීමට සටන් වැදීම සම්බන්ධයෙන්  නොවන බවත් බලය පිළිබඳ ප්‍රශ්නය හුදෙක් පාර්ලිමේන්තු ඡන්දයකට ඌනනය කිරීම හා ආණ්ඩු බලය හා රාජ්‍ය බලය අතර වෙනස නොතකා හැරීම සම්බන්ධයෙන්  බවත් ඔහුට/ඇයට වැටහිය යුතු ය. 

ප්‍රශ්නයේ දෙවන කොටස එනම් බලය අල්ලා ගැනීමේ විකල්ප මාවත කෙබඳු විය යුතු ද? යන්න ගැන අප එක එල්ලේ කියා නැති බව ඇත්ත ය. එහෙත් ලිපිය සැලකිල්ලෙන් කියවූයේ නම් ඒ ගැන ද අදහසක් ගත හැකි ය. ඉන් අප කියා ඇත්තේ බලය ලබා ගැනීම විප්ලවීය ආකාරයකින් විය යුතු බව කෙනෙකුට පැහැදිලි විය යුතු ය කියා ය. එහෙත් විප්ලවීය ආකාරය කුමක් ද යන්න විස්තර කර නොමැති වීම අඩුවකි. මන්ද එය හදෙක් සන්නද්ධ අරගලයට ඌනනය වීමක් හැඟී යා හැකි බැවිනි. කෙසේ වුව ද මෙම ලිපියට පෙර  "විප්ලවීය මහජන ආණ්ඩුවක් සඳහා සටන්  වදිමු" මැයෙන් අප පළ කළ ලිපියෙහි අපි අපේ රටේ පවත්තනා තත්ත්වයන්ට අනුව බලය මාරු කිරීම පිළිබඳ ගැටළුවට මෙසේ ආමන්ත්‍රණය කර ඇත්තෙමු."අවශ්‍ය කරන විප්ලවීය දේශපාලන විමුක්තිය ද විප්ලවීය ව්‍යවස්ථාමය හා ආර්ථික ප්‍රතිසංස්කරණ ද සාධනය කර ගැනීමේ විභවය ඇත්තේ ජන අරගලයකින් එක එල්ලේ පිහිටුවනු ලබන හෝ ප්‍රබල මහජන ව්‍යාපාරයක හා ප්‍රබල ජන අරගලයක ක්‍රියාකාරිත්වය මැදිකර  ගත් වාතාවරණයක් යටතේ පවත් වනු ලබන පාර්ලිමේන්තු මැතිවරණයක් මගින් පිහිටුවනු ලබන විප්ලවීය මහජන ආණ්ඩුවකට - ජනරජයකට  පමණි."   බලය අල්ලා ගැනීමේ විකල්ප මාවතක් අප ඉදිරිපත් කර තිබේ. මෙය අප්‍රායෝගික යයි කියන්නට ඔබට පුළුවන. එහෙත් අප විකල්ප මාවතක් ඉදිරිපත් කර නැතැයි චෝදනා කරන්නට ඔබට බැරි ය.

සර්වජන ඡන්දය මත පදනම්ව මැතිවරණ ක්‍රියාත්මකව පවතින ඕනෑම රටක දී ඒතාක් දුරට මැතිවරණ ක්‍රමය උපයෝගීකර ගැනීම අපි කිසිවිටකත් ප්‍රතික්ෂේප නොකරමු. එමෙන්ම එවැනි රටක දී  අති වාමාංශික සටන් පාඨ හසුරුවනු වෙනුවට පංති අරගලය නගාලීම සඳහා පාර්ලිමේන්තුව හා පාර්ලිමේන්තු අරගලය  ද උපයෝගී කර ගත යුතු බව කියා සිටිමු.  එහෙත්  අප මෙහි දී කියා සිටින්නේ පාර්ලිමේන්තු මැතිවරණයකින් ආණ්ඩු බලය ලබා ගැනීමෙන් පමණක් රාජ්‍ය බලය තීරණාත්මක ‌ලෙස වෙනස් කිරීම අසීරු බවත් හුදෙක් පාර්ලිමේන්තුවාදයට (මැතිවරණවාදයට) වැටීම වැරදි බවත් ය. ආණ්ඩු බලය ලබා ගැනීමට ඔබ්බෙන් යන  දේශීය ප්‍රතිගාමිත්වය සමග පමණක් නොව බලගතු ජාත්‍යන්තර ප්‍රතිගාමිත්වයන් ද සමග ඉතා බරපතල පංති අරගලයකට මුහුණ දෙන්නට සිදුවන බව හා පොරොන්දු දේශපාලනය මගින් එම අභියෝගයට ආමන්ත්‍රණය නොකෙරන බවත් ය.

තව ද පාර්ලිමේන්තුවාදයට වැටුනාම ඡන්ද ගන්න ඕන නිසා ප්‍රතිපත්ති තනුක කරන්නට සිදුවීම,  නිදසුන් ලෙස ජාතිවාදය ආදී ප්‍රතිගාමී මතවාදයන්ට යම් යම් "කප්පම්" දෙන්නට  හා දේශපාලනය ඊට ගැලපෙන සේ සකස්කර  ගන්නට සිදුවීම වැළකිය නොහැකි බව ය. මේ වන විටත් ජවිපෙ හා ජාජබ ඒ තත්ත්වයට වැටී ඇති බවක් දැකිය හැකි ය. නිදසුන් ලෙස ජනාධිපතිවරණවාදයක් ගැන කතා කරමින් ජවිපෙ ප්‍රමුඛ නායකයෙකු වන ලාල් කාන්ත කියා ඇති දේ බලන්න. ජනාධිපතිවරණය දිනන්න නම් නිදසුන් ලෙස ජාතිවාදීන්ගේත් ඡන්ද ගන්න න බව ඔහු කියයි. එතකොට ජාතිවාදීන්ගේ ඡන්ද ගන්න නම් ජාතිවාදයට  එරෙහිව කරන විචේචනය තනුක කරන්න නැතිනම් යම් පමණකට අත්හරින්න සිදු වන්නේ නැති ද? ඒ වගේම පොරොන්දු පිට පොරොන්දු දෙන්නට, ඒ මගින් එක්තරා දුරකට ජනතාව රැවටීමට ලක් කරන්නට සිදු වන්නේ නැති ද? එය දැනට නිදැල්ලේ සිදු වෙමින් පවතින අයුරු දකින්නට පුළුවන.

