ලංකාවේ ණය අර්බුදය

 

ලිපි අංක 1- 2022 ජනවාරි

මෙය 2021 නොවැම්බර් මස විප්ලවීය සමාජවාදී කේන්ද්‍රය විසින් එහි පේස්බුක් පිටුවෙහි පළ කරන ලද්දකි. ලංකාවේ ණය අර්බුදය පිළිබඳ ඇත්ත සඟවන්නට පාලකයන්ට උවමනාය. ඔවුහු කොවිඩ් වසංගතය මත සියල්ල පටවා ඇඟ බේරා ගැනීමට කැස කවති. ගෙන ඇති ණය කන්දරාවෙන් වැඩි කොටස ගෙන ඇත්තේ පිළිගත් ජාත්‍යන්තර ආයතනවලින් හෝ ක්‍රමවේද අනුව නොව ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර ජාත්‍යන්තර මුල්‍ය වෙළඳපොලේ විකිණීමෙනි.  හිටපු   ශ්‍රීලනිප ලේකම් රෝහණ ලක්ෂ්මන් පියදාස මැතකදි කළ ප්‍රකාශයකට අනුව  එම බැඳුම්කර මිලදී ගෙන ඇත්තේ වත්මන් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ගේ සහ රාජපක්ෂලාගේ නෑ හිතවතුන් විදෙස් ගිණුම්වල සඟවාගෙන සිටින ඩොලර් වලිනි. කෙසේවුවත් ලංකාවේ ණය අර්බූදයේ ඇත්ත  කතාව තේරුම් ගැනීමට මෙම ලිපිය ඔබට ප්‍රවේශයක් සපයනු ඇත.  



   

ලංකාවේ ණය අර්බුදය 

(මේ සටහන ලිවීමේදී ආර්ථික විද්‍යාත්මක කරුණු සඳහා මූලාශ්‍රය කරගන්නේ ' ද කැපිටාල් ' නම් වෙබ් අඩවියට කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය උමේෂ් මොරමුදලි ලියා පළකළ ලිපියකි.   https://thediplomat.com/2019/05/is-sri-lanka-really-a-victim-of-chinas-debt-trap/)

කෝවිඩ් වසංගතය මේ වනවිට ලෝක ජනගහනයෙන් මිලියන හතර හමාරකට වැඩි ජනතාවක් මරුවට බිලිකර, මිලියන ගණනකට රැකියා, ජීවනෝපාය, අධ්‍යාපනය අහිමිකර මහත් පීඩාවකට  පත්කර ඇත. රැකියා අහිමිවීම, ආර්ථිකය හැකිලීයාම, ආයෝජන හා අපනයනය පහතවැටිම සහ සංචාරක ව්‍යාපාරය අඩපණවීම ආදිය අතින්  වෙනසක් නැතිව, සංවර්ධිත හා සංවර්ධනය වන රටවල˜ ආර්ථිකය වෙත දැඩි බලපෑමක් එල්ලකර ඇත. එහෙත් ඒ ක්‍රියාවලිය තුළම, එක අතකින්, කුඩා පරිමාණ ව්‍යවසායකයා බැහැරකරමින් මහා පරිමාණ ව්‍යවසායකයා අත ප්‍රාග්ධනය  සමුච්චකරණය වේගවත් කරමින් ඇත. ඖෂධ, ආහාරපාන, බීම, විනෝදාංශ, තාක්ෂණික, සංනිවේදන සහ සැපයුම් සමාගම් විශාල වශයෙන් මේ ව්‍යසනය මැද ලාබ ලබමින් සිටී.  ඇමේසන් (79%), ඊබේ (57%), ඇපල් (57%), නෙට්ෆ්ලික්ස් (52%), ඩොමිනෝ පීසා (40%),   මයික්‍රොසොෆ්ට් (34%) ආදී බහු ජාතික සමාගම්වල  කොටස් මිල විශාල වශයෙන් ඉහළ ගොස් ඇත.  අනෙක් අතට  1930 ගණන්වල සිදුවූ  'මහා අවපාතය' අවධියේ අත් දැකි විරැකියා අර්බූදයට  නොදෙවෙනි විරැකියා අර්බූදයක් ද දරිද්‍රතාවය හා අසමානතාවය උග්‍රවීමක් ද ගැන බරපතල අනතුරු ඇගවීම් කෙරෙයි. ලංකාවේ තත්ත්වය මීට වෙනස් නැත. 2021 මුල් මාස තුන තුළ කොළඹ කොටස් වෙළද පොලේ ලැයිස්තු ගත සමාගම්වල කොටස් මිල 189% න් වර්ධනය වී ඇත. රුපියල් වලින් ගත් කල එක්ස්පො ලංකා බිලියන  6.3 ක් ද එල්ඕඑල්සී බිලියන 4 ක් ද ධම්මික පෙරේරාට අයත් හේලීස් හා වැලිබල් සමාගම් බිලියන 6.4 ක් ද ජෝන් කීල්ස් බිලියන 1.2 ක් ද එන්ඩිබී බැංකුව බිලියන 5 ක් ද සම්පත් බැංකුව බිලියන 10.8 ක් ද වශයෙන් ශුද්ධ ලාභයක් ලබා ඇත. (https://www.wsws.org/en/articles/2021/08/30/prof-a30.html)

කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මාධ්‍ය හමුවේ උජාරුවෙන් කියා සිටියේ කිසිම හේතුවක් නිසාවත් ශ්‍රී ලංකාව ලොක් ඩවුන් නොකළ  යුතු බවය. මොනව වුනත්, රට වහන්නෙ නැහැ  යන ජනාධිපති ගෝඨාභයගේ මුරන්ඩු ප්‍රකාශය සමග එය සමපාත වෙයි. ලොක් ඩවුන් කිරීමෙන් ධම්මික පෙරේරාට ලාබ ගලා ඒම සීමා වනවා සේම ආණ්ඩුවේ ආදායම් ද, විශේෂයෙන් ආණ්ඩුවේ විදෙස් වත්කම් හීන වෙයි. ලොක් ඩවුන් නොවන 'ලොක් ඩවුන් ' දමාගෙන ආණ්ඩුව කරන ව්‍යාජ රංගනය පිටුපස ඇති සත්‍යය නම්  ආණ්ඩුවේ විදෙස් ණය අර්බූදය යි.  එය ව්‍යාපාරික ධම්මික පෙරේරාට වඩා  රට කරන ආණ්ඩුව වෙව්ලවාලන අර්බූදයකි.

වාහන ගෙන්වීම නැවත්වීම, රසායනික පොහොර ගෙන්වීම නැවැත්වීම, ගෑස්, කිරිපිට හිගය, සහ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළයාම ආදිය සිදු වූයේ ආණ්ඩුව මුහුණ දී තිබු ඩොලර් හිඟය නිසාය. විදෙස් ණය පියවීමට අවශ්‍ය ඩොලර් ඉතිරිකර ගැනීමට ආණ්ඩුවට  අවශ්‍ය වූ නිසාය.  කොරෝන වසංගතය  නොතිබුණත්  ශ්‍රී ලංකාව නොවැළැක්විය හැකි ලෙස  ණය අර්බුදයකට මුහුණ දෙන්නට නියමිතව තිබිණි. ඒ අනුව ලංකාවේ ණය අර්බූදය  කොරෝනා වසංගතය විසින් වඩාත් නිරාවරණය කර ඇතිවා මිස හුදෙක් ඒ හේතුවෙන් ම  උපන්නක් නොවේ.

නිදහසෙන් පසු ලංකාව සතුව රටේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ප්‍රමාණවත් ඉතුරුම් නොවූයෙන් ඒ සඳහා විදෙස් ණය ලබා ගැනීම කරා යොමුවී තිබිම එතරම් අසාමාන්‍ය නොවේ.  පළමු දසක හතරක කාලය පුරා එනම් 1990 ගණන් දක්වා ලංකාව ණය ගෙන ඇත්තේ ලෝක බැංකුව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ආසියානු බැංකුව සහ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය  වැනි ආයතනවලිනි. ණය දීමේ දි රටේ ආර්ථික කළමණාකරණය සඳහා එම ආයතන පනවන යම් යම් කොන්දේසි  අහිතරකර වුවත් ණය ආපසු ගෙවන කාලය අවුරුදු 25-40 තරම් දිගු වීමත්, ණය ගෙවීමේ දි සැලකිය යුතු ආරම්භක සහන කාලයක් හිමි වීමත්, සමහර විට පොලිය 1% ක් තරම් අඩු වීමත් යන කරුණු අනුව එම ණය සහනදායී ණය සේ සැලකිණ. මේ තත්ත්වය පවතින ආර්ථික ක්‍රියාවලිය තුළ අඩු ආදායම් සහිත රටවලට සාපේක්ෂ වාසිදායක වූ අතර විදෙස් මුල්‍ය හුවමාරු කටයුතුවල දී සැළකිය යුතු අපහසුතාවයක්  හෝ තර්ජනයක් එල්ල නොවී ය.

