මෛත්‍රීට එරෙහිව මෛත්‍රී ලෙස ඉතිහාසයේ ලියවෙයි ද ?





ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පාර්ශවයේ විවිධ මට්ටටම්වල දේශපාලනඥයෝ ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා ප්‍ර‍තිසංස්කරණ පිළිබඳව විවිධ අදහස් දක්වමින් සිටිති.  ඔවුනට අනුව ජනමත විමසුමකට තුඩුදෙන ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා ප්‍ර‍තිසංස්කරණ සඳහා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ අනුමැතියක් නැති අතර ඒ අනුව විධායක ජනාධිපති ධූරය ද අහෝසි කළ නොහැකිවන අතර කළ හැක්කේ යම් යම් සංශෝධනයන් කිරිම පමණි.
2015 ජනවාරි 08 වැනිදා පැවැති ජනාධිපතිවරණයේදි  හැට දෙලක්ෂය ඉක්ම වූ මෙරටේ ඡන්දදායකයෝ ශ්‍රිලනිප අපේක්ෂකයා වු මහින්ද රාජපක්ෂ මහතා  පරාජය කර පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජය තහවුරු කළහ. අද නිල ශ්‍රිලනිපයේ අයිතිකරුවෝ හා ප්‍ර‍කාශකයෝ බවට පත් වී සිටින බහුතරයක් එදා ශ්‍රිලනිප අපේක්ෂකයා වූ මහින්ද රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරිමට පෙනී සිටි අය වූහ. මෛත්‍රිපාල සිරිසේන මහතාට එක් වී සිටියේ ශ්‍රිලනිප නායකත්ව මට්ටමින් පුද්ගලයන් කිහිපදෙනෙකු  හා පාක්ෂිකයන් ගෙන් ඉතා සුළු පිරිසක් පමණි.