දැන් අපි මෙහි දී ප්‍රස්තුත කාරණය සම්බන්ධයෙන් අපේ මතය ඛණ්ඩනය කිරීම පිණිස රමිඳුලා  කරන ප්‍රධාන ඉදිරිපත් කිරීම්  විමසා බලමු. රමිඳු මෙසේ කියයි.  

"..මැතිවරණ මාර්ගයෙන් වාමාංශික පක්ෂ බලයට ඒම සම්බන්ධ උදාහරණ ගණනාවක්ම අපට විසිවන සියවස තුළ මුණ ගැසෙයි. චිලී හි සැල්වදෝර් අයියන්දේ ජනාධිපති වීම ඒ ගැන තිබෙන සංකේතාත්මක උදාහරණයකි. ...2000 දශකය වර්ණවත් කළ ලතින් ඇමෙරිකාවේ ‘රෝස රැල්ල’ නම් ප්‍රවණතාවය තුළ - වෙනිසියුලාවේ හියුගෝ චාවේස්, බොලීවියාවේ ඉවෝ මොරාලෙස්, ඉක්වදෝරයේ රෆායෙල් කොරෙයා බඳු අය ආණ්ඩු බලය පිහිටවූයේ  මැතිවරණ ක්‍රියාවලිය ඔස්සේ ගමන් කරමිනි." 

අපි මෙයට කිසිසේත්ම  අභියෝග නොකරමු. එය ඇත්ත ය. අවශ්‍ය නම්   රමිඳුලා ඉදිරිපත් කරන ලැයිස්තුවට තවත් රටවල් ගණනාවක්ම එක් කර එය වඩාත් වර්ණවත් කරන්නට අපට පුළුවන. නිදසුන් ලෙස ලතින් ඇමෙරිකාවේ හටගත් පළමු රෝස රැල්ල තුළ එනම් 1998 සිට 2015 දක්වා කාලය තුළ එහි රටවල් 29 න් වෙනිසියුලාව, පේරු, එල්සැල්වදෝර්, ඉක්වදෝර්, ආර්ජන්ටිනාව, උරගුවේ, හොන්ඩියුරාස්, බ්‍රසීලය, බොලීවියාව, චිලී හා පැරගුවේ ඇතුළු රටවල් 12 කම වාමාංශික හෝ වාමාංශික නැඹුරුවක් සහිත ආණ්ඩු බලයට පත් විය.  අනතුරුව  2018 – 2023 කාලය තුළ පැමිණි දෙවන රෝස  රැල්ලට 2018 මෙක්සිකෝව, 2019 ආර්ජන්ටිනාව, 2020, බොලීවියාව, පේරු හා හොන්ඩියුරාස්, 2021 චිලිය, 2022 කොළොම්බියාව හා බ්‍රසීලය හා 2023 ගෝතමාලාව යන රටවල් 9 ඇතුළත් විය. මේ රැල්ල ලතින් ඇමෙරිකාවේ විශාලතම ආර්ථිකයන් 6 හි ම (බ්‍රසීලය, මෙක්සිකෝව, ආර්ජන්ටිනාව, කොළොම්බියාව, චිලිය හා පේරු) මැතිවරණ මගින් වාමාංශික ජනප්‍රියවාදී ආණ්ඩු පිහිටුවා තිබේ. ඇතැම් විට ඉදිරියේ දී දකුණු ආසියාවේ ලංකාව ද ඒ ලැයිස්තුවට ඇතුළත් වන්නට පුළුවන.

අපගේ අදහසට එරෙහිව ජවිපෙ/ජාජබ වෙනුවෙන් පෙනී සිටින රමිඳු සහෝදරයලා  ඛණ්ඩනය කිරීම සඳහා ආණ්ඩු බලය ගැනීම ගැන දක්වන  නිදසුන් සැබවින්ම කියා පාන්නේ කුමක් ද? 

