විප්ලවීය මහජන ආණ්ඩුවක් සඳහා සටන් වදිමු!


ලංකාවේ වත්මන් දේශපාලන ආර්ථික තත්ත්වයෙහි විශේෂ ලක්ෂණය වන්නේ

කොමිස්, අල්ලස්, දූෂණ හා ජාවාරම් ආදිය මගින් ධනය උපයා ගන්නා එකසේ

දූෂිත දේශපාලක ධනපති පංතියක, ගජ මිතුරු ජාවාරම්කාර ධනපති පංතියක

හා ප්‍රබල නිලධර ධනපති පංතියක ඓන්ද්‍රිය සංයුතියකින් තැනුන කතපයාධිපති

බල කල්ලියක අත්තනෝමතික දේශපාලන හා ආර්ථික බල ග්‍රහණයකට රටත්

ජනතාවත් නතුව තිබීම ය. එමෙන්ම එකී පාලනයන් තම ආර්ථික හා බල

උවමනාවන්ට අනුව එක්සත් ජනපදය, ඉන්දියාව හෝ චීනය වැනි ලෝක

බලවතුන්ගේ ආර්ථික හා බල වුවමනාවන් සමග ඈඳෙමින් රටේ ආර්ථික මෙන්ම

දේශපාලන ස්වාධීනත්වය ද බරපතල අන්දමින් උගසට තබා හෝ තබමින් තිබීම

ය.


රටෙහි අති මහත් ණය කන්දක් නිර්මාණය කර ඇති මෙම පාලක කල්ලිය රාජ්‍ය

දේපළ ඇතුළු රටේ සම්පත් සියල්ලම පාහේ සිය පංතියේ හා තන්ත්‍රයේ

ඒජන්තයින් ද දූෂිත විදෙස් සමාගම් හා පුද්ගලයින් ද අතට පත් කිරීමේ

ක්‍රියාවලියක් මගින් රටේ ආර්ථික හා දේශපාලන ස්වාධීනත්වය මුළුමනින්ම

පරදුවට තබා තිබේ.

එලෙසම මනුෂ්‍ය වර්ගයාගේම පැවැත්මේ කේන්ද්‍රීය පදනම් සාධකය වන සොබා

දහම - පරිසරය මේ කොල්ලකාරී ධනපති කල්ලියේ හා හෙංචයින්ගේ දරුණු

විනාශකාරී සූරාකෑමකට පාත්‍ර කරනු ලැබ තිබේ.

මෙම දේශපාලන හා ආර්ථික බල ග්‍රහණය යටතේ පෙර නොවූ විරූ

සීඝ්‍රතාවයකින් ඇති නැති පරතරය ද ආදායම් විෂමතාව ද වර්ධනය කොට හා

වර්ධනය කරමින් තිබේ. රැකියා සුරක්ෂිතතාව බිඳ වැටෙමින් තිබෙන අතර

රැකියා නියුක්තිකයින්ගෙන් වැඩි දෙනා විධිමත් රැකියා කරන්නන්ට වඩා

අවිධිමත් රැකියා කරන්නන් ය. ඔවුහු වඩාත් දරුණු සූරාකෑමකට ගොදුරු වන

අතර දැඩි ආර්ථික අනාරක්ෂිතභාවයක ගිලී සිටිති. නාගරික දුප්පතුන් සීඝ්‍රයෙන්

වැඩෙමින් පවතින අතර ග්‍රාමීයව ගොවීන්, ධීවරයින් ඇතුළු සුළු නිෂ්පාදකයින්

විශාල වශයෙන් විනාශයට පත් වෙමින් තිබේ. අලුතෙන් ශ්‍රම බලකායට

එකතුවන්නන් ආර්ථික ක්‍රියාවලියට උකහා ගැනීමේ මාර්ග නොමැත. මේ සියලු

දෙනා නොනැවතී නැත්තන්ගේ ගොඩට ඇද දමමින් තිබේ. විශේෂයෙන්ම වැවිලි

ප්‍රජාව ගත් කල කඳුරට වැවිලි කම්කරුවන් දරුණුතම සූරාකෑමකට පත්කර ඇති

අතර ඔවුන්ගේ දරුවන් විශාල වශයෙන් නැත්තන්ගේ ගොඩට ඇද දමමින් තිබේ.

