71 අරගලය විමර්ෂණයට වැදගත් කරුණු කීපයක් . . .


”වහලූන් සහ පෑගී සිටින ජනතාව අධීපතිනට එරෙහිව කැරළිගසා නැගී සිටිය හොත් ධනවාදයේ සභ්‍යත්වය හා සාධාරණත්වය ස්වකීය නග්න හා කෲර ස්වරූපයෙන් පෙනී දිටිනු ඇත. එවිට ඒ සභ්‍යත්වය සහ සාධාරණත්වය මෙලෙච්ඡත්වය හා නීති රහිත පළි ගැනීමක් ලෙස විවෘතව පෙනී සිටීයි.”
ප‍්‍රංශයේ සිවිල් යුද්ධය-මාක්ස් 
පැගි සිටින ජනතාවක් වහල්බායට එරෙහිව නැගී සිටන විට ලොව කොතැනකත් අධීපතීන් කරන්නාක් මෙන්  ලංකාවේදී ද අධිපතීහු  1971 අරගලය නග්න හා කෲර ස්වරූපයෙන් මර්ධනය කර දමනු ලැබූහ. ධනවාදයේ සභ්‍යත්වය හා සාදාරණත්වය මුලූගැන්වී පෙරට පැමිණියේ මෙලෙච්ඡත්වය හා නීති යෙන් තොර වියරු පළිගැනීමය. පැරණි කාව්‍ය සංග‍්‍රහවල වර්ණිත ‘ගංගා කොමලියන් ’ තුල අධිපතීන් දුටුවේ   මරා දමනු ලැබූ ස්ත‍්‍රීන් හා පුරුෂයන්ගේ මළ ක`දන් පාකර හැරිය හැකි  ජල ක`දන්ය.
 
71 අරගලය  සම්බන්ධයෙන්  බොහෝ දෙනෙකුට විවධාකාරයේ විවේචන තිබිය හැකිය. එහෙත් 71 දිවිපිදුවන් සිය තාරුණ්‍යය පුදකලේ වැදගැම්මකට නැති අරමුණක් වෙනුවෙන් යැයි කීමට ඒ කිසිදු විවේචකයෙකටු ධෛර්යක් ඇතැයි කිව නොහැක.  මානව සංහතියේ විමුක්තිය පිලිබ`ද ඒ උදාර අපේක්ෂාව වෙනුවෙන්  දිවිපිදු ඔවුන් වෙත කිසිදු පැකිළීමකින් තොරව අපි හිසනමා ආචාර කරමු.!
ඒ අතර ඔවුන් වෙත දක්වන හර්දයාංගම ආචාරය  71 අරගලය වේදිකාගතකරන ලද දේශපාලන ව්‍යාපාරය  දෙස විවේනාත්මකව බැලීමෙන් අපව වලක්වාලන කරුණක් නොවිය යුතු යයි අපි අදහස්කරමු. 
  මෙහිදි අපි අවධානය යොමුකිරිමට උත්සාහදරන්නේ රුසියානු විප්ලවිය දේශපාලන ව්‍යාපාරයේ සංවර්ධනයේ දි හමුවෙන වැදගත් ලක්ෂණ කීපයක් ඇසුරින්, එයද සංක්ෂිප්තව  71 අරගලය හා එහි දේශපාලනය දෙස එබී බැලිමටය. 
1. ”බොල්ෂෙවික්වාදය පැන නැංගේ මාක්ස්වාදී න්‍යාය පිලිබ`ද ඉතා ශක්තිමත් පදනමක් මතය”-ලෙනින් - වාමාංශික කොමිුනිස්ට්වාදය ළදරු වලිප්පුවකි. 