අපි ‘සංකේතාත්මක නිදසුනක්’ (?) ලෙස දක්වන චිලියෙන් පටන් ගනිමු. තුන් කොන් සටනක් වූ 1970 චිලියේ ජනාධිපතිවරණයෙන් බලයට පැමිණි සැල්වදෝර් අලියන්දේගේ ආණ්ඩුව ප්‍රගතිශීලී ප්‍රතිසංස්කරණ රැසක් ක්‍රියාවට නැගී ය.  ගල් අඟුරු, තඹ, යකඩ, වානේ ආදී  සමාගම්  බැංකු සමාගම් ආදිය ජනසතු කළේ ය. ඉඩම් ප්‍රතිසංස්කරණ දියත් කළේ ය. පළමු වසර තුළ කාර්මික නිෂ්පාදනය 12% කින් ද දළ දේශීය නිෂ්පාදිතය 8.6% කින් ද ඉහළ ගියේ ය. විරැකියාව අඩු කළේ ය. එහෙත් එක්සත් ජනපදය විසින් පූර්ණ අනුග්‍රහය දක්වන ලද ප්‍රතිගාමී බලවේග අලියන්දේ ගේ ආණ්ඩුවට එරෙහිව ක්‍රියාත්මක වන්නට විය.  ප්‍රතිඵල වශයෙන් රටේ ආර්ථික හා දේශපාලන අර්බුද හට ගන්නට විය. උද්ධමනය 140% දක්වා නැගිණ. ආර්ථික අර්බුදය හිනි පෙත්තටම නැගිණ. නිෂ්පාදනය බිඳ වැටිණ. ප්‍රතිගාමී බලවේග 1973 ජූනිවල අලියන්දේ බලයෙන් පහ කිරීම සඳහා වූ පළමුවන හමුදා කුමන්ත්‍රණය දියත් කළ ද එය පරාජය කෙරිණ. හමුදාපති කාලෝස් ප්‍රැට්ස් සමග එකතුව ජෙනරාල් ඔගස්ටෝ පිනෝචේ ද ජනාධිපති මන්දිරය හා ආරකෂක අමාත්‍යාංශය වැටලූ මෙම කුමන්ත්‍රණකාරී ප්‍රහාරය පරාජය කිරීමට ක්‍රියා කළේ ය. එහෙත් අවසානයේ 1973 සැප්තැම්බර් 11 දින අලියන්දේගේ ආණ්ඩුව හමුදා කුමන්ත්‍රණයකින් පෙරළා දමා මිලිටරි ආඥාදායකත්වයක් පිහිටු වූයේ මේ පිනෝචේ ය.

අප පළමු රෝස රැල්ලේ රටවල් ගතහොත් නිකරගුවාව හා වෙනිසියුලාව හැර පේරු, එල්සැල්වදෝර්, ඉක්වදෝර්, ආර්ජන්ටිනාව, උරගුවේ, හොන්ඩියුරාස්, බ්‍රසීලය, බොලීවියාව, චිලී  හා පැරගුවේ යන අනෙක් සියලුම රටවල යළිත් මැතිවරණවලින්, පාර්ලිමේන්තු හා හමුදා කුමන්ත්‍රණවලින් දක්ෂණාංශික ප්‍රතිගාමිත්වය  ජයග්‍රහණය කළ අයුරු දකින්නට පුළුවන.

මෙහි දී රෝස රැලි දෙකටම අයත් වූ හා තවමත් අල්ලා සිටින වෙනිසියුලාව විශේෂ අවධානයට ගත යුත්තකි. වෙනිසියුලාවේ කතාන්තරය හියුගෝ චාවේස් සමග බැඳී තිබේ. එහි යුද ඇකඩමියේ ගුරුවරයෙකු වූ චාවේස් වාමාංශික අදහස් දැරූ ජනප්‍රිය හමුදා නිලධාරියෙකු විය. බලය අල්ලා ගැනීමේ අරමුණෙන් යුතුව "විප්ලවවාදී බොලිවේරියානු ව්‍යාපාරය- 200" නමින් හමුදාව තුළ රහසිගත සංවිධානයක් ගොඩ නැගූ ඔහු 1992 පෙබරවාරියේ දී බලය අල්ලා ගැනීමට උත්සාහ දැරූ නමුත් එය අසාර්ථක විය. යටත් වූ  ඔහු ඇතුළු ගණනාවක් සිරගත කෙරිණ. 1992 සැප්තැම්බරයේ දී ඔහුගේ අනු දැනුම ඇතිව  ගුවන් හමුදා කණ්ඩායමක් බලය අල්ලා ගැනීමට දැරූ දෙවන ප්‍රයත්නය ද අසාර්ථක විය. 1993 ජනාධිපතිවරණයෙන් ජනාධිපති ධූරයට පත් රෆායෙල් කල්දේරා විසින් 1994 දී ඔහු ඇතුළු පිරිසට සමාව දී නිදහස් කරනු ලැබිණ. 

1997 ජූලිවල පැවති "විප්ලවවාදී බොලිවේරියානු ව්‍යාපාරය- 200’’ (MBR 200) ජාතික සමුළුවේ දී   චාවේස් 1998 ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමේ තීරණය ගත් අතර ඉනික්බිතිවම ඡන්දයට ඉදිරිපත් වීම සඳහා චාවේස්ගේ නායකත්වයෙන් පස්වෙනි ජනරජ ව්‍යාපාරය (MVR)  නම් දේශපාලන පක්ෂය පිහිටු වීය. එය 1998 නොවැම්බර් 8 පැවති මහ මැතිවරණයේ දී ආසන 205 න් 45 ක් දිනා ගැනීමට සමත් විය.

1998 දෙසැම්බර් පැවති ජනාධිපතිවරණයේ දී චාවේස් 56.2 %‍‍  ක ඡන්දයක් ලබා ජනාධිපති බවට පත් වූ අතර 1999 දී ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් පිහිටුවා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පනවා ගනු ලැබිණ. ඒ අනුව වෙනිසියුලාව ‘වෙනිසියුලානු බොලිවේරියානු ජනරජය’ යනුවෙන් නම් කෙරිණ. නව ව්‍යවස්ථාව යටතේ  2000 දී පැවත් වූ මහ මැතිවරණයෙන් පස්වෙනි ජනරජ ව්‍යාපාරය (MVR)  පක්ෂය ආසන 165 න් 92 දිනා ගත් අතර පක්ෂ නායක චාවේස් ජනාධිපතිවරණයෙන් ජය ගත්තේ ඡන්ද 3,757, 773 (59.75%) ලබා ගනිමිනි. ඡන්ද 2, 359,459 ලද ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා වූයේ කලින් "විප්ලවවාදී බොලිවේරියානු ව්‍යාපාරය- 200" නායකයෙකු මෙන්ම 1992 හමුදා කැරල්ලේ ද නායකයෙකු වූ ෆ්‍රැන්සිස්කෝ ආරියස් කාඩෙනාස් ය. 2000 මැතිවරණයෙහි විශේෂය වූයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාම වාමාංශිකයන් විම හා ඔවුන් දෙදෙනා වලංගු ඡන්දවලින් 97.27% ක්ම ලබා ගැනීම ය. අන්ත දක්ෂිණාංශයට 3% ක් වත් ලබා ගත නොහැකි විය.

