කෙටිකාලීන අන්තර් කාලීන ආණ්ඩුවක්, ද්වි බල පාලනයක් පිළිබඳ අදහස මේ වන විට අද සමාජය තුළ සංවාදයට බඳුන් වෙමින් පවත්නා කරුණකි. මෙය සංවාද භූමයට කැඳවනු ලැබ ඇත්තේ පෙසප විසිනි. මෙම සාකච්ජාව මතු වී තිබෙන්නේ පළමුව මැයි 1 වෙනි දින පෙසප ලෝක කම්කරු දින රැස්වීමේදීත් දෙවනුව මැයි 12 දින පැවති පෙසප මාධ්ය සාකච්ජාවේදීත් ඉදිරිපත් කළ මාස 6 කට නොවැඩි කෙටිකාලීන අන්තර් කාලීන ආණ්ඩුවක් හෙවත් ද්විබල පාලනයක් යන ප්රස්තුතය පදනම් කර ගෙන ය. පළමු වැන්නේ ද්විත්ව බලය එතරම් අවධාරණයෙන් සඳහන් නොවන අතර දෙවැන්නේ දී එය අවධාරණය කෙරෙයි.
දෙතැන්හිදීම අපට අසන්නට ලැබෙන්නේ මේ ආණ්ඩුව පලවා හැරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ සිටින නොසිටින සියලුම ධනේශ්වර හා වාමාංශික විරුද්ධ පාර්ශවීය දේශපාලන පක්ෂ, සංවිධාන හා කණ්ඩායම්, සිවිල් සමාජ සංවිධාන, මහජන සංවිධාන, අරගල බලවේග ඒකාබද්ධව ගොඩ නැගීමට යෝජනා තාවකාලික ආණ්ඩුවක් පිළිබඳව ය.
මෙතැන සැබෑ ගැටළුවක් පැන නගින්නේ නැති ද? රනිල් - රාජපක්ෂ ආණ්ඩුව පන්නලා හදන කෙටිකාලීන අන්තර් කාලීන ආණ්ඩුවේ සංයුතිය තුළට මතු පිටින් රනිල් - රාජපක්ෂ ආණ්ඩුවට විරුද්ධවන එහෙත් විශේෂයෙන්ම රනිල් ගෙන යන මූලික ආර්ථික ප්රතිපත්ති සමග එකඟ වන, IMF වන්දනා මාන කරන සජබය වැනි ඒවා, විමල් වීරවංශලා වැනි උග්ර මහජාතිවාදී කණ්ඩායම්, කාලයක් මුළුල්ලේ මහින්ද ගෝඨභය දූෂිත කතපයාධිපති අන්තනෝමතික කල්ලියේ කොටස්කරුවන් බවට පත්ව සිට එම කල්ලියට එරෙහිව ජනතා විරෝධය බුර බුරා නැගෙන විට ඉන් කැඩී ගොස් ව්යාජ ඝෝෂාවන් නගන වෙනත් විවිධ කල්ලි කණ්ඩායම් ඇතුළත් කර තිබීම, ඔවුන්ට මේ අන්තර් කාලීන ආණ්ඩුවට එක් වන්නැයි ආරාධනා කිරීම යමෙක් තේරුම් ගත යුත්තේ කෙලෙස ද?