ණය ශ්‍රේණිගත කිරීමේ ජාත්‍යන්තර ආයතන රටවල් ශ්‍රේණිගත කිරීම විදෙස් ණය ලබාගැනීමේ දී බලපාන වැදගත් සාධකයකි. යම් රටක ණය ගෙවීමේ හැකියාව සම්මත නිර්ණායකයන් මත තක්සේරුකර වාර්ෂිකව වාර්තා කිරීම එම ආයතනවල කාර්යය යි. ණය සපයන ජාත්‍යන්තර ආයතන සහ රටවල් ද විශේෂයෙන් ආයෝජකයන් ද යම් රටකට ණය සැපයීමේ දී හෝ  ආයෝජනය කිරීමේ දී එහි ඇති අවදානම සළකා බලන්නේ ඉහත කී ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් එම රට සම්බන්ධයෙන් නිකුත් කරන වාර්තා පදනම් කරගෙන ය. රටක ශ්‍රේණිය අනුව ණය සැපයීමේ දී පොලී අනුපාතය, ආපසු ගෙවීමේ කාලය සහ වෙනත් කොන්දේසිවල ස්වභාවය වෙනස් වෙයි. ලෝක බැංකුව ණය නිකුත්කිරීමේ දි  පහළ, පහළ-මැද, ඉහළ- මැද සහ ඉහළ, ලෙස ශ්‍රේණි හතරක් සැලකිල්ලට ගනී. 

1997 දී ලංකාව පහළ ආදායම්ලාභි තත්ත්වයේ සිට ඊට මදක් ඉහළ  පහළ- මැද ආදායම්ලාභි ශ්‍රේණිය කරාත් 2019 ජුලි මස දි ඉහළ- මැද ආදායම්ලාභි තත්ත්වය කරාත් නැවත 2020 ජුලි මස දී පහළ මැද ආදායම්ලාභි තත්ත්වය කරාත් වරින් වර ඉහළ පහළ දමා ඇති ආකාරය පෙන්නුම් කරයි. මේ තත්ත්වය හේතුවෙන්  පිළිගත් ජාත්‍යන්තර ආයතන වෙතින් ලංකාවට ණය ලබාගැනීම ගැටලුකාරීවූයෙන් ණය ලබා ගැනීමේ විකල්ප මාර්ග සොයා යාමට ආණ්ඩු ක්‍රියාකර ඇත.