චාවේස්ගේ වසර 14 පමණ පාලන කාලය තුළ වෙනිසුලාවේ මහත් වෙනස්කම් රැසක් ඇති කෙරිණ. නව ව්‍යවස්ථාවක් ගෙනෙනු ලැබිණ. ආහාර, නිවාස, සෞඛ්‍ය, අධ්‍යාපන ආර්ථික යන ක්ෂේත්‍රවල සැලකිය යුතු ජනහිතකාමී ප්‍රතිසංස්කරණ ඇති කෙරිණ. ප්‍රජා සභා නීතියක් ගෙන විත් රට පුරා බොලිවේරියානු ප්‍රජා සභා ගොඩ නගමින් ජනතාව පාලනයේ කොටස් කරුවන් බවට පත් කිරීමට ද ප්‍රතිගාමී රාජ්‍ය බලය වෙනස් කිරීමට ද උත්සාහ ගත්තේ ය.

එපමණක් නොවේ රාජ්‍යයන් අතර ආර්ථික, දේශපාලන හා සංස්කෘතික සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීම හා කලාපය තුළ එක්සත් ජනපදයෙන් එල්ල වන දැවැන්ත අභියෝගයන්ට මුහුණ දීම සඳහා දකුණු ඇමෙරිකානු ජාතීන්ගේ සංගමය (UNASUR) නමින් වාමගාමී අන්තර් රාජ්‍ය සන්ධානයක් ගොඩ නැගීමට ද පියවර ගත්තේ ය.

මේ 14 වසර කාලය තුළ චාවේස්  අඛණ්ඩවම සිව් වරක් ජනාධිපති වශයෙන් තේරී පත් විය. 1998 දී 56.2% ක් ද 2000 දී 59.8% ක් ද 2006 දී 62.0% ක් ද 2012 දී 55.07% ක් ද වශයෙන් ඔහු ඡන්ද ලබා ගති. මේ ප්‍රතිඵල පෙන්නුම් කරන්නේ 2006 දක්වා ජනතා සහය වැඩී ගොස් තිබූ බවකි.

එහෙත් 2006 න් පසු පෙන්නුම් කරන්නේ අභ්‍යන්තර හා විශේෂයෙන්ම බාහිර ප්‍රතිගාමී බලවේගවල ක්‍රියාකාරිත්වය හමුවේ එම සහය අඩුවන බවක් නිරීක්ෂණය වේ. නිදසුන් ලෙස 2012 ජනාධිපතිවරණයේ දී 2006 ට වඩා ඡන්ද දායකයින් 2,982,714 ලියා පදිංචි වී තිබුණ ද චාවේස්ට වැඩිවී තිබුණේ ඡන්ද 882,052 ක් පමණි. එහෙත් විරුද්ධ පක්ෂයේ අපේක්ෂකයා 2012 දී 2006 ට වඩා 2,298,838 ක් ඡන්ද වැඩිකර ගෙන තිබුණි. චාවේස්ගෙන් මරණින් පසු පැවැත්වුණ  2013 ජනාධිපතිවරණයේ දී මදුරෝ හා විපක්ෂ අපේක්ෂක හෙන්රික් කැප්‍රිලස් ගේ ඡන්ද පරතරය 50.62% -49.12% වශයෙන් 1.5% දක්වා අඩුව තිබිණ.

චාවේස්ගේ පාලන කාලය තුළ ප්‍රතිගාමීත්වය යළි හිස එසවීමට කළ හැකි සියල්ල කළ අතර 2002 අප්‍රේල් 11 දින කුමන්ත්‍රණයකින් චාවේස් අත් අඩංගුවට ගෙන අන්ත දක්ෂිණාංශකයෙකු වූ පෙඩ්රෝ කාර්මෝනා ජනාධිපති වශයෙන් පත් කරනු ලැබිණ. ඔහු ජාතික මන්ත්‍රණ සභාව ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද ශ්‍රේෂ්ඨාධිකරණය ද විසුරුවා හැරියේ ය. එහෙත් කාර්මෝනාට බලය අභ්‍යාස කළ හැකි වූයේ පැය 47 ක් තරම් කාලයක් පමණි. චාවේස්ට හිතැති හමුදාවේ කොටස් හා ජනතාව කුමන්ත්‍රණයට එරෙහිව නැගී සිටි අතර ජනාධිපති ආරක්ෂක බලඇණි ජනාධිපති මන්දිරය අත්පත් කර ගෙන චාවේස් යළි බලයේ පිහිටු වීය.

මේ සියල්ල පිටුපස ක්‍රියාත්මක අමෙරිකානු අධිරාජ්‍යවාදය ප්‍රතිගාමී රාජ්‍යය යළි නගා සිටුවීමට කියුබාවට නොදෙවෙනි අන්දමින් වෙනිසියුලාවට එරෙහිව විටින් විට සම්බාධක 930 කට අධික ප්‍රමාණයක් පනවමින් ක්‍රියා කරන්නට පටන් ගති.  වෙනිසියුලාව සතුව පැවති සියලු විදේශ වත්කම් එය විසින් පැහැර ගනු ලැබිණ. 