මෙලෙස නැගී වර්ධනය වන නැත්තන්ගෙන් සැලකිය යුතු පිරිසක් සමාජ


දුරාචාරයේ ක්‍රියාකාරී බලවේගයක් වන ලුම්පන් හෙවත් පාදඩ නිර්ධන පංතියක්

බවට පත් කරමින් තිබේ.

මෙවන් තත්ත්වයක් හා පාලනයන් ප්‍රමුඛ ප්‍රපංචයක් වශයෙන් පැවැත්මට එන්නේ

විශේෂයෙන්ම 1977 බලයට පත් ජේ. ආර්. පාලනය මෙරටට හඳුන්වා දෙන ලද

නව ලිබරල්වාදී ආර්ථික හා දේශපාලන උපාය මාර්ගයත් සමග ය. මෙම

දේශපාලන හා ආර්ථික බල ග්‍රහණයේ නෛසර්ගික ලක්ෂණ වී ඇත්තේ අන්ත

දූෂිත, පරපුටු ගජමිතුරු ජාවාරම්කාර ධනවාදයක් හා එය පවත්වා ගෙන යන

ධනපති පංතියක් නඩත්තු කිරීම ය. අල්ලස, දූෂණය හා මත් ද්‍රව්‍ය ජාවාරම්

ආර්ථිකයේ ප්‍රධාන සංඝටකයන් බවට පත් කිරීම ය. මුදුනේ සිට බිම් මට්ටම

දක්වා ක්‍රියාකාරී දූෂිත ජාවාරම්කාර ලුම්පන් දේශපාලන තන්ත්‍රයක් පෝෂණය

කිරීම ය. මේ යටතේ කුමන පාලනයක් බලයට ආව ද මෙම දේශපාලන හා

ආර්ථික බල ග්‍රහණය නිරුපද්‍රිතව පැවතීම ය.

අද ලාංකීය ජනතාවගෙන් අති බහුතරය එනම් කම්කරු පංතිය, ගොවි ජනයා,

ධීවර ජනයා ඇතුළු වැඩ කරන ජනතාව ද, සුළු නිෂ්පාදකයින්, ව්‍යවසායකයින්

හා වෘත්තිකයන් ආදී පහළ මැද පංතික කොටස්වලට අයත් ජනතාව ද, ස්ත්‍රීන්,

තරුණ ජනයා, ශිෂ්‍යයින්, බුද්ධිමතුන්, කලාකරුවන් ආදී වශයෙන් වන සමාජ

බලවේග ද, සුළුතර ජාතික හා ආගමික ජන කොටස් ද ආදී වශයෙන් සුවිසල්

බහුතරයක් මේ දේශපාලන ආර්ථික බල ග්‍රහණයේ බරපතල වින්දිතයින් බවට

පත් කරනු ලැබ තිබේ. එමතු නොව මේ කතපයාධිපති බල කල්ලියේ සීමාවෙන්

පිටත ඉන්නා ඇතම් මැද පංතික හා ධනපති පංතික කොටස් පවා ද මෙම

දේශපාලන ආර්ථික බල ග්‍රහණයේ වින්දිතයින් බවට පත් සිටින අයුරු දැකිය

හැකි ය.

ස්ත්‍රීන් ගත් කල ඔවුන්ට ජීවන මාර්ග අහිමි කෙරෙමින් හා ආර්ථික ජීවිතයේ

වඩාත්ම දැඩි පීඩිතයින් බවට පත් කෙරෙමින් තිබෙනවාට අමතරව ඔවුන් මත

ඔවුන් ස්ත්‍රීන් වීම නිසා පටවා ඇති පීඩනය හා වෙනස් කොට සැලකීම තීව්‍ර කෙරී

තිබේ. ඔවුන්ට එරෙහිව කෙරෙන ලිංගික බලහත්කාර ද ළමා අපචාර ද විශාල

වශයෙන් වැඩෙන වාතාවරණයක් නිර්මාණය කර තිබේ.