ලංකා ආණ්ඩුව ප්‍රථම වරට 1997 දී පාවෙන අනුපාත නෝට්ටු ක්‍රමයක් ( Floating Rate Note) හරහා ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළෙඳපොල වෙත බැදුම්කර නිකුත්කර ඇ.ඩො.මිලියන 50 ණය මුදලක් ලබා ගෙන ඇත. පසු කාලයේ රටේ වර්ධනය වෙමින් පැවති යුද තත්ත්වය හා ආර්ථික ඇණහිටීම් හේතුකරගෙන එය අඛණ්ඩව කරගෙන යාමට නොහැකිවී ඇත.  එහෙත්  විදෙස් ණය ගැනීම මුළුමනින්ම වෙනස් හැරවුමක් ගන්නේ මහින්ද රාජපක්ෂ පාලනය යටතේය. 2007 දී එය ලෝක ප්‍රාග්ධන වෙළඳපොල වෙත   ජාත්‍යන්තර ස්වෛරී  බැදුම්කර ( International Sovereign Bond -ISB) නිකුත්කර ණය  ලබා ගැනීමට කටයුතු කළේ ය. එම ණය වසර  5 න් කල් පිරෙන, වාර්ෂික පොලිය 8.25% යටතේ ඩො.මි.500 කි.   2009, 2010, සහ 2011 වසරවල දි පිළිවෙලින් ඇ.ඩො.මි.  500, 1000 සහ 1000 බැගින්  එම ක්‍රමයට ණය ලබා ගැනීමට රාජපක්ෂ පාලනය ක්‍රියාකර ඇත. 2017 වන විට මුලු විදේශ ණය ප්‍රමාණයෙන් 39% ක් ම 2007 සිට ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළදපොළෙන් බැදුම්කර මගින් ලබාගත් ණය විය. එහි මුඛ්‍ය අරමුණ දේශිය රුපියල් වෙනුවට ඩොලර්වලින් ණය ගැනීම සහ එමගින් විදෙස් වත්කම් ඉහළ දමාගැනිම ය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වැනි ආයතන වලින් ලබාගන්නා  ණය සහ බැදුම්කර විකුණා ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළද පොළෙන් ලබා ගන්නා ණය අතර ඇති වෙනස කුමක් ද?  පසු කී ක්‍රමය රටක ගෙවුම් ශේෂය  (balance of payments) කෙරෙහි දැඩි බලපෑමක්  එල්ල කරයි. ඒ එම ණය ක්‍රමයෙහි අන්තර්ගත විශේෂිත ස්වරූපය නිසා ය. එම ණය වාණිජ ගනුදෙනු ස්වරූපයේ ණය ය. අය කරන වාර්ෂික පොලිය 8% ක තරම්  ඉහළ අගයකි. අවුරුදු 5-10 වැනි   කෙටිකාලීන ණය ය.  ගෙවීමේ සහන කාලයක් නැත. ලෝක බැංකුව වැනි ජාත්‍යන්තර ආයතන පනවන වර්ගයේ කොන්දේසි කිසිවක් බැදුම්කර මත ණය සැපයීමේ දී  ණය සපයන්නන් විසින් ඉදිරිපත් කරනු නොලබයි. ඔවුන්ට උවමනා දුන් මුදල පොලිය සහිතව නිරූපද්‍රිතව ආපසු ලැබීමේ සහතිකය පමණි. මෙවැනි ණය ලබා ගැනීමට ආණ්ඩු ද වැඩි කැමැත්තක් දක්වයි. ඒ  ණය සපයන්නන්ගේ තෙරපුමෙන් බේරී සිටීමට ඉඩ ලැබෙනවා වගේම දේශපාලන අරමුණු වෙනුවෙන් තමන්ට රිසිසේ එම ණය ආයෝජනය කිරීමට ඉඩ ලැබෙන නිසාය. එහි තේරුම  ආර්ථික   විනයකින් බැහැර වූ නිදහස්වාදී හා දේශපාලනමය හස්තයක පාලනයට ආර්ථිකය නතු වීමය. බැදුම්කර මගින ගන්නා ණය ක්‍රමයේ වැදගත්ම  හා  අවදානම් සහගත කරුණ නම් ණය වාරික වශයෙන් නොව, කල්පිරුන විට එකවර මුළු ණය ප්‍රමාණය ම ගෙවා දැමිය යුතු විම ය. 

එකවර ණය ආපසු ගෙවීමේ දී විදෙස් මුදල් විශාල ප්‍රමාණයක් එකවර පිටතට ගලා යෑමෙන් විදෙස් සංචිතවල  තුලනාත්මක බව බිඳී ගොස් මුල්‍ය හුවමාරුව දුෂ්කර හා අනතුරුදායක තත්ත්වයට පත්වෙයි.   සෟජු විදෙස් ආයෝජන අඛණ්ඩව හා විශාල වශයෙන් ගලා නො ඒ නම්,  ගත් ණය යෙද වු ව්‍යාපෘති   රටේ ආර්ථික වර්ධනයට මහත් ආධාරයක් නොවේ නම්, එසේම  රටේ  විශිෂ්ට මුල්‍ය කළමනාකරණයක් සිදු නොවේ නම් ජාත්‍යන්තර ණය බැදුම්කර එකවර ගෙවන්න සිදුවිමෙන්  ආර්ථිකය මහත් දුෂ්කරතාවයකට පත්වෙයි. කොටින්ම ඩොලර් පිටතට ගලාගෙන යන වේගයට හා ප්‍රමාණයට ඩොලර් ඇතුලට ගලා නොඑයි. පෙර ගත් ණය ගෙවීමට පවා නැවත නැවතත් ණය ගැනීමට  සිදුවෙයි. එවිට නිර්මාණය වෙන්නේ ඩොලර් සොයා දසත දුවයන සංත්‍රාසය දනවන ණය අර්බූදයකි.   

