'අධ්‍යාපනයේ නිදහස’ නිදහස් අධ්‍යපානය දියකර හැරිම


ගාමිණී වියන්ගොඩ  සයිටම් පක්ෂවාදීන්ගේ කඳවුර වෙනුවෙන් පෙනී සිටින ප්‍රමුඛ පෙළ  මධ්‍යම පංතික දෘෂ්ටිවාදියෙකි. ඒ සම්බන්ධයෙන් ඔහු ඉදිරිපත්කරන තර්ක ඉතාමත් නිරවුල්ය. යමක් කමක් ඇති  ඔහු වැනි අයට මුදල් ගෙවා  අධ්‍යාපනය ලැබිමට අයිතිය තිබිය යතුය. ඔහුගේ තර්කයේ එකම පදනම එයයි. අපට නිදහස් අධ්‍යාපනය යන්න ඔහුට   'අධ්‍යාපනයේ නිදහස’ වී ඇත්තේ ඒ නිසාය.
 
ඔහුම පෙන්වා ඇති විධියට සයිටම්  ආශ්‍රයෙන් මතුවී ඇති ප්‍රශ්ණ දෙකකි.  එකක් නම් උසස් පෙළ සමත් ශිෂ්‍යයින්ගෙන්   අතිවිශාල ප්‍රතිශතකයකගේ උසස් අධ්‍යාපනයේ අයිතිය සුරක්ෂිත කිරීමට රාජ්‍යය දක්වා ඇති අසමත්භාවයයි. දෙක, රටට  අවශ්‍යකරන තරම් වෛද්‍යවරුන් බිහිකර ගැනීමට රාජ්‍යය දක්වා ඇති අසමත්භාවයයි. මේ කරුණු දෙක තුළම ඇති පොදු ලක්ෂණය නම් 'රාජ්‍යයේ අසමත්භාවය’ යි. ගැටළුවේ හරය ඔහු පැහැදිලිවමත් නිවැරදිවමත් හඳුනාගෙන ඇත. එසේ තිබියදීත්  ඒ කේන්ද්‍රීය ප්‍රශ්ණය වූ 'රාජ්‍යයේ අසමත්භාවය’ට අභියෝග නොකරන්නේ ඇයි? රාජ්‍යයේ සමත්භාවය දැකල ඒ ගැන කනස්සලු වෙමින් 'නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත්පට්ටටයක්  සොයමින් සිටීම හෙවත් ඉබ්බාගෙන් පිහාටු පැතීම’ වගේ   කතා කියා   ප්‍රශ්ණය මග හැරීම මධ්‍යම පංතික නිවට නියාළු  තකත්කඩිකම හැර අන් යමක් නොවේ. මුළු සිවිල් සංවිධාන ව්‍යාපාරයේම ස්වභාවය මෙයයි. තමන් කරතියාගෙන ගිය මෛත්‍රී - රනිල් පෙරළා තමන්ට පා පහර දෙන විට නැවත නැවතත්  ඔවුන්ගේ දෙපා  මුල වැටි දුක් අඳෝනා දෙමින් නගන මධ්‍යම පංතික යැදිල්ල හැර  සටන්කාමි අන් විකල්පයක් ඔවුන්ට ස්වභාවයෙන්ම පිහිටන්නේ නැත. ප්‍රශ්ණයේ හරය දැක දැකත් එය නොතකා හරින මධ්‍යම පංතික 'උගත් සිවිල් සමාජයට’ වඩා කොතෙකුත් අඩුපාඩුල දුර්වලකම් මධ්‍යයේ වුවත් ප්‍රශ්ණයේ කේන්ද්‍රය සමග සටනට පිවිස සිටින පීඩිත පංතික ශිෂ්‍ය ප්‍රජාව අපි අගය කරමු. 