1898 මාර්තු 1 දින රුසියානු සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී කම්කරු පක්ෂය පිහිටුවිමට පූර්වයෙන් දශක තුනක හතර කාලයක් පුරා එරට බුද්ධිමතුන් අතර මාක්ස්වාදය පිලිබ`ද පලල් හා  ගැඹුරු සංවාදයක් පැවතිනි. 1869 දී කොමියුනිස්ට් ප‍්‍රකාශණය, ප‍්‍රථම විදේශීය භාෂා පරිවර්තනය ලෙස 1872 දී ප‍්‍රාග්ධනය, දර්ශනයේ දුගීබව, සමාජවාදයේ සංවර්ධනය- මනෝරාජිකත්වයේ සිට විද්‍යාව කරා වැනි අතිශයින් වැදගත් මාක්ස්වාදී කෘති සහ ලිපි ගණනාවක් රුසියානු භාෂාවට පරිවර්තනයකර තිබිණි. මේ සියළු පරිවර්තනයන් සිදුවූයේ ඒ වනවිට මාත්ස්වාදීන් නොවුන නමුත් එවකට ප‍්‍රචලිත විප්ලවවාදි ව්‍යාපාරයට- නැරෝද්නික් ව්‍යාපාරයට කිසියම් ආකාරයකින් අනුග‍්‍රහය දැක්වූ විප්ලවීය බුද්ධිමතුන් වෙතිනි. එක් විචාරයක නැරෝද්නික්වාදය ගැන ස`දහන් වෙන්නේ ”රුසියානුකරණය වු මාක්ස්වාදය” ලෙසය. රුසියානු විප්ලවීය ව්‍යාපාරය තුල මාක්ස්වාදය සිය දෘෂ්ටිවාදමය ධජය  ඉහළට ඔසවමින්  තිබුන බව මින් පෙනී යයි.   එයට  බොල්ෂෙවික්වාදය  ලෙස සිය හැඩරුව ගැනිමට තවත් දුෂ්කර කාලයක් ගතකරන්නට සිදුවිය.  එය එතරම් දුෂ්කරවූයේ අත්තනොමතික රාජාණ්ඩුවේ මර්ධනකාරි පියවරයන් නිසාම පමණක් නොව රුසියානු විප්ලවවාදී චින්තනය   ”චපලකම්වලින්ද වැරදීම් හා සුන්වූ බලාපොරොත්තුවලින්ද ” පිරී පැවතීම නිසාය. මේ කඩඉම පැනගැනිමට බොල්ෂෙවික්වරු සමත්වූයේ කෙසේද? එයට ලෙනින් පිලිතුරු දෙන්නෙ මෙසේය, ”මේ ක්ෂේත‍්‍රය හා සම්බන්ධයෙන් වූ යුරෝපයේ හා ඇමරිකාවේ සැම නිශ්චයාර්ථයක්ම ගැන අති මහත් උද්‍යෝගයෙන් හා අංගසම්පූර්ණත්වයෙන් යුතුව විමසා බැලූවේය.” වද හිංසා වි`දිම්, කැපකිරීම්, අපිරිමිත වීරත්වය හා ධෛර්ය, විමර්ශනය, අධ්‍යායනය, ප‍්‍රායෝගික පරීක්ෂණ, ඒ අතර බලාපොරාත්තු සුන්වීම් හා නැවත හරිවැරදි විමසීම් ආදියෙන් පිරි ”අඩ සිය වසරක් තිස්සේ වි`දිනා ලද පෙර නොවූ විරූ තරම් දරුණු වෙදනා තුලින් රුසියාව මාක්ස්වාදය, ඒ එකම විප්ලවවාදී න්‍යාය දිනා ගත්තේය” 1893 සිට 1903 දක්වා වසර දහය තුල පමණක් මේ දෘෂ්ටිවාදීමය අරගලය පෝෂණයකිරීමෙහිලා ලෙනින් විසින් රුසියාවේ ආර්ථික, දේශපාලන හා සමාජිය තත්ත්වයන් අලලා රචනාකරන ලද  විද්‍යාත්මක හා  විශ්ලේෂණත්මක කෘති හා ලිපි සිය ගණනක් ඇති බව මෙහිලා වැඩිදුරටත් සටහන් කරමු. රුසියානු විප්ලවවාදී ව්‍යාපාරය තුල මාක්ස්වාදය බොල්ෂෙවික්වාදය ලෙස ඉහළ තලයකට ල`ගාවූයේ එසේය. 