චීන ණය උගුල ලෙස හඳුන්වන සංසිද්ධිය ද අපේ ණය අර්බුදය තවත් උත්සන්න කරන ලද සාධකයක් මිස එහි තනි  නිර්මාපකයා නොවේ.  2008 - 2012 අතර මුළු විදෙස් ණය ප්‍රමාණයෙන් චීන ණය 60% පමණ විය. චීනයෙන් ණය ගැනීම, ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළෙඳපොළට ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර නිකුත්කර ණය ගැනීමට සමානය. ආණ්ඩු ණය ගැනීමට  පෙළඹෙන  පසුබිම ද සමානය. රටේ ආර්ථික ප්‍රතිපත්ති, කළමනාකරණය පිළිබඳ බලපෑම් කරන කොන්දේසි කිසිවක් චීනය වෙතින් ඉදිරිපත් වන්නේ නැත. ණය ලාභී රටේ තිරසර ආර්ථික  සංවර්ධනයට යෝජිත ව්‍යපෘතින් කොතෙක් ඉවහල් වන්නේද යන කරුණ ඊට අදාළ නැත. එසේ වුවත් චීනයේ අනාගත අභිලාෂයට සමහර ව්‍යාපෘතීන් කොතරම් වාසි සහගත ද (හම්බන්තොට වරාය සහ පොදු වශයෙන් ලංකාව චීනයේ නව සේද මාවත ව්‍යාපෘතිය යටතට ගැනෙයි) යන්න  සලකා බලයි. ආණ්ඩු විසින් ඉදිරිපත් කරන  ව්‍යාපෘතී යෝජනා, අධ්‍යයනය කර, තක්සේරු කර ගිවිසුම් ප්‍රකාරව චීනය ණය නිකුත් කරයි. පාලකයන්ට, නිලධාරීන්ට සහ තැරැව්කරුවන්ට ගෙවීමට වෙන්කර ඇති  අල්ලස් හා කොමිස් මුදල් මේ ණය මුදලට ඇතුළත් බව ප්‍රකට කරුණකි. ඇමති බිරින්දැවරුන් අටවාගත් නාමික පදනම්වලට චීනයෙන් මුදල් මිලියන ගණන් බැරව තිබූ බවට ප්‍රසිද්ධ වාර්තා තිබේ. ඒ නිසා ලෝක බැංකුව වැනි ජාත්‍යන්තර ආයතනවලින් ණය ගැනීමට වඩා චීනයෙන් ණය ගැනීමට පාලකයෝ හා නිලධාරීහු වැඩි උනන්දුවක් දක්වති. අමතරව කලාපිය හා ජාත්‍යන්තර දේශපාලන පෙළගැස්ම එම ණය ගැනීම කෙරෙහි බලපා ඇති තවත් වැදගත් සාධකයක් වන අතර ඒ හේතුවෙන් ලංකාවේ ණය අර්බූදය මුල්‍යමය ස්වභාවයෙන් ඔබ්බට ගිය දේශපාලන ගැටළුවක් බවට ද පත්ව ඇත.

ලංකාවේ ණය අර්බූදය විශේෂයෙන් රාජපක්ෂ රෙජිමයේ දෘෂ්ටිවාදීමය හා ආර්ථිකමය උපාය මාර්ගය සමග සෘජු ලෙස සම්බන්ධ ය. දේශීය වශයෙන් වාසි සහගත ලෙස දේශපාලන බලවේගය හැඩගස්වා ගැනීම අරමුණු කරගත් ප්‍රචාරකවාදයට නැඹුරු ව්‍යාපෘති හඳුන්වා දීම වෙනුවෙන් ණය යොදා ගැනීම රාජපක්ෂ රෙජිමයේ ක්‍රමය වී ඇත. හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපොල, සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය, රන්මිණිතැන්න ටෙලි ගම්මානය (මේ සියල්ල රාජපක්ෂ ඡන්ද බල ප්‍රදේශයට අයත් ය) සහ නෙළුම් කුලුන වැනි දේ එවැනි ව්‍යාපෘති ය. අනාගතයට බාධාවක් නොවන සේ වර්තමානය නගා සිටුවීමේ තිරසර ආර්ථික සංකල්පයට ඒවා සම්පූර්ණයෙන් පටහැනි ය. අනෙක් අතට  ලෝක බැංකුව හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල බැහැරකර ඇති බව මවා පා  ඊනියා අධිරාජ්‍ය විරෝධයක් ආරූඩ කර ගනිමින් සිංහල ස්වෝත්තමවාදය සංතර්පනය කිරිමේ දෘෂ්ටිවාදීමය ප්‍රයත්නයක් ද ඒවායේ අඩංගු විය. 

