දෙමළ ජාතික අරගලය හා විග්නේශවරන්ලා









මේ දිනවල සිංහල සමාජය තුළ වැඩි වශයෙන් සාකච්ජා වන්නේ උතුරු පළාත් මහ ඇමති  විග්නේශ්වරම් එල්ලා දැමීමට ය. ඔහුගෙන් ප්‍රකාශවී ඇත්තේ බහුතර දමිළ සමාජ‍යේ සිතීම බව අපේ අදහසයි. මෙම අදහස දමිළ සමාජයේ බහුතරයක උවමනාවන් ප්‍රකාශ නොකරන බව  යමෙකුට තර්ක කර හැක. අප ඔවුන්ට කියන්නේ තර්ක නොව දෙමළ සමාජයේ අතීත ඉල්ලීම්  මෙන්ම අතීත හා වර්තමාන හැසීරිම් හොඳින් නිරික්ෂණය කර බලන ලෙසයි.

විග්නේශ්වරම්ගේ ප්‍රකාශය දකුණේ ජාතිවාදය සිය ආහාරය කර ගෙන සිටින බලවේගයන් ප්‍රලය කර තිබේ. එය ඔවුන්ගේ අමන්දානන්දයට හොඳම නිමිත්තක් කර ගෙන ඇත. ඔවුහු අප සිටියා නම් විග්නේෂ්වරම්ලාට ඔවැනි ප්‍රකාශ කරන්නට ලැබෙන්නේ නැතැයි කියමින් එම ප්‍රකාශය දඩ මීමා කර ගෙන සිංහල ජනයා අවුස්සාලීමේ ප්‍රකෝපකාරී ප්‍රචාරණ හා උද්ඝෝෂණ පණ ගැන්වීමට ප්‍රයත්න දරති. ඒ ගැන සිහළ සමාජය ද තරමක් කලබලවී ඇති සෙයක් පෙනෙයි. කිසියම් පුද්ගලයෙකු තම මතයක් ප්‍රකාශ කළ පමණින් සිහළ සමාජය සැබවින්ම  කලබල විය යුතු ද?
උතුරේ මහ ඇමතිවරයා වශයෙන් විග්නේශ්වරම්ගෙන් නියෝජනය විය හැක්කේ හා ප්‍රකාශ විය හැක්කේ  බහුතර දමිළ ජනයාගේ සිතීම මිස රාජපක්ෂලාගේවත් විමල් වීරවංශලාගේවත් එසේ නැත්නම් ගලබොඩ අත්තේ ඥානසාරලාගේවත් සිතීම නොවේ. එහෙයින් කළ යුතු දෙය වන්නේ එවැනි ප්‍රකාශයක් කිරීමට පාදක වූ ප්‍රශ්න මොනවාදැයි වටහා ගෙන ඒවාට විසඳුම් ලබා දීමට පියවර ගැනීමට පාලකයන් යොමු කිරීම හා ඔවුන්ට බල කිරීම මිස දකුණේ සිංහල ජාතිවාදී රණගොස නැගීම නොවේ.  මේ මොහොතේ සිංහල සමාජය කළ යුත්තේ විග්නේශ්වරම් එල්ලීමට කැසකැවීම නොව විග්නේශ්වරම් ප්‍රම්‍රඛ බහුතර දමිළ සමාජයේ මෙම සිතීමට පාදක වී ඇති බිමේ තිබෙන තත්ත්වයන් “එල්ලා මරාදමන්නේ” කෙසේ ද යන්න කල්පනා කිරිමයි. භයානක වන්නේ මතයක් සමාජය තුළ ප්‍රකාශ කිරිම නොව එම මතවාදය සමාජය තුළ භෞතික  බලයක් වශයෙන් ගොඩනැගී වර්ධනය වීමට ඉඩකඩක් පවතින්නේද යන්නයි. අපේ පිළිගැනීම නම් දමිළ සමාජය තුළ එවැනි ඉඩකඩක් තවමත් බරපතල ලෙස ව්‍යාප්තව පවතින බවයි. ඒ දකුණේ ආණ්ඩු දමිළ ජාතික ගැටළුවට ආමන්ත්‍රණය කෙරෙන යථාවාදී පිළිවෙතක නොපිහිටන නිසා ය. සිංහල ජාතිවාදය ඉදිරියේ ඒවායේ ඇති වැනෙන සුළුබව හා ඒ සමග පෙම් පාන නිසාය. විග්නේශ්වරම් හරහා උතුර කියවිය යුත්තේ මේ සංදර්භය තුළ සිට ය. එසේ නැතිව සිංහල සමාජයේ යම් කොටසක් දැනුවත්ව ද තවත් කොටසක් නොදැනුවත්වද පිස්සන් රැලක් සේ සිංහල ජාතිවාදය අවුලුවාලන්නට උත්සාහකිරීමෙන් සිදුවන්නේ  විග්නේශ්වරම්ලාගෙන්  ප්‍රකාශ වන දෙය අතුපතර විහිදෙමින් භෞතික බලයක් ලෙස නැගී සිටීමට  දමිළ සමාජය තව තවත් තල්ලුකර දැමීම ය. 