තිස් අවුරුදු යුද්ධයකට පසුත් කුඩා ජාතික ජන කොටස් මත ඔවුන් අන්‍ය ජාතික

වීම නිසා ජාතිකමය වශයෙන් පටවා ඇති පීඩනය හා මර්දනය අහෝසි කිරීමට

ක්‍රිය කරනවා වෙනුවට ඒවා උත්සන්න කරමින් තිබේ. අතොරක් නැතිව මහ

ජාතික හා මහ ආගමික ස්වෝත්තමවාදයන් පෝෂණය කරමින් ද ජාතීන් හා

ආගමික ජන කණ්ඩායම් අතර ජාතිභේදවාදය හා ආගම්භේදවාදය පතුරුවමින්

ද ඒවා පාලක කල්ලිවල පැවැත්ම සඳහා යොදා ගැනීම සුලභ භාවිතයක් බවට

පත් කර තිබේ.


වැඩෙන ආර්ථික අර්බුද හමුවේ භාණ්ඩ මිල හා ජීවන බර දැරිය නොහැකි සේ

ඉහළ නැගේ. අති බහුතරයක් ජනයාගේ කුසට අහර නැත. මන්දපෝෂණය

සීඝ්‍රයෙන් වැඩේ. ලෙඩ රෝග පැතිරේ. රෝහල්වල පමණක් නොව ඖෂධහල්වල ද

අත්‍යවශ්‍ය බෙහෙත් නැත. ප්‍රමාණවත් තරම් වෛද්‍යවරුන්, අනෙකුත් වෛද්‍ය

සේවකයින් නැත. අන් පහසුකම් සියල්ල ද කැපේ. රජයේ වගකීමක් වන සමාජ

සුබ සාධනය කපා දමමින් හා ඒවා සම්බන්ධ වගකීම් අත්හරිමින් තිබෙන අතර

අධ්‍යාපනය, සෞඛ්‍යය, ප්‍රවාහනය, පරිසරය, සංස්කෘතිය හා මානව සබඳතා යන

සියල්ල සිත් පිත් නැති වෙළෙඳපොළ නියාමයන්ගේ අණසක යටතට පත් කර

තිබේ.

වෘත්තීය අයිතිවාසිකම් විශාල වශයෙන් කප්පාදු කිරීමේ නීති රීති පනවමින්

තිබෙන අතර විවිධ ක්‍රමවිධි හරහා වෘත්තීය සංගම් ඇතුළු ජන සංවිධානවල

ක්‍රියාකාරිත්වය අඩපණ කරමින් ද ඒවායේ කේවෙල් කිරීමේ හා සටන් කිරීමේ

ශක්තිය බිඳ දැමීමට පියවර ගනිමින් ද තිබේ.

ප්‍රති ත්‍රස්ත පනත වැනි ඝෝර මර්දන අන පනත් තව දුරටත් නීති පොත්වලට

ගෙන එමින් රාජ්‍යයේ මර්දනීය ස්වරූපය ඉහළ නැංවීම හා අයිතිවාසිකම් උදෙසා

කෙරෙන සියලු ජනතා විරෝධතා, උද්ඝෝෂණ හා අරගල පාගා දැමීම පෙර නොවූ

විරූ තත්ත්වයකට ඔසවා තිබේ. ආණ්ඩුවේ දේශපාලන න්‍යාය පත්‍රයේ මුලටම

ගෙනවිත් තිබෙන්නේ පළමුවත් මර්දනය, දෙවනුවත් මර්දනය හා තෙවනුවත්

මර්දනය යන්න ය.

පාර්ලිමේන්තුව උක්ත ධනපති පංතික කතපයාධිපති කල්ලියේ බලධාරී

නියෝජිතයා වන විධායක ජනාධිපතිවරයාගේ අතේ නැටවෙන මෙවලමක් බවට ද

අධිකරණයේ සාපේක්ෂ ස්වාධීනත්වය බිඳ දමා එය පවතින පාලක කල්ලියේ

මර්දනීය හස්තයක් බවට ද ස්වාධීන කොමිෂන් සභා ආණ්ඩුවේ බළල් අත් බවට

ද පත් කරමින් තිබේ. පැවති සීමිත පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පවා බිඳ දමා

පාර්ලිමේන්තුව දූෂිතයින්ගේ තිප්පොලක් බවට ද පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය

ඔවුන් අත නැටවෙන විගඩමක් බවට ද පත් කර තිබේ.