චපලකම්වලින්ද වැරදීම් හා සුන්වූ බලපොරොත්තුවලින්ද පිරි ලංකාවේ පැරනි වාමාංශික ව්‍යාපාරය නම් කඩඉම පැන ගැනීමට එම ක්ෂේත‍්‍රට අදාල ජාතික හා ජාත්‍යන්තර සියළු පැති අංගසම්පූර්ණත්වයෙන් යුතුව විමර්ෂණයෙහි, අධ්‍යායනයෙහි හා ප‍්‍රායෝගික පරීක්ෂණයෙහි නියැලීමට සිය න්‍යායික දැක්ම සකස්කරගැනීමේදී ජනතා විමුක්ති පෙරමුණ සමත්වීද? නොඑසේ නම් එම න්‍යායික දැක්ම ශක්තිමත් පදනමක පිහිටියේයැයි කිව හැකිද? 
2. සෝවියට් සභා- ධනපති ක‍්‍රමයෙන් පීඩිත වූ පංතිවල පොදුජන අරගලයේ සහ පොදු ජන සංවිධානයේ නව ආකෘතිය. 
ප‍්‍රථමයෙන් 1905 රුසියානු විප්ලවය අවධියේ දකින්න ලැබෙන  සෝවියට් සභා කිසිදු  පක්ෂයක්, කණ්ඩායමක් පූර්වයෙන් කරන ලද සැලසුමකට අනුව පිහිටුවන ලද යම් සංවිධාන ව්‍යුහයක් නොව වැඩ වර්ජිත කම්කරුවන්, රාජාණ්ඩුවට එරෙහි ප‍්‍රජාතන්ත‍්‍රවාදී බුද්ධිමතුන් සහ බොල්ෂෙවික් හා මෙන්ෂෙවික් ආදී සමාජවාදීන්ගේ මැදිහත්විමෙන් ගොඩනැගූ සංවිධාන විශේෂයකි. 1848 දි පළවන කොමියුනිස්ට් ප‍්‍රකාශණයෙහි ”කොමියුනිස්ට් විප්ලවය” ගැන ස`දහන් වුවත් අනතුරුව පිහිටුවන රාජ්‍ය බලය හා රාජ්‍ය ව්‍යුහය පිලිබ`දව එහි ස`දහනක් නොවිය. මාක්ස් විසින් එය ඌණපූරනය කරන්නේ 1871 පැරිස් කොමියුනයේ අත්දැකීම්  ආශ‍්‍රයෙනි.  1905 සෝවියට් සභා  පැරිස්  කොමියුනට ආදේශකරමින් පිඩිත පංතීන්ගේ පොදුජන අරගලයේ වේදිකාව හා අනාගත නිර්ධන පංතික රාජ්‍යයේ කලලය ලෙස ලෙනින් හ`දුන්වා දෙයි. 1917 පෙබරවාරි සහ ඔක්තොබර් විප්ලවීය වකවනුව තුල සෝවියට් සභා පොදු ජන අරගලයේ තීරණාත්මක බල කේන්ද්‍රයක් විය. ඔක්තෝබර් විප්ලවයේ ජයග‍්‍රහනයෙන් අනතුරුව නිර්ධන පංතික රාජ්‍ය බලය දැරිමට තරම් පරිණත හා සංවිධිත තත්ත්වයක් කරා සෝවියට් සභා සංවර්ධනය වී තිබිණි.  ”සොවියට් සභාවලට වඩා උසස් හා ඊට වඩා හො`ද ආණ්ඩු ආකෘතියක් මිනිස් වර්ගයා තවමත් පරිණාම කොට ගෙන නැත. අපි තවමත් එවැන්නක් ගැන නොදනිමු.” යි කියන ලෙනින් සෝවියට් සභා ධනපති ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අනුප‍්‍රාප්තිකයා ලෙසත් සමස්ත ලෝකයේම අනාගතය සෝවියට් ක‍්‍රමයට අයත් වන බවත් කියයි.