 දමිළ සමාජය ජාතිවාදි නරාවලට වැටීමෙන් බේරාගැනීම සඳහා සිංහල සමාජයට සන්සුන් බුද්ධියක් අවශ්‍ය වනවා සේම ඉවසිමක් හා විනයක් අවශ්‍ය ය. සිහළ සමාජය සම්බන්ධයෙන් ද ‍එය එසේම ය. මෙය ජාතිවාදී උමතු බලවේගවලට හෝ අවස්ථාවාදි දේශපාලන බලවේගවලට කළ හැකි දෙයක් නොවේ. මෙය ගැඹුරින් කල්පනා කරන  දේශපාලන බලවේගවල වගකීමකි. විශේෂයෙන්ම ලංකාවේ වාමාංශික බලවේගවල අත් නොහැරිය යුතු වගකීමකි.
 මේ අවස්ථාවේදි ආණ්ඩුව නියෝජනය කරන එජාපයේ හැසීරීම යම්දුරකට යහපත් බව කිවයුතුය. නමුත් ආණ්ඩුවේ ශ්‍රීලනිප ඇමැතිවරු කිහිප දෙනෙක් විග්නේශ්වරම්ට තඩිබාන්නේ තමනුත් හොඳ  “දේශප්‍රේමින්” බව සිංහල සමාජය ඉදිරියේ පෙන්වීමට ය. මතු පිටින් තමන් විරුද්ධයැයි පෙන්වන සිංහල ජාතිවාදි බලවේග සමග අවශ්‍ය මොහොතක එක පෙළට සිටගන්නා බවට සංඥා නිකුත් කිරීම ය. මින් පෙරළා සිදු වන්නේ දමිළ ජාතිවාදි බලවේග   තව තවත් ශත්තිමත් කිරීමයි. කොටින්ම කියතොත් ජාතිවාදය ආගම්වාදය ඇතුළු අන්ත පසුගාමිත්වයන් අවුස්සා බලයට ඒමට මාන බලන උතුරේ මෙන්ම දකුණේ බලවේගවලට ඒ සඳහා  අවශ්‍ය සරු බිම් නිර්මාණය කර දීමයි.
ප්‍රධාන දමිළ ජාතික දේශපාලන ව්‍යාපාරය TNA සැලකියයුතු තරමේ සංයමයකින් දකුණ සමග  සිය දේශපාලන ගැටළුව විසඳා ගැනීමට උත්සාහ කරමින් සිටීන බව පෙනේ. අපි එය ඒතාක් දුරට අගය කළ යුතුය. ඒ අතර විග්නේශ්වරම් වැන්නවුන් දමිළ ජාතික සභාව නමින් වූ සංවිධානය හරහා එළුග තමිල්  (දෙමළුනි නැගිටිව්) වැනි වැඩපිළිවෙලවල් ක්‍රියාත්මක කරමින් වෙනස් මගක් ගනිමින් සිටියි. අපේ වැටහීම නම් TNA නායකත්වය  සංයුක්තව  ඉදිරිපත් කරන ඉල්ලීම් විග්නේශ්වරන් වඩාත් සරළ මට්ටමෙන්  ඉදිරිපත් කරන බවයි. එහෙත් ඒ ප්‍රවේශයන් දෙක අතර ඇත්තේ බරපතල වෙනසකි. දමිළ ජාතික ගැටළුවේ න්‍යෂ්ටීයට බර නොතබා විග්නේශ්වරන් සාමාන්‍ය දෙමළ ජනයාගේ සංවේදී මනෝභාවය වැඩියෙන් ස්පර්ශකීරීමට තැත්කරනු පෙනේ. පැරණි සටන්කාමීන්  තෘප්තියට පත්කර ඔවුන්ගේ විශ්වාසය හා සහයෝගය දිනාගෙන  දමිළ ජාතික ව්‍යාපාරයේ ඉදිරියෙන්ම සිටගැනීම විග්නේශ්වරම්ගේ උපාය විය හැකි ය. කෙසේ වුවත් මෙවැනි දේ තුළින් සිදුවන්නේ ජාතික සංහිඳියාව අවහිර කෙරෙන, ඊට අකුල් හෙලන දෙපසේම අන්තවාදී කණ්ඩායම් පණ ලැබීම ය. මේ මොහොතේ සියලු දෙනා වටහාගත යුත්තේ වසර 30-40 ක යුද්ධයකින් පසු සමාජයක් වශයෙන්  ලබා ඇති ජයග්‍රහණ මොනවාද යන්නයි.