රටත් ජනතාවත් මේ තත්ත්වයන්ගෙන් ගොඩ ඒමට නම් මෙම අන්ත දූෂිත

ධනපති පංතික කතපයාධිපති බල කල්ලියේ අත්තනෝමතික දේශපාලන හා

ආර්ථික බල ග්‍රහණයෙන් විමුක්ත විය යුතුම ය. ප්‍රථම කොන්දේසිය මෙම

කල්ලිය විසින් අභ්‍යාස කරමින් තිබෙන දේශපාලන ආධිපත්‍යයෙන් විමුක්ත වීම

ය. ඉන් විමුක්ත නොවී එය අභ්‍යාස කරන ආර්ථික ආධිපත්‍යයෙන් විමුක්ත වීම

ගැන සිතන්නටත් නොහැකි ය.

මේ විමුක්ත වීමෙ සඳහා සමාජවාදීන් වන අප යෝජනා කරන්නේ විප්ලවීය

මහජන ආණ්ඩුවකි. එය හුදෙක් මේ බල කල්ලියේ ආණ්ඩුව පෙරළා දමා

ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ ඇති කිරීමට පමණක් තමාව සීමා කර ගන්නා එකක්


නොවේ. නිර්ධන පංතියේ හදිසි පොදු ඵල ප්‍රයෝජන හා සමාජවාදය සඳහා වන

එහි අරගලයේ අනාගත ඵල ප්‍රයෝජන ද ඉටු කරනු සඳහා ය. එ් සඳහා හැකි

තරම් පුළුල් දේශපාලන නිදහසක් අවශ්‍ය වන නිසා සහ වත්මන් තත්ත්වයන් තුළ

මෙම පුළුල් නිදහස අත්කර ගත හැක්කේ විප්ලවීය මහජන ආණ්ඩුවක් හරහා

පමණක් වන නිසාත් ය.

මෙම අති දූෂිත ධනපති පංතික කතපයාධිපති බල කල්ලියේ වත්මන් විධායක

කලමනාකාර මඩුල්ල වන රනිල් - පොහොට්ටු රෙජිමය පන්නා දමා රටත්

ජනතාවත් විමුක්ත කිරීම සඳහා කතා කරන විවිධ පෙළ ගැසීම් අපට දක්නට

ලැබේ. මෙයින් දැනට ධනපති විකල්පයක් වශයෙන් මතුව තිබෙන්නේ සජබය ය.

එහෙත් කිසිදු ධනපති විකල්පයකට පවතින දේශපාලන හා ආර්ථික පිළිවෙතින්

හා ආධිපත්‍යයෙන් රටත් ජනතාවත් විමුක්ත කළ නොහැකිය යන්න අභියෝග කළ

නොහැකි අත්දැකීම් අපට පෙන්වා දෙයි. නිදසුන් ලෙස මහින්ද-ගෝඨා පාලනයන්

සේම, රනිල්-පොහොට්ටු පාලනය සේම අනාගතයේ සජිත් ප්‍රේමදාස පාලනයක්

ආවා වුව ද නිසැක ලෙසම එම පාලනයට ද දැනට ක්‍රියාත්මක වන ආර්ථික

උපාය මාර්ගයෙන් වෙන් විය නොහැකි ය. එය ඉන් වෙන් වන්නේ ද නැත. සජබ

කියන්නේ රනිල් ගෙනයන ආර්ථික උපාය මාර්ගය හරි නමුත් ආණ්ඩු කරන

ආකාරය වැරදිය කියා පමණි.

මේ සඳහා ඉදිරිපත් වන ධනපති පාර්ශවය පැත්තෙන් නොවන ප්‍රධාන විකල්ප

දෙකක් ද අප හමුවේ ඇත. ඉන් ප්‍රධාන විකල්පය ඉදිරිපත් කරන්නේ ජවිපෙ විසින්

නායකත්වය දෙනු ලබන ජාජබ ය යි. එය යෝජනා කරන්නේ හුදු පාර්ලිමේන්තු

තිසංස්කරණවාදී මාවතකි. එය ජනතාවට කියා සිටින්නේ මහ මැතිවරණයකින්

(හා/හෝ ජනාධිපතිවරණයකින්) "අපට බලය ලබා දෙන්න අපි ඔබලාගේ සියලු

ප්‍රශ්න විසඳා දෙන්නෙමු" යි කියා ය. හුදෙක් එවන් මාවතක් මගින් අද අවශ්‍ය

කෙරී තිබෙන දේශපාලන හා ආර්ථික විමුක්තිය කිසිසේත්ම අත්කර ගත හැකි

නොවේ.