අරගලය තුළ තීරණාත්මක සතුරාට එරෙහිව යම් යම් කාරණාවලට අදාළව යම් තාක් දුරකට උපක්රමික සන්ධාන ඇති කර ගන්නට සිදුවීම බැහැර කළ නොහැකි ය. නිදසුන් ලෙස ප්රති ත්රස්ත පනත, මර්දන නීති නීතිගත කිරීම, ආණ්ඩුවේ මර්දනීය ක්රියාකාරිත්වයන් වැනි ඒවා, මැතිවරණ කල් දැමීම වැනි ඒවා පරාජයට පත් කිරීම සඳහා ඒවාට එරෙහිව ඔය කියන කණ්ඩායම් සමග තාවකාලික සන්ධාන ඇති කර ගන්න කතා කිරීම ප්රශ්නයක් නොවෙයි. එහෙත් පෙසප කියන පරිදි IMF විනාශකාරී ආර්ථික වැඩපිළිවෙල, IMF මර උගුල පරදවන්න, ඇමෙරිකන්, ඉන්දියන් යටත් විජිතකරණය පරදවන්න සජිත්ලා හා සජබය එක්ක කෙටිකාලීනව හෝ සන්ධානගත විය හැකි ද? කෙටිකාලීනව සාධනය කර ගන්නට පෙසප යෝජනා කරන ජාතික පීඩනය, ජාතිවාදය අවසන් කරන නීති රීති ඇතුළත් කරන ආණ්ඩුක්රම ව්යවස්ථාවක් විමල් වීරවංශලා, ගම්මන්පිලලා, චම්පික රණවකලා, ඕමල්පේ සෝභිතලා වැනි කණ්ඩායම් සමග සාධනය කර ගත හැකි ද? එවන් උත්සාහයක් කොතෙක් දුරට යථාර්ථවාදී හා ප්රායෝගික වේ ද?
පෙසප යෝජනා කරන අන්දමට අන්තර් කාලීන ආණ්ඩුවක් හෝ ද්විබල පාලනයක් කිසියම් පක්ෂයක, පක්ෂ සංවිධාන ආදියේ එකතුවක න්යාය පත්රයකට සැලසුමකට අනුව බිහි කළ හැක්කේ නොවේ. ඒවායේ බිහි වීම හා පැවතීම තීරණය වන්නේ පංති අරගලයේ විෂයබද්ධ හා මනෝබද්ධ තත්ත්වයන්ගේ වර්ධනයේ මට්ටම මත ය. නිදසුන් ලෙස රුසියාවේ බොල්ෂෙවික් පක්ෂයේ පළමු වැඩපිළිවෙලේ දිගු කාලීන වැඩපිළිවෙල සමාජවාදය සඳහා වූ වැඩපිළිවෙලක් වූ අතර කෙටිකාලීන වැඩපිළිවෙල වූයේ සාර් පාලනය පෙරළා දමා ඇති කරන කම්කරුවන්ගේ ගොවියන්ගේ විප්ලවීය ප්රජාතන්ත්රවාදී ආඥාදයකත්වයකි. ආණ්ඩුවකි.
එහෙත් 1917 පෙබරවාරි විප්ලවයේ දී සාර් පන්නා දැමීමේ හදිසි දේශපාලන කාර්යභාරය මුදුන් පමුණවා ගත්ත ද බිහි වූයේ කම්කරුවන්ගේ ගොවියන්ගේ විප්ලවීය ප්රජාතන්ත්රවාදී ආණ්ඩුවක් නොව ධනපති ආණ්ඩුවකි. නිලබල ආණ්ඩුව වූයේ එයයි. එහෙත් නිලබල ආණ්ඩුවට පිටතින් නොනිල අඩවිය තුළ කම්කරුවන්ගේ, සෙබළුන්ගේ හා ගොවියන්ගේ සෝවියට් සභා හරහා කම්කරුවන්ගේ ගොවියන්ගේ විප්ලවීය බලයක් පැන නැගින. නිලබල ආයතන පවා නිලබල ආණ්ඩුවේ නියෝග නොව සෝවියට් සභා නියෝග පිළිපදින තත්ත්වයක් ඇතිව තිබිණ. රුසියාවේ ද්විබල පාලනය නැතිනම් ද්විත්ව බලය හට ගැනුණේ එසේ ය. එය සැලසුමකට අනුව සිදු වූවක් නොවේ.