ජනතා විමුක්ති පෙරමුණේ දැක්මෙහි දුගී බවත් ඒ නිසාම විප්ලවයේ බහුජන ස්වරූපය බැහැර කර එය හුදු සන්නද්ධ අරගලයකට ලඝු කිරීමත්  නිසා පොදුජන අරගල වේදිකාවක්, අනාගත රාජ්‍ය ආකෘතියක් සංකල්ප ගතකර ගැනිමට එය අපොහොසත්විය.  පැරීසියේදි එය කොමියුනය විය, රුසියාවේදී එය සෝවියට් විය, ලංකාවේදී හෝ වෙනත් රටකදී එය තවත් නමක් අත්කරගන්නවා විය හැක. කවදා වුවත් කොතැනක වුවත් කුමන නමකින්  වුවත් පොදු ජන අරගලය සංවිධාන ආකෘතියක් ගැනිම ස්වභාවිකව සිදුවෙයිි.  එහෙත් ජාත්‍යන්තර විප්ලවීය ව්‍යාපාරය විසින් සෘජුව සපයා ඇති  අත්දැකීම් උකහා ගනිමින් පෙර සූදානම්වීම අතපසුවීම් හා වැරදි සිදුවිම් වලින් අපව වළක්වනවා ඇත. 
3.   ”විප්ලවය, විප්ලවවාදීන්  විසින්ම කළ හැකිය යන අදහස දැරීම  කොමියුනිස්ට්වාදීන් විසින් කරන ලද වඩාත්ම හා මහත්ම අනතුරුදායක  වැරදිවලින් එකකි. ඊට ප‍්‍රතිකූලව, ජයග‍්‍රාහී විමට නම්, සියළු වැදගත් විප්ලවිය ක‍්‍රියාකාරිත්වයන් විසින් ඉල්ලා සිටින්නේ විප්ලවවාදීන්ට,  සැබෑ වශයෙන් බලවත් හා ඉදිරිගාමි පංතියේ පෙරමුණු බළ ඇණියේ කාර්යභාරයෙන්  කොටසක් පමණක් ඉටුකළ හැකිය යන අදහස අවබෝධකරගැනීම සහ ක‍්‍රියාවට නැගීමය.” 
ලෙනින්- සටන්කාමී ද්‍රව්‍යවාදයේ වැදගත්කම
1917  පෙබරවාරි හා ඔක්තොබර් අතර කාලය තුල දිගහැරෙමින් තිබුන රුසියානු විප්ලවයේ සංසිද්ධීන් දවසින් දවස, එකින් එක ගෙන සියුම් නිරික්ෂණයට භාජනය කරන්නෙකුට විප්ලවීය තත්ත්වයන් හා විප්ලවයේ බහුජන ස්වරූපය මැනවින් පැහැදිළිවෙයි.  කම්කරුවන්- කාන්තාවන් හා පිරිමි- ලක්ෂ ගණනින් සහභාගිවූ මහා වැඩවර්ජනය, යෝධ පෙළපාලිය, බොහෝවිට සොල්දාදුවන් ඒවාට සහභාගිවූයේ ආයුද ද සහිතවය. තාවකාලික ධනපති ආණ්ඩුව පත්වතිබුණේ  කරකියාගත නොහැකි බෙලහීන තත්ත්වයකටය, ආණ්ඩු පාක්ෂිකයන් සිටියේ අතරමැද වැනෙමින්ය.  