රෝස රැල්ලේ වැඩිම හා බලගතුම ජන සහයෝගය ලද වාම ආණ්ඩු වූයේ වෙනිසියුලාවේ චාවේසියානු ආණ්ඩු ය. එ්වා 1998 දෙසැම්බරයේ සිට මේ දක්වා බලයේ සිටී. එහෙත් තෙල් හා ගෑස් සම්පත්වලින් ආඪ්‍ය වෙනිසියුලාව අද පවතින්නේ බිඳ දැමීමට නැතහොත් බිඳවැටීමට ආසන්න තත්ත්වයක ය. වාර්ෂිකව තෙල්වලින් ඩොලර් බිලියන 56 ක පමණ  ආදායමක් ලද එහි  තෙල් ආදායම  ඩොලර් මිලියන 700-800 ගණන්වලට පහත වැටී ඇත. උද්ධමනය 300% ඉක්මවා ඇත. 2023 අගෝස්තුවේ එය 394.8% දක්වා නැගිණ. විටින් විට පහළ යෑම් සිදු වුව ද මෙය බරපතල තත්ත්වයකි. එක් කාලයක කියුබාව හා ලතින් ඇමෙරිකාවේ රටවල් ගණනාවකට අධාර සැපයූ වෙනිසියුලාව මේ වන විට පසුවන්නේ තම ජනතාවගේ අවම අවශ්‍යතාවත් සැපිරිය නොහැකි තත්ත්වයක ය. ප්‍රතිගාමී රාජ්‍යය දෘශ්‍යමානව දැකිය නොහැකි බව ඇත්ත ය. එසේ වුවත් ප්‍රතිගාමී පංතීන් අධිරාජ්‍යවාදී ස්වාමීන්ගේ ආධාර අනුබල සහිතව එය යළි සිහසුන් ගත කිරීමට උචිතම අවස්ථාව එළඹෙන තෙක් අනලස්ව හා අවිවේකීව ක්‍රියා කරමින් සිටී. මේ තත්ත්වය තුළ ඉහත දැක් වූ පරිදි චාවේස්ගේ මරණින් පසු 2013 පැවැත් වූ පැවැත් වූ ජනාධිපතිවරණයේ දී ජනාධිපති මදුරෝ හා විපක්ෂ අපේක්ෂක හෙන්රික් කැප්‍රිලස් අතර ඡන්ද ප්‍රතිශතය 1.5% දක්වා අඩුවිය. දැන් සිදු වෙමින් පවත්නා වර්ධනයන් අනුව එළඹීමට තිබෙන ජනාධිපතිවරණයෙන් දක්ෂිණාංශය නැවත බලයට පත් වීමට පවා ඇති ඉඩ බැහැර කළ නොහැකි ය. 

ඊළඟට තවත් නිදසුනක් ලෙස චිලිය ගෙන බලමු. චිලිය 2019-2021 ජන අරගලයෙන් උතුරා ගිය භූමියක් බවට පත්ව තිබුණකි. 2022 අපේ ජන අරගලය සක්‍රීය උනේ අගනාගරික කොළඹ කේන්ද්‍රයේ ය. විරෝධයන් පැවතියාට සෙසු ප්‍රදේශවල අරගලය එතරම් සක්‍රීය වූයේ නැත. එහෙත් චිලියේ අගනාගරික සන්තියාගෝහි පමණක් නොව රට මුළුල්ලේම වාගේ අරගලය සක්‍රීය විය. අරගලය තුළ සක්‍රීය වූ සංඛ්‍යාව නිල සංඛ්‍යා ලේඛනවලට අනුව මිලියන 3.2 වැඩි ය. 2020 පෙබරවාරි 4 වන විට අරගලකරුවන් 36 ක් ඝාතනය කෙරී තිබුණි. තුවාල ලත් ගණන 11,564 ක් හා අත් අඩංගුවට ගත් ගණන 28,000 ක් පමණ  විය.

වාමාංශික ගේබ්‍රියෙල් බෝරික් පාලනය මැතිවරණයෙන් බලයට එන්නේ මේ අරගලයේ ප්‍රතිඵලයක් වශයෙනි. එහෙත් එය සිය රැඩිකල් නව ව්‍යවස්ථා කෙටුම්පතට ජන අනුමතිය ලබා ගැනීමට අසමත් විය. ආණ්ඩු බලය ලබා ගැනීමට ඔබ්බෙන් අනිවාර්යයෙන් ම මුහුණ දීමට සිදුව තිබෙන බාධක හේතුවෙන්  දෙන ලද අනෙකුත්  බොහෝ  පොරොන්දු ද ඉටුකිරීමේ අසීරුතාවන් හේතු කොට ගෙන මේ වන විට බෝරික් පාලනය කෙරෙහි පැවති ජන අපේක්ෂාවන් බිඳ වැටෙන්නට පටන් ගෙන ඇත.