ලංකාවේ  ණය අර්බූදය විදහා දක්වන හොඳම අවස්ථාව නම් හම්බන්තොට වරාය චීනයට පවරා දීමේ අවස්ථාවය. එය සිදුවන්නේ යහපාලන ආණ්ඩු සමයේ 2017 දී ය. බැඳුම්කර මගින් ගත් විදෙස් ණය ගෙවීම ආණ්ඩුවට තිබූ ලොකුම ගැලුවකි. හම්බන්තොට වරාය හැදීමට ගත් ණය ගෙවීමට නොහැකි නිසා එය චීනයට පවරාදීම හැර වෙනත් විකල්පයක් තිබුණේ නැහැ කියන කතා සත්‍යයෙන් තොරය. ලංකාවේ මුළු විදෙස් ණය ප්‍රමාණයෙන් එය 5% ක් පමණ ය. එහෙත්  2019  වන විට  ගෙවිය යුතු කල් පිරුණ විදෙස් බැඳුම්කර ණය ප්‍රමාණය පමණක්  මුළු ණය ප්‍රමාණයෙන් 40% ට වැඩි විය. මෙය ආණ්ඩුවට හම්බන්තොට වරායට වඩා බැරෑරුම් ප්‍රශ්නයකි. ආණ්ඩුව සිය අයිතියෙන් 70% ක් චයිනා මර්චන්ට් හෝල්ඩින් ලිමිටඩ් සමාගමට 99 අවරුද්දකට බදු දි ඩො.බි. 1.12 ක් ලබාගෙන කළේ  අපනයන ආදායම හා සෘජු විදෙස් ආයෝජන ගලා ඒම ඇන හිටීමෙන් දුර්වල වු විදෙස් වත්කම් ශක්තිමත් කරගෙන කෙටිකාලීන විදෙස් ණය පියවීම ය.  ඇත්ත වශයෙන්ම වරාය ණය අහෝසිවී නැත, එය තවමත් ගෙවිය යුතු ණයකි.

ලංකාවේ ණය අර්බුදය හුදෙක්  'විදෙස් ණය  ගැනීම'  යන ප්‍රස්තුතයෙන් එහාට ගිය සංසිද්ධියකි. එසේ ම එය කොරෝනා වසංගතය විසින් තීව්‍ර කර ඇතිවා  මිස එය විසින් නිර්මාණය කරන ලද්දක් ද නොවේ. 'චීන ණය උගුල' යනු ද එහි උත්තේජක කාරකයක් පමණි. රටේ ආර්ථිකයේ ව්‍යුහාත්මක දුර්වලතාවන්ට පිළියම් නොකර,  එය විශේෂයෙන් පසු ගිය දසක දෙකක කාලය පුරා ආණ්ඩු දේශපාලන පැවැත්ම පමණක් සැළකිල්ලට ගෙන වැඩි වශයෙන් ලෝක ප්‍රාග්ධන වෙළෙඳ පොළෙන් වාණිජ ස්වරූපයේ  කෙටිකාලීන ණය ගැනීම හා චීන ආයෝජන කෙරෙහි නැඹුරුවීම  හේතු කොටගෙන  උත්සන්නියට පත් අර්බූදයකි. කොරෝනා වසංගතය  පාලනයට එක් පිළියමක් ලෙස රට යම් නිශ්චිත කාලයකට හෝ වසා දමන ලෙස  සෞඛ්‍ය විශේෂඥයින් කරන යෝජනා ඉදිරියේ බීරි  අලින් මෙන් පාලකයන් හැසිරුණේ තමන් අසුවී සිටින ණය උගුලෙන් මිදිමට මිනී මතින් හෝ ඩොලර්  ගලා ගෙන ආ යුතුය යන නරුම සිතුවිල්ලෙනි.

විප්ලවීය සමාජවාදී කේන්ද්රය

2022 ජනවාරි

No comments:

Post a Comment

Featured Post

අධ්‍යාපනය අයිතියකි ! විකිණීම සඳහා නොවේ !

දකුණු ආසියාතික තාක්ෂණික හා වෛද්‍ය ආයතනය (සයිටම්-  SAITM, The South Asian Institute of Technology and Medicine)    2008 ඔක්තෝබර් 1 දින ආයෝජ...