ඊනියා 'අද්‍යාපනයේ නිදහස’ තුළ නිදහස් අධ්‍යාපනය දියවී යන නමුත් අධ්‍යාපනයේ  නිදහස යථාවක් බවට පත්   වන්නේ නිදහස් අධ්‍යාපනය යතාර්ථවත්වීමට සමානුපාතිකව  බව අපේ වැටහීමය. නිදහස් අධ්‍යාපනය ගුණාත්මකතව හා ප්‍රමාණාත්මකව ඉහළ තලයකට ගෙන ඒම තුළ පමණක් ඒ තාක් දුරට අධ්‍යාපනයේ නිදහස සහතික කෙරෙයි.නොඑසේ නම් අපට හිමිවන්නේ අංශභාග රෝගයට ගොදුරු වු අධ්ප‍යාපන පද්ධතියකි. සයිටම් විරෝධීන්ගේ අභිලාෂය අංශභාග රෝගයෙන් මුළු එකක් වශයෙන් අධ්‍යාපන පද්ධතිය බේරා ගැනිම වුවත් ගාමිණී වියන්ගොඩලාගේ  උත්සාහය අධ්‍යාපනයේ 'රෝගීව තිබෙන අංශය’ මැරෙන්නට හැර ඔවුන් 'නිරෝගී අංශය’ යයි සිතන අංශය තව තවත් ශක්තිමත් කිරීමය. මෙය දැනටමත් මහජන උපයෝගිතා සේවාවලින් කර ඇරීමට මාන බලමින් සිටින ආණ්ඩුවේ නව ලිබරල්වාදී ප්‍රතිපත්තිවලට සමානුපාතය. තවත් විදියකට  කියන්නේ නම් ඒ සමාජීය ප්‍රශ්ණ නිශ්චිත කඩඉමකට ලඟා වෙද්දී මධ්‍යම පංතිය ධනපති පංතික කේන්ද්‍රය කරා සීරුමාරුවිමකි. 
රාජ්‍ය  විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ප්‍රමිතිය උසස්කර ගැනීම සඳහා එම අධ්‍යාපනයට කෙළින්ම අදාළ ශිෂ්‍ය ප්‍රජාව වෙතින් 'මොන විදිහක හෝ තෙරපුමක් නොඑන’ බව වියන්ගොඩ නින්දෙන් ඇහැරියාක් මෙන් විකාර දොඩවයි. දශක ගණනාවක් තිස්සේ මේ සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව අනවරත අරගලයක යෙදී සිටි බවත් අද යම් තරමකට හෝ විශ්ව විද්‍යාල අධ්‍යාපනය රැකගෙන ඇත්තේ ඒ නිසාවෙන් බවත් නොදැකීම ඇත්ත හමුවේ දෙනෙත් වසා ගැනීමකි. අයැදීමත් තරුණ සටන්කාමිත්වයට වෛරකිරිමත් ස්වභාවය කරගත් වියන්ගොඩලාගේ මධ්‍යම පංතික කුහක මනැසට එය නොදැනීම පුදුමයක් නොවේ.   
සාමාන්‍ය අවස්ථාවලදි එතරම් පැහැදිලිව හඳුනාගත නොහැකි නමුත් සටන් ව්‍යාපාර තීවෘ වන විට වියන්ගොඩ වැනි 'වියත්’මධ්‍යම පංතික නියෝජිතයින්ගේ නිරුවත යහමින් ප්‍රදර්ශණය කෙරෙන බව 'රාවය’ මොනවට ඔප්පු කරයි.  
අද ඉටු කළ යුතුව තිබෙන කාර්යයන්ගෙන් එකක් ලෙස මතුව ඇත්තේ අරගලයේ  මධ්‍යම පංතික කේන්ද්‍රය වාමවාදී  මහජන සටන්   ව්‍යාපාරයක කේන්ද්‍රයක් විසින් විස්ථාපනය කිරීම ය. 

No comments:

Post a Comment

Featured Post

අධ්‍යාපනය අයිතියකි ! විකිණීම සඳහා නොවේ !

දකුණු ආසියාතික තාක්ෂණික හා වෛද්‍ය ආයතනය (සයිටම්-  SAITM, The South Asian Institute of Technology and Medicine)    2008 ඔක්තෝබර් 1 දින ආයෝජ...