මේ වන විට ලතින් ඇමෙරිකාවේ රෝස රැලි දෙකේම ආණ්ඩු  සියල්ලම බරපතල පාහේ අර්බුදයන්ට මුහුණ දෙමින් සිටී. ලතින් ඇමෙරිකානු රටවල කොන්සර්වැටිව්, කොමියුනිස්ට් විරෝධී හා අන්තවාදී දක්ෂණාංශික ව්‍යාපාර ගැන අධ්‍යයනයක යෙදුන නව මෙක්සිකෝ සරසවියේ ඉතිහාසය පිළිබඳ සහකාර මහාචාර්යවරයෙකු වන ලුයිස් හෙරන් අවිලා පවසන්නේ “බොහෝ ලතින් ඇමරිකානු රටවල නව වාම ආණ්ඩු පිටුපස පියාපත් තුළ සැඟවී සිටින අන්ත දක්ෂිණාංශය වර්ධනය වෙමින් පවතිනවා පමණක් නොව ඉතා ඉහළ මූලෝපායික ද වේ” කියා ය. රෝස රැල්ලේ ආණ්ඩු ගැන විමර්ශනයක යෙදුන ස්වාධීන මාධ්‍යවේදිනියක් වන ලින්ඩා ෆාර්තීන් දෙවෙනි රැල්ලේ ආණ්ඩු ගැන කියන්නේ “මෙම නව වාම ආණ්ඩු වටය බොහෝ විට පළමු එකට වඩා කෙටි, මධ්‍යස්ථ සහ කුණාටු සහිත වනු ඇත” කියා ය.

මේ වන විටත් එනම් 2023 ඔක්තෝබර්හි පැවති ඉක්වදෝරයේ ජනාධිපතිවරණයේ දෙවන වටයෙන් වාමාංශික අපේක්ෂිකා පුරවැසි විප්ලවීය ව්‍යාපාරයේ (Citizen Revolution Movement) ලුයිසා ගොන්සාලෙස් පරදවා දක්ෂිණාංශික අපේක්ෂක ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරිත්වයේ (National Democratic Action) ඩැනියෙල් නොබෝආ ජය ගෙන තිබේ. ජනාධිපති වශයෙන් ඔහු ජයගන්නේ අගොස්තු මහ මැතිවරණයෙන් ආසන 137 ක් වූ ජාතික මන්ත්‍රණ සභාවේ ආසන 14 ක් පමණක් දිනා තිබිය දී ය. පුරවැසි විප්ලවීය ව්‍යාපාරයට  ජාතික මන්ත්‍රණ සභාවේ ආසන 52 ක් හිමිව තිබුණි. ජාතික මන්ත්‍රණ සභාවේ වැඩිම ආසන දිනා තිබුණේ එම පක්ෂය යි. එසේම 2023 නොවැම්බර්හි පැවති ආර්ජන්ටිනාවේ ජනාධිපතිවරණයේ දෙවන වටයෙන් මැද වාමාංශික අපේක්ෂක සර්ජියෝ මාසා පරදවා දක්ෂිණාංශික අපේක්ෂක හාවියර් මිලෙයි ලත් ජයග්‍රහණයත් සමග යළිත් වරක් දක්ෂිණාංශය ජය ගෙන ඇත. එමෙන්ම  දෙවන රෝස රැල්ලේ දී ද ජයග්‍රාහී වූ  චිලියේ ගේබ්‍රියෙල් බෝරික්, බ්‍රසීලයේ ලූලා   වැන්නන්ට බලය පවත්වා ගැනීම සඳහා වමේ සිට දකුණට ගමන් කර මැද මාවතකට පැමිණ ප්‍රාග්ධනයේ බලගතු අවශ්‍යතාවන්ට ආමන්ත්‍රණය කිරීමට සිදුවෙමින් තිබේ. බ්‍රසීලයේ ලූලා සිය උප ජනාධිපති අපේක්ෂකයා ලෙස තෝරා ගත්තේ මැද දක්ෂිණාංශිකයෙකු වන සා පවුලෝ ආණ්ඩුකාර ජෙරල්ඩෝ ඇක්මින් ය. චිලියේ බෝරික් බලයට එන විට සිටි තැන සිට ක්‍රමිකව දකුණට හැරෙමින් සිටින බවක්  පෙන්නුම් කරමින්  තිබේ. ආර්ජන්ටිනාවේ ජනාධිපතිවරණයෙන් ජය ලද අන්ත දක්ෂිණාංශික හාවියර් මිලෙයි සිය පදවි ප්‍රාප්ත උළෙලට ආරාධනා කළ එකම ලතින් ඇමෙරිකානු  “වාමාංශික” රාජ්‍ය නායකයා වූයේ ගේබ්‍රියෙල් බෝරික් ය!

මෙලෙස හැම වාම ආණ්ඩුවකටම පාහේ සිය වාම න්‍යාය පත්‍රය තනුක කරමින් ප්‍රාග්ධනයේ බලගතු අවශ්‍යතාවන්ට හිස නමන්නට සිදු වන තත්ත්වයක් උද්ගත වෙමින්  තිබෙන බව පෙනෙන්නට තිබේ.

අනුර කුමාරගේ පර්ත් කතාව සම්බන්ධ විවරණාත්මක ප්‍රශ්න කිරීමේ දී  අප මතු කළ කේන්ද්‍රීය ප්‍රශ්න දෙකෙන් එකක් වූයේ මේ තත්ත්වය යි. ලතින් ඇමෙරිකානු අත්දැකීම් අඩු වැඩි වශයෙන් පෙන්නුම් කරන්නේ එය යි. එහෙත් එම අත්දැකීම්  එසේ පෙන්නුම් කර තිබිය දී අනුර කුමාර, ජවිපෙ හා ජාජබ වෙනුවෙන් අපට පිළිතුරු සපයන හා අපව නිවැරදි කිරීමට කරුණු කාරණා පෙන්වා දෙන රමිඳු සහෝදරයලා ප්‍රධාන කොටම දක්ෂිණාංශික ආණ්ඩු පරදවා වාමාංශික ආණ්ඩු ගණනාවක් බලයට පැමිණි එහෙත් බරපතල අර්බුදයන්ට මුහුණ දෙමින් සිටින ලතින් ඇමෙරිකාවේ රටවල තත්ත්වය පීළිබඳව ඇස් වසා ගෙන එම රටවල් පෙන්නුම් කරමින් අපෙන් අසන්නේ ඇයි සහෝදරවරුනි ඔබලාට අසවල් අසවල් රටවල වාමාංශිකයන් ආණ්ඩු බලය පිහිටවූයේ මැතිවරණ ක්‍රියාවලිය ඔස්සේ බව පෙනෙන්නේ නැද්ද කියා ය! 