ශ්‍රිලනිප අපේක්ෂකයා ජනාධිපතිවරණයේදි පරාජය වූ බව මහින්ද රාජපක්ෂ මහතා වටා ගොනු වී සිටින කොටස් පිළිගැනීමට අකමැතිවනවා සේම, වත්මන් ජනාධිපතිවරයා වටා එක් වී  සිටින ශ්‍රිලනිපයේ බොහෝ අයට ද එය අමතක වී ඇත.
2015 ජනවාරි 08 පැවැති ජනාධිපතිවරණයේදි මෙරටේ හැට දෙලක්ෂයකට අධික බහුතර ජනයාගේ ඡන්දයෙන් ශ්‍රිලනිප අපේක්ෂකයා පමණක් නොව ශ්‍රීලනිපය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය ද පරාජය කර දැමුවාය යන්න පිළිගත නොහැක්කේ මුග්ධයන්ට පමණි. ජනමතය පවතින්නේ ශ්‍රිලනිප අපේක්ෂකයා පැරද වූ එකල විපක්ෂකයේ පොදු අපේක්ෂකයා වූ මෛත්‍රිපාල සිරිසේන මහතාට බව ශ්‍රිලනිප පාර්ශව දෙකම මෙන්ම ජනාධිපති සිරිසේන මහතා ද හුදෙක් වේදිකාවල හිස් හඬ නගනවාට වඩා අවබෝධයෙන් ග්‍රහණය කර ගැනීම වැදගත් ය.
විපක්ෂයේ පොදු අපේක්ෂකයෙක් නිර්මාණය කර ගැනිම සඳහා එකල ප්‍ර‍බල දායකත්වයක් සැපයූ සෝභිත නාහිමියන්ගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වු සාධාරණ සමාජයක් සඳහා  වු ව්‍යාපාරය  ඒ සඳහා ප්‍ර‍ධාන ඉල්ලීම් කිහිපයක් සමාජ ගත කර තිබුණි. එනම්
01)  විධායක ජනාධිපතිධූරය අහෝසි කිරිම .
02)  මනාප මැතිවරණ ක්‍ර‍මය සංශෝධනය කිරිම
03)  18 වන ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා සංශෝධනය අහෝසිකර ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම ඇතුළු ප්‍ර‍ජාතන්ත්‍රීය ප්‍ර‍තිසංස්කරණ
04)  නීතියේ ආධිපත්‍ය පිහිටුවීම, අල්ලස, දූෂණය පිටුදැකීම ඇතුළු යහපාලන ආණ්ඩු ක්‍ර‍මයකට අදාළ කාරණා.
විපක්ෂයේ පොදු අපේක්ෂකයා බවට පත් වූ මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම ඉල්ලීම් පිළිගත්තා පමණක් නොව ඒවා සපුරාලන බවට ශපත කළේ ය. ගිවිසුම් අත්සන් කළේ ය.
එහෙයින් 2015 ජනවාරි 08 වැනිදා පැවැති ජනාධිපතිවරණයේදි හැට දෙලක්ෂයකට අධික ජනයා විපක්ෂයේ පොදු අපේක්ෂකයා වු මෛත්‍රීපාල සිරිසේන මහතා තම ජනාධිපතිවරයා ලෙස පත්කර ගත්තේ ඔහු ලවා මෙම පොරොන්දු ඉෂ්ටකර ගැනීමට බවට විවාදයක් තිබිය නොහැකි ය.
එහෙයින් ජනාධිපතිවරණයේ දී බලයෙන් පහකර දැමුණු ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මතය ජනවාරි 08 වැනිදා පෙරළියට දායක වු  කිසිදු දේශපාලන බලවේගයකට හෝ ඡන්දදායකයෙකුට වැදගත් නැත. මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණය ජය ගැනීමෙන් පසු දෙන ලද පොරොන්දු කඩිනම්ව ඉටු කිරීමට ක්‍රියා කරනවා වෙනුවට ඇතැම් ඒවායේ දී කල්මරන්නට පටන්ගත් බව රහසක් නොවේ. 2015 අප්‍රේල් 23 න් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් පවත්වන බවට දෙන ලද පොරොන්දුව ඉටු කිරීමට ඔහු මාස තුනක්ම කල් මැරුවේ ය. ඔහු ඒ පොරොන්දුව නිසි ලෙස ඉටු කළේ නම් ජනාධිපතිවරණයේ දී රාජපක්ෂ රෙජිමය ලද පරාජය මහමැතිවරණයේ දී අමතක නොවන පරාජයක් වන්නට ඉඩ තිබුණි. ජනමතයට පිටුපාමින් රාජපක්ෂ මහතා නායකත්වය දෙන පරාජිත බලවේගවලට පණ ගසා නැගී සිටීමට අවස්ථාව ලබා දුන්නේ අන් කිසිවෙකු නොව ජනාධිපති සිරිසේන මහතාම ය. එපමණක් නොව රාජපක්ෂ රෙජිමයේ නියෝජිතයින් සැලකිය යුතු සංඛ්‍යාවක් ආණ්ඩුව තුළට වැද්ද ගනිමින් දෙන ලද පොරොන්දු ඉටු කිරීමට අකුල් හෙළන බලවේගයක් ආණ්ඩුව තුළම නිර්මාණය කළේ ද ඔහුම ය. දැන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ගමන් කරමින් සිටින්නේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා  සමග  ගැටෙන යොමුවක ය. (අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජනවාරි 8 වරම සමග සිටිනවා යයි මින් අධ්‍යාහාර කර නොගත යුතු ය. එම වරම උපයෝගීකර ගනිමින් ඔහු ඔහුගේම ගමනක යෙදී සිටී. එය අපි අන් අවස්ථාවක සාකච්ඡා කරමු).    