ද්විත්ව බලය සම්බන්ධ යම් මූලරූපීය නිදසුනක් පසුගිය ජන අරගලය තුළ දී ලංකාවේදී ද දැකිය හැකි විය. අගමැතිට අගමැති ධූරය ද ජනාධිපතිට ජනාධිපති ධූරය ද අත් හැර පලා යන්නට සිදු විය. නිලබල ආණ්ඩුවට පිටතින් ජනතා බලයක් යම් දුරකට ක්රියාකාරී වෙමින් තිබිණ. අගමැති, ජනාධිපති බලය හැර දා පලා ගියේ එම ජන බලය නිසා ය. එහෙත් අගමැති ජනාධිපති ධූර අත්හැර පලා ගිය ද පාලක රෙජිමය බිඳ වැටුණේ නැත. පාලක රෙජිමය පෙරළා දැමීමට තරම් ජන අරගලය, ජන බලය ශක්තිමත් වූයේ ද නැත. "මහජන කවුන්සිලයක්", "දියවන්නාවෙන් පිටත ජනතා බලයක්" වැනි දේ ගැන සාකච්ඡා ඇති උන ද ඒවා ප්රායෝගික යථාර්ථයන් බවට පත් කිරීමට අරගලය සමත් වූයේ නැත. ඒ නිසා අරගලකරුවන්ට ඒ නිශ්චිත වටාපිටාව තුළ පාර්ලිමේන්තු විපක්ෂය ද ඇතුළත් අන්තර් කාලීන ආණ්ඩුවක් යෝජනා කරනවා හැර වෙනත් ප්රායෝගික විකල්පයක් නොතිබුණි. එදා අන්තර් කාලීන ආණ්ඩුවක් පිළිබඳ අරගලකරුවන් අතර එකඟතාවක් හට ගැනුණේ එවන් තත්ත්වයක් තුළ ය.
පෙසප මෙම වැඩපිළිවෙල ඉදිරිපත් කරන්නේ ප්රධාන කොටම අද දවසේ ජන අරගලය බිමේ ජන අරගලයකට වඩා මැතිවරණ අරගලයට කේන්ද්රගත කර තිබෙන හා හුදෙක් ඒ පස්සේ හඹා යන ජවිපෙ/ජාජබ වැඩපිළිවෙලට ප්රතිපක්ෂව බව පැහැදිලි ය. කුමාර් ගුණරත්නම් - පෙසප ප්රධාන ලේකම් සහෝදරයා කියනවා "අපට ප්රතිඵල ගෙනාපු, අපට ඇත්ත ප්රතිඵල ගෙනාපු, අභ්යාස කරපු, ජයග්රහණය ලබපු අරගලය ගැන විශ්වාසය නොතියා මේ රනිල්-රාජපක්ෂලා දෙන ඡන්ද ගුණ්ඩුව පස්සේ යන්න එපා. මේක ජනතාව පාවාදීමක්. ඒ නිසා.... අරගලය ගැන විශ්වාසය තියලා වැඩ කරමු." කියලා. ඒක හරි. පවතින සන්දර්භය තුළ මැතිවරණ බිමේ අරගලයක් තිබුණාට පාලකයන්ට එරෙහිව කළ යුතුව තිබෙන සැබෑ අරගලය තියෙන්නේ මැතිවරණ බිමේ නොවෙයි ප්රධාන කොටම ජනතා අරගල බිමේ. ඒක හරි. එහෙත් අරගලයේ පවත්නා තත්ත්වයන් හා ඉදිරි වර්ධනයන් පිළිබඳව ප්රමාණවත්ව කෙරෙන ආසන්න වාස්තවික (සංයුක්ත) කිරා මැන බැලීමකින් තොරව කෙටිකාලීන අන්තර් කාලීන ආණ්ඩුවක්, ද්විබල පාලනයක් පිළිබඳ වැඩපිළිවෙලවල් ඉදිරිිපත් කිරීම කොතෙක් දුරට සංයුක්ත හා යථාර්ථවත් වන්නේ ද යන්න ප්රශ්නකාරී ය.
විප්ලවීය සමාජවාදි කේන්ද්‍රය
No comments:
Post a Comment