මැතිවරණවලින් ආණ්ඩු පිහිටුවන්නට පුළුවන. එහෙත් රාජ්‍ය බලය පිළිබඳ ප්‍රශ්නයට ආමන්ත්‍රණය නොකර ඔය පොරොන්දු දෙන ආකාරයට ආණ්ඩු පිහිටුවා ප්‍රශ්න විසඳනවා යයි කීම  සැබෑ යථාර්ථය නොවේ. මේ ප්‍රශ්න විසඳීමේ ක්‍රියාවලිය  දේශීය වශයෙන් පමණක් නොව ජාත්‍යන්තර වශයෙන් ද මුහුණ දීමට සිදුවන වන බලගතු පංති අරගලයකි. මැතිවරණ ජයග්‍රහණ මගින් ආණ්ඩුව වාමාංශිකයන් අතට ගියාට බලය අහිමි වූ පාලක පංතීන් සිය රාජ්‍යය නොයෙකුත් ආකාරයෙන් පවත්වා ගනිමින් එකී ආණ්ඩුවලට නිදහසේ නිවී සැනසිල්ලේ ක්‍රියා කරන්නට ඉඩ දෙන්නේ නැත. නිලධාරි තන්ත්‍රය, සමාජය තුළ ක්‍රියාකාරීව පවතින විවිධ ප්‍රතිගාමී බලවේග, විදේශ ප්‍රතිගාමී අධිපති බලවේග සමග එක්ව ජනතාවගේම කොටස් පවා තමන් වෙත නම්මවා ගනිමින් කළ හැකි සියලු දේ කරනවා ඇත.  මේවා අපේ හිතලු නොවේ. ඇස් පනා පිට දැකිය හැකි දේ ය. නමුත් ප්‍රධාන කොටම ලතින් ඇමරිකානු රටවල් ගණනාවක ප්‍රතිගාමී දක්ෂිණාංශික  ආණ්ඩු පෙරළා දමා වාමාංශික ආණ්ඩු ගණනාවක් බලයට පත් වීම යන්න පමණක් අපට පෙන්වා දෙන රමිඳු සහෝදරයලා  මෙසේ  බලයට පත් වාමාංශික හා වාම  නැඹුරු ආණ්ඩුලට මුහුණ දීමට සිදුව තිබෙන තත්ත්වයන්, අභියෝග කිසිවක් ගැන කතා කරන්නේ නැත! ඒ වෙනුවට කරන්නේ රාජ්‍යයේ සැබෑ ස්වරූපය වසංගන න්‍යායන් උත්කර්ෂයට නංවමින් ජවිපෙට හා ජාජබයට න්‍යායික ආවරණයක් සැපයීමට ක්‍රියා කිරීම ය. (රජය පිළිබඳ රමිඳු සහෝදරයලාගේ ප්‍රතිචාරයට විප්ලවීය සමාජවාදී කේන්ද්‍රය වෙනුවෙන් රත්නායක සහෝදරයා ප්‍රතිචාරයක් දක්වා ඇති හෙයින් මෙහි ඒ  ගැන නැවත කතා කළ යුතු යයි අපි නොසිතමු)  

ඒ අතරම මෙහි දී අපේ රට වැනි රටකට වඩා ලතින් ඇමෙරිකාවේ රටවල ජනතාව වාමාංශික වන සන්දර්භයක් අපි දකිමු.  විප්ලවීය වාමාංශයක් තුළ පවා හැදී වැඩී පෝෂණය වූ ජනතාවක් ලතින් ඇමෙරිකාව පුරා දැකිය හැකි  අතර එහි “රෝස රැලි” හැමීමේ වැඩි සම්භාවිතාවක් දැකිය හැකි ය.  

ලතින් ඇමෙරිකානු රටවල් නිදසුන් කර දක්වමින් හුදකලා දූපත් රාජ්‍යයක් වන ලංකාව ගැන කතා කිරීමේ දී මදක් පරිස්සම් විය යුතු ය. සමස්තයක් වශයෙන් ගත් කල ලතින් ඇමෙරිකානු රටවල  ඡන්දදායකයාගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ලංකාවේ මෙන් හුදෙක් පාලකයන් කෙරෙහි ‘හදිසියේ’ ඇතිව තිබෙන කලකිරීමක් නිසා ජවිපෙ/ජාජබ වැනි සන්ධානයක් වටා පෙළ ගැසෙමින් සිටින බව පෙනෙන “නිර්වාමාංශික” ඡන්දදායකයාට වඩා වාමාංශික වීම සැලකිල්ලට ගත යුතු ය. මුළු ලතින් ඇමෙරිකාවම වාගේ විප්ලවීය අරගලවලින් පිරී ගොස් තිබූ භූමියකි. මිලිටරි ඒකාධිපතියන්ට එරෙහිව සටන් වැදුනු භූමියකි. ඒ සටන්වල ආශ්වාදය නැවත නැවත මතුවන භූමියකි. මෙය අනෙක් බොහෝ කලාපවල දක්නට නැති සාපේක්ෂ විශේෂත්වයකි. එමෙන්ම ලතින් ඇමෙරිකානු රටවල වාමාංශික පක්ෂ අතර ගොඩ නැගුණ සහෝදරත්ව සංසද තිබේ. සාඕ පවුලෝ සංසදය, ලතින් ඇමෙරිකානු සමාජවාදී අනුසන්ධානය (Latin American Socialist Coordination – CSL), ලතින් ඇමෙරිකාව හා කැරිබියන් සඳහා වූ සමාජවාදී ජාත්‍යන්තර කමිටුව (Socialist International Committee for Latin America and Caribean – CALSIS) - මෙය දේශපාලන පක්ෂ හා සංවිධාන 100 කින් පමණ සමන්විත අතර ලෝකයේ විශාලතම හා බලපෑම් සහිත වාමාංශික ජාත්‍යන්තරය වේ. දකුණු ඇමෙරිකානු ජාතීන්ගේ සංගමය (UNASUR). මෙය වාමගාමී රාජ්‍ය සන්ධානයකි. මෙවැනි කලාපීය සහයෝගිතා පසුබිමක් යටතේ පවා ලතින් ඇමෙරිකාවේ වාමාංශික ආණ්ඩුවලට සිය කාර්යයන් ඉටුකරලීම කොතරම් දුෂ්කර ද යන තත්ත්වයක් තිබිය දී ලංකාව වැනි හුදකලා දූපත් රටක අපට වරක් දීලා බලන්න අපි කරලා පෙන්නම් ආදී වශයෙන් අති සරල කියාපෑමක් හරහා බලය ගන්නට කතා කරන “වාමාංශික” යයි කියන පිරිසක් සිටීම උත්ප්‍රාසය දනවන්නක් නොවේ ද?