ඕනෑම ජාතියකට  ස්වයං නීර්ණයේ අයිතිය ඇත. තම ආර්ථික, දේශපාලන, සමාජ  හා සංස්කෘතික සංවර්ධනය අත්කරගැනීම අරභයා  නිදහසේ තීරණ ගැනීමට ඇති හැකියාව එම අයිතියෙන් කියවෙයි. දේශපාලන වශයෙන් වෙන්වීම හෝ එක්ව විසීම සම්බන්ධයෙන් තීරණය ගැනීමේ අයිතිය එහි අත්‍යන්තයෙන් අඩංගු වෙයි. දමිළ ජනයාට ද  එම අයිතිය හිමි බව අපේ පිළිගැනීම ය. එම අයිතිය පිළිගැනීමෙන් දමිළ ජනතාව මත වෙන්වීමක් කරා තෙරපුමක් ඇතිකිරීම හෝ කුඩා රාජ්‍යයන් නිර්මාණය කිරීම  සමාජවාදීන් වශයෙන් අපේ අභිලාෂය නොවේ.  ඊට වෙනස්ව ජාතික පීඩනය ද ඇතුළු සෑම ආකාරයකම පීඩනයන්ට එරෙහිව පෙනී සිටීම හා  අරගල කිරීම  සමාජවාදය සදහා කරන අරගලය සමග දැඩිව බැදී ඇති බව පිළිගැනීම අපේ ස්ථාවරයේ පදනමයි. සමාජවාදී විප්ලවය තනි පෙරමුණක කරන තනි අරගලයක් නොවේ, විවිධ පෙරමුණු රාශියක කරන දිගුකාලීන අරගල දාමයකි. ප්‍රජාතන්ත්‍රවාදය සඳහා කරන අරගලය එහි එක්  තියුණු හා සංකීර්ණ පෙරමුණකි. ජාතික පීඩනයට එරෙහි අරගලය  ප්‍රජාතන්ත්‍රවාදී අරගලයේම තවත් තීරණාත්මක පෙරමුණකි. මේ අයුරින් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අරගලය, ජාතික පීඩනයට එරෙහි අරගලය හා සමාජවාදය සඳහා කරන අරගලය  අතර ඇත්තේ වෙන්කළ නොහැකි සම්බන්ධයකි. ප්‍රජාතන්‍රවාදී ඉල්ලීම් හෝ ජාතික පීඩනයට එරෙහි ඉල්ලීම් සමාජවාදය තෙක් පස්සට දමන්නේ නම් ඒ බරපතල වැරද්දකි. ධනවාදය යටතේ කුමන ලෙසකින්වත් ප්‍රජාතන්ත්‍රීය ඉල්ලීම්, ජාතික පීඩනයට එරෙහි ඉල්ලීම් දිනගත නොහැකි ය.  ඒ සඳහා අරගලකිරීමේ තේරුමක් නැතැයි කීම   තවත් එක් වාම අන්තවාදයක් පමණි. එසේම   ධනවාදය යටතේ එම ඉල්ලීම් දිනා ගතහැකි වන්නේ නම් ඒ අසම්පූර්ණ හා කප්පාදුකරන ලද ඒවා වශයෙන් බවත් අපි මොහොතකටවත් අමතක නොකරමු. දමිළ ජාතික ගැටළුවට අවම වශයෙන් පුළුල් බලය බෙදීමේ විසඳුමක් කරා හෝ යාමට ආණ්ඩුවට  බල කළ යුතු ය. ධනපති ආණ්ඩුව සිංහල බෞද්ධ අන්තවාදය ඉදිරියේ වැනෙන අන්දම, කර අරින අන්දම, දමිළ ජනතාව නැවත නැවතත් රවටන අන්දම වගේම ධනපති දමිළ දේශපාලන නායකත්වයේ නිවට නියාළුබව, තමන්ගේම ජනතාව රවටන අන්දම තේරුම් ගැනීමට අපි ජනතාවට සහාය විය යුතු ය. පොදු ජනතාව  විප්ලවීය දේශපාලනයෙහි පුහුණුව ලබනු ඇත්තේ ඒ මගිනි.   දමිළ ජනතාවගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටීමේදී සහ පොදු වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගැනීමේ අරගලයේදී අපි දමිළ ජාතික ධනපති දේශපාලනයෙන් ද දකුණේ ලිබරල්වාදීන්ගෙන් ද සමහර වාම අන්තවාදීන්ගෙන් ද පැහැදිලිව වෙනස්වන්නේ මේ පුළුල් අර්ථයෙන් බව අවධාරණය කරමු. 

  


No comments:

Post a Comment

Featured Post

අධ්‍යාපනය අයිතියකි ! විකිණීම සඳහා නොවේ !

දකුණු ආසියාතික තාක්ෂණික හා වෛද්‍ය ආයතනය (සයිටම්-  SAITM, The South Asian Institute of Technology and Medicine)    2008 ඔක්තෝබර් 1 දින ආයෝජ...