අප මෙයින් කියන්නේ මැතිවරණ සටන් බිම අත්හළ යුත්තකැයි කියා නොවේ.

එහෙත් එමගින් පමණක් අද අවශ්‍ය කරන දේශපාලන හා ආර්ථික විමුක්තිය

අත්කර ගත නොහැකි බව ය. මේ මොහොතේ කම්කරු පංතිය හා ගොවි ජනයා

ඇතුළු සියලු පීඩිත ජනයා ක්‍රියාකාරීව හා සංවිධිතව මැදිහත් වන විප්ලවීය

ආණ්ඩු වෙනසකින් හා විප්ලවීය දේශපාලන හා ආර්ථික ප්‍රතිසංස්කරණ රැසකින්

මිස රටත් ජනතාවත් මේ දේශපාලන හා ආර්ථික වහල්භාවයෙන් විමුක්ත

කරවන්නට කිසිවෙකුට බැරි බව ය.

ජවිපෙ නායකත්වය දෙන ජාතික ජන බලවේගය සටන් වදින හුදු පාර්ලිමේන්තු

ප්‍රතිසංස්කරණ මාවත මගින් මෙම දේශපාලන විමුක්තිය දිනා දෙන්නට මෙන්ම

විප්ලවීය ආර්ථික ප්‍රතිසංස්කරණ සාධනය කර දෙන්නට ද හැකියාවක් නැත්තේ


පළමුව මෙම දේශපාලන හා ආර්ථික විමුක්තිය කම්කරු පතිය ප්‍රමුඛ පීඩිත

ජනතාවගේම කාර්යයක් වන නිසා ය. දෙවනුව එය බලගතු පංති සටනක් වන

නිසා ය. තෙවනුව අවශ්‍යයෙන්ම පසු බිමේ දැනුවත් සංවිධිත ක්‍රියාකාරී

පන්නරගත ජන බලයක් නොමැතිව එවැනි විප්ලවීය ප්‍රතිසංස්කරණ පාර්ලිමේන්තු

ඔලු ගෙඩිවලින් පමණක් කළ නොහැකි නිසා ය.

ඇරත් කළ යුතුව තිබෙන විප්ලවීය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට ගියහොත්

බොහෝ විට ඒවාට එරෙහිව විවිධ අරමුණු ඔස්සේ ජාජබය වටා පෙළ ගැසී

සිටින ඇතැම් බලවේගමත් නැගී සිටින්නට පුළුවන. එහෙයින් මහජන

අරගලයක් හා දැනුවත් සංවිධිත මහජන ව්‍යාපාරයක් ගොඩ නැගීමට ක්‍රියා

කිරීමෙන් තොරව හා එවන් ව්‍යාපාරයක් පසු බිමේ නැතිව හුදෙක් ජන කළකිරීම

පාදක කර ගෙන පොරොන්දු දේශපාලනය මත මැතිවරණයකින් ආණ්ඩුවක්

බිහිකර ගත්තත් එවන් ආණ්ඩුවකට අද අවශ්‍ය කරන විප්ලවීය දේශපාලන

විමුක්තියවත් විප්ලවීය ව්‍යවස්ථා හා ආර්ථික ප්‍රතිසංස්කරණවත් කිරීමේ

හැකියාවක් තිබේ යයි නොහැකි ය. මේ සඳහා ඕනෑ තරම් ජාත්‍යන්තර නිදසුන්

දැක්විය හැකි ය.