අද රාජපක්ෂ රෙජිමය ගෙදර යැවූ හා වත්මන් ජනාධිපතිවරයා බලයට පත් කළා වූ බහුතර ඡන්දදායකයා එළියට බැස ජනාධිපති සිරිසේන මහතාට අවධාරණයෙන් මතක්කර දිය යුත්තේ ඔහු බැඳී සිටිය යුත්තේ ජනවාරි 08 වැනිදා ජනවරම සමග මිස ශ්‍රිලනිපයේ මතය සමග නොවේ ය යන්න ය. මක්නිසාද  එදින ශ්‍රිලනිප මතය ප්‍රතික්ෂේප වූ බැවින් තවදුරටත් එහි වලංගුභාවයක්  නැති නිසා පමණක් නොව පැහැදිලිවම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයාට එරෙහිව පොදු අපේක්ෂකයා වශයෙන් ඔහු  ජනාධිපතිවරණයට ඉදිරිපත්වී එම ධුරයට තේරී පත්වී ඇති නිසාය. මෛත්‍රීපාල සිරිසේන පළමුව ජනාධිපතිවී දෙවනුව ශ්‍රිලනිප සභාපතිවූවා මිස සිදුවූයේ එහි අනෙක් පස නොවේ. එම සිදුවීම එම පක්ෂයට අදාළ තාක්ෂණික කරුණක් මිස ජනවාරි 8 ජනමතයට කොහෙත්ම අදාළත්වයක් නැත.  ශ්‍රිලනිපය ආරක්ෂාකර ගැනීම හෝ ශක්තිමත් කිරිම එම පක්ෂයේ නායකයන්ගේ හා පාක්ෂිනයන්ගේ වැඩකි. 2020 දී තනිකර ශ්‍රිලනිප ආණ්ඩුවක් ගොඩනැගිමට කටයුතු කිරිම ද අපට ප්‍ර‍ශ්නයක් නැත. ඒ සඳහා ඔවුනට අයිතියක් ඇති බව ද  අපි පිළිගනිමු. එය වෙනම කාරණයකි. ජනවාරි 8 ජනවරමට අදාළ කාරණයක් නොවේ.
එකල විපක්ෂයේ පොදු අපේක්ෂකයා වටා ගොනු වු දේශපාලන බලවේග මෙන්ම ඡන්දදායකයන් ද නැවැත ජනාධිපතිවරණයක් බලාපොරොත්තු වූයේ නැත. මේ බව වත්මන් ජනාධිපතිවරයා ද ජනතාවට සහතික වී ඇති අතර සෝභිත හිමිගේ අවමංගල්‍ය උත්සවයේ දි විධායක ජනාධිපතිවරණය අහෝසි කරන බවට සමාජයට ප්‍ර‍තිඥාවක් ද ලබා දුන්නේ ය. ජනාධිපතිවරයා ශ්‍රිලනිප නායකයා නිසා  පක්ෂයේ මතයට අනුව වැඩ කලයුතු බව ශ්‍රිලනිපයේ මෛත්‍රී පාර්ශවය කරන ප්‍ර‍කාශ ජනවාරි 08 වෙනිදා වෙනසට දායකවු බලවේගවලට කොහෙත්ම අදාළ නැත. ඇරත් මෙම ප්‍රකාශ කරන්නේ ද අගෝස්තු මහ මැතිවරණයෙන් ද  ජනතාව විසින් ගෙදර යවන ලද ජනාධිපතිවරයා විසින් ජාතික ලැයිස්තුවෙන් පත් කර ඇමතිවරුන් බවට පත්ව සිටින කුජීත දේශපාලනඥයින් හා ජනාධිපති සිරිසේන මහතාගේ පිහිටෙන් පදවි තානාන්තර ලැබූවන් ය. ජනාධිපතිවරයා කරන්නේ ඔවුන් නැලවීම ය. ජනාධිපතිවරයාගේ අනියම් හෝ ආශීර්වාදයෙන් තොරව  ඔවුන්ට එසේ ක්‍රියා කළ නොහැකි බව පැහැදිලි වන්නේ රාජපක්ෂ සමයේ ඔවුන් මොන තරම් නිවට ලෙස හැසුරුණා ද යන්න සැලකිල්ලට ගත් විට ය. ජනවරමට ඉහළින් පක්ෂ තියන්නට නොහැකි ය. එසේ කළ හැක්කේ ජනවරමට පයින් ගසනවුන්ට හා පක්ෂවලට පමණි.
ජනාධිපතිවරයා ශ්‍රිලනිප නායකයා වන්නේ ජනවාරි 08 වැනිදායන් පසුව වන අතර ජනාධිපති වන්නේ ජනවාරි 08 වැනිදා ජනවරමිනි. යම් හෙයකින් සිරිසේන මහතා පරාජය වූයේ නම් ඔහුට අත්වන ඉරණම කුමක් විය හැකි ද යන්න ඔහු විසින්ම සමාජය ඉදිරියේ ප්‍ර‍කාශ කොට තිබුණේ වරක් දෙවරක් නොවේ.
එම නිසා ඔහු මේ මොහොතේ බැඳී සිටිය යුත්තේ ජනවාරි  08  වැනිදා ජනවරම සමග මිස ශ්‍රීලනිපයේ තීන්දු සමග නොවේ. ජනවරමට ඉහළින් පක්ෂයේ තීන්දුවලට අවනත වනවා නම් ජනවරමට පයින් නොගසා ඔහු ජනාධිපති ධූරය අත්හැර ශ්‍රීලනිප නායකයා ලෙස නව ජනවරමකින් ඉදිරියේ දී ශ්‍රීලනිප නායකයා වශයෙන් බලයට එන්නට කටයුතු කළ යුතු ය. එසේ නොකර ඔහු ශ්‍රීලනිපයේ පදයට නටනවා නම් එය ප්‍රජාතන්ත්‍ර විරෝධී ය. සදාචාර විරෝධී ය. ජනවාරි 8 ජනවරම පාවා දීමකි.
ඕනෑම පුද්ගලයෙක් වීරයෙක් වන්නේ ද නැතිනම් ද්‍රෝහියෙක් වන්නේ ද යන්න තීරණය කරනු ලබන්නේ ඔහුගේ හෝ ඇයගේ භාවිතාව අනුව  ඉතිහාසය විසින් ය. එය එක් එක් පුද්ගලයන්ගේ ප්‍ර‍කාශ මත තීරණය වන දෙයක් නොවේ.
වත්මන් ජනාධිපතිවරයාට මේ මොහොතේ විකල්ප දෙකක් ඉතිරි වී තිබේ.  එනම්
01)  ජනවාරි 08 වෙනිදා ඔහු ජනාධිපති ධූරයෙහි පිහිට වු  හැට දෙලක්ෂය ඉක්ම වු ජනමතය සමග සිටිනවාද
02)  නැත්නම් සිය පක්ෂයේ මතය සමග  ඉන්නවාද යන්නයි .
මේ අනුව ඉතිහාසය විසින්  ඔහුව ඔහුට හිමිවිය යුතු නිවැරදි ස්ථානයෙහි පිහිටුවනු ඇත!



No comments:

Post a Comment

Featured Post

අධ්‍යාපනය අයිතියකි ! විකිණීම සඳහා නොවේ !

දකුණු ආසියාතික තාක්ෂණික හා වෛද්‍ය ආයතනය (සයිටම්-  SAITM, The South Asian Institute of Technology and Medicine)    2008 ඔක්තෝබර් 1 දින ආයෝජ...