කම්කරුවන්, සොල්දාදුවන් හා ගොවී ජනතාව තැනින් තැන සෝවියට් සභා හරහා  රාජ්‍ය බලය උරගාමින් සිටියහ. 17 සැප්තැම්බරය දුටුයේ  විප්ලවයේ විලි බරින් පිරි රුසියාවකි. ”මුළු පංතිය, පුළුල් ජනතාව, එක්කෝ එක එල්ලේම පෙරමුණු බළ ඇණියට ආධාරකරන, නැතහොත්, යටත් පිරිසෙයින් ඊට අනුකූලතා පූර්වක මධ්‍යස්ථභායකවත් දක්වන සහ සතුරාට ආධාර නොදෙන ස්ථාවරයක් ගන්නා තැනට ඒමට පෙර, පෙරමුණු බළ ඇණිය පමණක් තීරණාත්මක සංග‍්‍රාමයකට ඇද දැමීම හුදෙක් මෝඩකමක් පමණක් නොව අපරාධයක් ද වන්නේය” කියමින් ලෙනින් තීරණාත්මක මොහොත එළඹෙන තෙක් මහත් ඉවසිල්ලෙන් බලා සිටියේය. බුර බුරා නැගෙමින්  තිබුණ විප්ලවය පුපුරා යාමට තව අවශ්‍යවූයේ ක්ෂණික කම්පන මාත‍්‍රයකි. බොල්ෂෙවික්වරු තීරණයකට එළඹියහ. කැරලිගසා නැගීසිටිමේ කලාව එම මාත‍්‍රය ඌණපුරනයකලේය. !  විප්ලවය සහ සවිඥානක කැරලිගසා නැගීසිටිම අතර අන්‍යොන්‍ය සම්බන්ධය කියාපාමින්   විප්ලවය ජයග‍්‍රහණය කලේය.  
”පැතිරුන කෙටිකාලීන සන්නද්ධ අරගලය” සූත‍්‍රගතකිරීමේදි හා ඒ ස`දහා සූදානම්වීමේදී  ඵීප්ලවය හා කැරලිගැසිම, ඒවා අතර සහසම්බන්ධය වගේම  වෙනස්කම්ද ”අංග සම්පූර්ණත්වයෙන් යුතුව විමර්ෂණයෙහි, අධ්‍යායනයෙහි හා ප‍්‍රායෝගික පරීක්ෂණයෙහි” ජනතා විමුක්ති පෙරමුණ නියැළුනේද? හුදෙක්  වීරත්වයේ ආස්වාදජනක හැ`ගීමක් පමණක්ම වූ  ”මර්ධනයට මුහුණදීමේ” කල්තබාමවූ සූදානම  ජාත්‍යන්තර විප්ලවිය ව්‍යාපාරයේ අත්දැකීම් උකහාගැනීමෙන් එය වැළැක්වූයේද? පලල් ජනතාව විප්ලවිය පාර්ශවයට ආධාරකරන තැනට නැතහොත් ආණ්ඩුවට ආධාර නොකර මධ්‍යස්ථභාවයක් දක්වන තැනට ගෙන ඒමට  අවශ්‍ය කෙරෙන අධ්‍යාපනය ඔවුන්ට ලබාදීම හා සංවිධානයකිරීම නොකොට ප‍්‍රහාරයකට පෙළඹුනේ ඇයි? අත්දැකීම් මදකම ? විශ්ව විද්‍යාලයකටත් වැඩි දෙයක් වූ බොල්ෂෙවික් ව්‍යාපාරයක් තිබියදී අත්දැකීම් මද යැයි කිව හැකිද?
මේ,  71 අරගලය විසින්  වත්මන් හා අනාගත ලාංකීය විප්ලවවාදි ව්‍යාපාරය හමුවට යොමුකර ඇති  ප‍්‍රශ්ණ  සමුහයක් අතරින් වැදගත් ප‍්‍රශ්ණ කිපයකි. 

ඒඞීපී. රත්නායක 
  





No comments:

Post a Comment

Featured Post

අධ්‍යාපනය අයිතියකි ! විකිණීම සඳහා නොවේ !

දකුණු ආසියාතික තාක්ෂණික හා වෛද්‍ය ආයතනය (සයිටම්-  SAITM, The South Asian Institute of Technology and Medicine)    2008 ඔක්තෝබර් 1 දින ආයෝජ...