ඊළඟ විකල්ප යෝජනාව පැමිණ ඇත්තේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙනි. එය

පළමුව මේ නිශ්චිත අවකාශයේ රනිල් - රාජපක්ෂ පාලනය පැරදවීමට සජිත්ලා

වැනි කොටස් ද ඇතුළත්වන එක්සත් අරගලයක් ද දෙවනුව රනිල් - රාජපක්ෂ

පාලනය පැරදවීමෙන් අනතුරුව “පාර්ලිමේන්තුව නියෝජනය කරන නොකරන

සියලු විරුද්ධ පක්ෂ හා කණ්ඩායම්, සියලුම වාමාංශික දේශපාලන පක්ෂ හා

කණ්ඩායම්, ස්වාධීන දේශපාලන ක්‍රියාධරයින්, ගම් දනව් පුරා හැදෙමින් යන ජන

සභාවලින් සැදුම්ලත් ජන අරගලය නියෝජනය කරන කණ්ඩායම්”ආදියෙන්

තැනෙන කෙටිකාලීන අන්තර්කාලීන ආණ්ඩුවක් - ද්විබල පාලනයක් යෝජනා

කරයි. මෙම අන්තර්කාලීන ආණ්ඩුවේ/ද්විබල පාලනයේ කාර්යය ලෙස යෝජනා

කරන්නේ විධායක ජනාධිපති ක්‍රමය, පවතින මැතිරණ නීති ආදිය අහෝසිකර

නව ව්‍යවස්ථාවක් පනවා ගැනීම ය. ඉන්පසු නව ව්‍යවස්ථාව යටතේ

මැතිවරණයක් පැවැත්වීම ය. එහෙත් මෙම යෝජනා කරන කෙටිකාලීන

අන්තර්කාලීන/ද්වි බල පාලනය කොතෙක් දුරට යථාර්ථවාදී ද, යෝජනා කරන

බලවේගවල සංයුතිය අනුව යෝජනා කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ

වුව ඒ හරහා කළ හැකි ද යන ප්‍රශ්නය පැන නැගීම වැළකිය නොහැකි ය.

අනෙක් අතට ද්වි බල පාලනයක් යන්න කිසියම් දේශපාලන පක්ෂයක නැතිනම්

සන්ධානයක දේශපාලන වැඩපිළිවෙලක් මත ගොඩ නැගිය හැක්කක් නොව

නිශ්චිත තත්ත්වයක දී ඒ් ඒ් දේශපාලන හා පංති බලවේගයන්ගේ ශක්තියට

අනුව පැන නැගිය හැක්කකි. එවැනි පාලනයක ප්‍රධාන ලක්ෂණය විය හැක්කේ

එක්ව වැඩ කිරීම නොව බලයන් දෙක අතර ඇතැම් විට මාරාන්තික පවා විය

හැකි අරගලයකි. ඒ අනුව කෙටිකාලීන අන්තර්කාලීන ආණ්ඩුවකට හෝ ද්විබල


පාලනයකට අද අවශ්‍ය කෙරී තිබෙන දේශපාලන හා ආර්ථික විමුක්තිය දිනා

ගැනීමේ මාවතට පිවිසෙන්නට සංයුක්ත හැකියාවක් තිබේ ද යන්න බැරෑරුම්ව

නැගිය යුතු ප්‍රශ්නයකි.

අවශ්‍ය කරන විප්ලවීය දේශපාලන විමුක්තිය ද විප්ලවීය ව්‍යවස්ථාමය හා

ආර්ථික ප්‍රතිසංස්කරණ ද සාධනය කර ගැනීමේ විභවය ඇත්තේ ජන

අරගලයකින් එක එල්ලේ පිහිටුවනු ලබන හෝ ප්‍රබල මහජන ව්‍යාපාරයක හා

ප්‍රබල ජන අරගලයක ක්‍රියාකාරිත්වය මැදිකර ගත් වාතාවරණයක් යටතේ පවත්

වනු ලබන පාර්ලිමේන්තු මැතිවරණයක් මගින් පිහිටුවනු ලබන විප්ලවීය මහජන

ආණ්ඩුවකට - ජනරජයකට පමණි. විප්ලවීය මහජන ආණ්ඩුවක් යනු උක්ත

තෙයාකාර ධනපති පංතික කතපයාධිපති පාලනයෙන් බැට කෑමට හා පීඩනයට

පත්ව සිටින ජනතාවන් ඓන්ද්‍රිය වශයෙන් ඒකාබද්ධකර ගත් සමාජවාදී ඉදිරි

දැක්මකින් යුත් කම්කරුවන්ගේ හා ගොවියන්ගේ ආණ්ඩුවකි. මෙම ආණ්ඩුවේ

කාර්යභාරය විය යුත්තේ ප්‍රධාන කොටම:

අත්තනෝමතික බලතල සහිත විධායක ජනාධිපති ක්‍රමය ඇතුළු ප්‍රජාතන්ත්‍ර

විරෝධී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවට ජාති, ආගම්, ස්ත්‍රී පුරුෂ ආදී

වෙනස්කොට සැලකීම් පිටු දකින හා සියලු ජනතාවන් උදෙසා ප්‍රජාතන්ත්‍රීය හා

මූලික මානව අයිතිවාසිකම් සුරක්ෂිත කරන්නා වූ ද ජනතා ක්‍රියාකාරිත්වයන්ට

එරෙහි සියලු මර්දන නීති, අණ පනත් අහෝසි කරන්නා වූ ද ජනතාවගේ

පරමාධිපත්‍යයික බලය එනම් රාජ්‍ය බලය ජනතාව විසින් ස්වකීය ඡන්දයෙන්

තෝරා පත් කරනු ලබන හා ජනතාව විසින් ආපසු කැඳවනු ලැබිය හැකි මහජන

නියෝජිතයින්ගෙන් සමන්විත ව්‍යවස්ථාදායක සභාවක් අත සංකේන්ද්‍රණය කරන්නා

වූ ද විධිවිධාන ඇතුළත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පනවා ගැනීම,

පවතින පාලනයන් යටතේ ආර්ථික වශයෙන් බැටකන ජනතාවන්ගේ හදිසි

දැවෙන ආර්ථික ප්‍රශ්නවලට ආමන්ත්‍රණය කිරීම හා ආර්ථික ස්වාධීනත්වය

තහවුරු කිරීම සඳහා වන පියවර ගැනීම,

සෑම ජන කොටසකගේම ජාතික, සංස්කෘතික, විශේෂිත ආදී වෙනස්කම්වලට

ගරු කරන හා ඔවුන් අතර සමගිය හා සහෝදරත්වය සහතික කරන හා

පරිසරයේ ආරක්ෂාව සහතික කරන ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන සංස්කෘතියක්

ස්ථාපිත කිරීමට පියවර ගැනීම

සමාජය තුළ ජාතිවාදී හා ආගම්වාදී මතවාදයන් ව්‍යාප්ත කිරීමේ භාවිතයන්ට

වැට බැඳීම හා එකී මතවාදයන් ව්‍යාප්ත කරන රාජ්‍යය සතුව පවතින ආගමික

හා අධ්‍යාපන දෘෂ්ටිවාදී ආයතන පද්ධතිය විප්ලවීය ලෙස ප්‍රතිසංස්කරණය කිරීම


ආදිය ඇතුළත් විප්ලවීය දේශපාලන-ආර්ථික ප්‍රතිසංස්කරණ සහතික කරන

සංක්‍රමණීය වැඩපිළිවෙලක් ඔස්සේ ඉදිරියට යාමට තත්ත්වයන් නිර්මාණය කිරීම

ය.

අද දවසේ සියලු සැබෑ වාමාංශිකයන්ගේ, ප්‍රගතිශීලීන්ගේ හා ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ

කාර්යයන් අතර ප්‍රමුඛ කාර්යය විය යුත්තේ අන්‍යොන්‍ය වශයෙන් අත්වැල් බැඳ

ගනිමින් කම්කරු පංතිය හා ගොවි ජනයා ඇතුළු පීඩනයට හා පහර කෑමට

ලක්වන ජනතාවන් දෘෂ්ටිමය, දේශපාලනමය හා සංවිධානමය වශයෙන් මේ

කාර්යභාරය සඳහා සූදානම් කිරීමට හැකි උපරිමයෙන් ක්‍රියා කිරීම ය, ඇප කැප

වීම ය.

විප්ලවීය සමාජවාදී කේන්ද්‍රය

2023 ජූනි 10

No comments:

Post a Comment

Featured Post

අධ්‍යාපනය අයිතියකි ! විකිණීම සඳහා නොවේ !

දකුණු ආසියාතික තාක්ෂණික හා වෛද්‍ය ආයතනය (සයිටම්-  SAITM, The South Asian Institute of Technology and Medicine)    2008 ඔක්තෝබර් 1 දින ආයෝජ...