පාර්ලිමේන්තු මැතිවරණවලින් ජයග්‍රහණ අත්කර ගත හැකි වුවත් පවතින රාජ්‍යයෙහි විප්ලවීය වෙනසක් කරන්නේ නැතිව අපේක්ෂා කරන ප්‍රතිඵල අත් කර ගත නොහැකි බව මෙම අත්දැකීම්වලින් පෙන්නුම් කෙරේ. එය සැබෑ වෙනසකට අත්‍යවශ්‍ය එක් කොන්දේසියකි. මීට තවත් නිදසුනක් අපේ ඉදිරිපත් කිරීමට එරෙහිව ඉදිරිපත් කරන නේපාලයෙන් ද සැපයේ. දශකයකට අධික කාලයක් පුරා පැවති සන්නද්ධ අරගලය අත්හැර නේපාල කොමියුනිස්ට් පක්ෂය අනෙක් කොමියුනිස්ට් පක්ෂ ද සමග හවුලේ පාර්ලිමේන්තු මැතිවරණවලින් ජය ලබා  ගත්ත ද අද වන විට ප්‍රධාන කොටම දක්ෂිණාංශයෙන් එල්ල වී තිබෙන තර්ජන හමුවේ අපේක්ෂිත අරමුණු ඉටුකර ගැනීමට අසමත්ව  තිබේ.  සන්නද්ධ අරගලයෙන් බලය අත්පත් කර ගත්තා නම් මෙවැනි තත්ත්වයක් ඇති නොවේ යයි මින් අදහස් නොකෙරේ. සන්නද්ධ අරගලයෙන් බලය අල්ලා ගත් රටවල දී පවා ප්‍රතිගාමිත්වය යළි බලයට පත් විය හැකි ය. මෙයට හොඳම නිදසුනක් ලතින් ඇමෙරිකාවේ නිකරගුවාවෙන් සැපයේ. අප අවධාරණය කරන්නේ අරගල මාර්ගය කුමක් වුව ද (එය තත්ත්වයන්ට යටත් ය)  මේ කාරණා මගින් පෙන්නුම් කරන්නේ ජනතාව දේශපාලන වශයෙන් සවිඥානක හා සංවිධිත බලයක් වශයෙන් සංවිධානය කිරීමට නිසි පියවර නොගෙන හා රාජ්‍යය පිළිබඳ ප්‍රශ්නයට ආමන්ත්‍රණය නොකර එමෙන්ම ජාත්‍යන්තර හා කලාපීය වශයෙන් නොගෙන හුදකලා රටක ජනතාවගේ දැවෙන මූලික ප්‍රශ්නවලට විසඳුම් සපයන බවට දෙන පොරොන්දු දේශපාලනය ඵල රහිත වන බව ය. ව්‍යාජයක් වන බව ය. රැවටිල්ලක් වන බව ය. මේ නිශ්චිත සන්දර්භය තුළ සැබෑ වාමාංශිකයන්   ප්‍රයත්න දැරිය යුත්තේ පොරොන්දු දේශපාලනයෙන් ඔබ්බට යන ජනතා හා ජාත්‍යන්තරවාදී දේශපාලනයක් සොයා ගැනීමට ය. අප කියා සිටින්නේ ජවිපෙ/ජාජබ වත්මන් දේශපාලනය තුළ එවැනි දේශපාලනයක් පෙනෙන්නට නැති බව ය. ඒ සඳහා සැබෑ ප්‍රයත්නයක් නොමැති බව ය. සැබෑ ලෙසම දැනුවත් මහජන ව්‍යාපාරයක් ගොඩනගා ජන බලය අභ්‍යාස කිරිමට දරන උත්සාහයක් පෙනෙන්නට නැති බව ය.

විප්ලවීය සමාජවාදී කේන්ද්‍රය

2023 දෙසැම්බර්14

 

No comments:

Post a Comment

Featured Post

අධ්‍යාපනය අයිතියකි ! විකිණීම සඳහා නොවේ !

දකුණු ආසියාතික තාක්ෂණික හා වෛද්‍ය ආයතනය (සයිටම්-  SAITM, The South Asian Institute of Technology and Medicine)    2008 ඔක්තෝබර් 1 දින ආයෝජ...