කඳු මුදුන් විහාරකරණයකිරීම මෙගලිතික සොහොන් ගොඩැලි චාරිත්‍රයේම දිගුවක්ද?


 


බෞද්ධාගමික පංසල්, වෙහෙර විහාර ආශ්‍රිතව කුතුහලය දනවන  ප්‍රවෘත්ති පසුගිය දවස් ටිකේ  අපට වැඩියෙන් අහන්න ලැබුන. මුලතිව් හි  කුරුන්දි විහාරයට  අදාළව  වෙන්කර ඇතැයි හා වෙන්කරන්නට සැළසුම් කරනවා යයි  කියන පුරා විද්‍යාත්මක ඉඩම්  ගැන ජනාධිපති- පුරාවිද්‍යා කොමසාරිස් අතර   ගැටුමක් අතිවුනේ ද ඉන් පස්සෙ , පුරාවිද්‍යා කොමසාරිස් තනතුරෙන් ඉල්ලා අස්වුනේ ද  මේ ලඟදී ය. බලංගොඩ කුරගල බෞද්ධ අයිතිය ගැන ඇතිවුන මතභේදාත්මක  කාල පර්ච්ඡේය එම  කඳු මුදුනේ මහා ස්ථූපයක්ද විශාල සිංහ රූපයක් ද ඉඳිකිරීමෙන් කෙළවරවුනේ මේ මැතකය. අළුත්ම ප්‍රවෘත්තිය කෑගල්ල දිස්ත්‍රික්කයේ මැවනැල්ල බතලේගල සම්බන්ධයෙන් ය. අලගල්ල කඳු යායට අයිතිමුහුදු මට්ටමේ සිට මීටර්  670 ක් උසින් පිහිටි එම විශාල පර්වතය  බයිබල් රොක්“-Bible Rock - කියා ද හඳුන්වයි.  දැන් ඒ පර්වතය මුදුනේ   විහාරයක් ඉඳකරන්න වැඩකටයුතු සූදානම් කරමින් සිටී. මට කියවන්න ලැබුන වාර්තා  අනුව කුරුන්දි සහ කුරගල සම්බන්ධයෙන් පුරාවිද්‍යාත්මක සාධක ඉදිරිපත්වුන ද බතලේගලට එහෙම පුරාවිද්‍යාත්මක සම්බන්ධතාවයක් පේන්න නැහැ. අන්තර්ජාලයේ ලිපියකට අනුව 1956 දී බණ්ඩාරනායක ආණ්ඩුව යටතෙ කුලුගැන්වුන සිංහල- බෞද්ධ ප්‍රබෝධයේ අනුහසින් තමයි මෙයට පළමුවරට  බෞද්ධ මුද්‍රාව තැබෙන්නෙ. දැන් පර්වතය මුදුනෙ  විහාර මන්දිරයක් සහිත චෛත්‍යක් සෑදීමේ සිහිනයඵලගැන්වෙමින් පවතී.

       ආදි  මානව ක්‍රියාකාරිත්වය ගැන පැහැදිළි පිංතූරයක් ලබා දෙන්න සමත්  ප්‍රධාන සාධකයන් නම්  පුරාවිද්‍යාත්මක නටඹුන් ය. ඒ නිසාම ඒවා වැනසෙන්නට නොදී ඒවාට ආරක්ෂාවක් ලබා දිය  යුතුය. නිසි ඇගයීමක් කළ යුතුය.  මේ සටහන තැබීමේ අරමුණ ඒ ගැන අවධාරණය කිරීම නොව  ස්වභාව ධර්මයේ අසිරිමත් නිර්මාණයන් වූ කඳු හා  ගල් පර්වත  මුදුන් මත   වෙහෙර විහාර පංසල් කරවීමේ    බෞද්ධාගමිකයන්ගේ පෙළඹීම  පිටුපස ඇති මනසිකාරය කොහොම එකක්ද? ඒ වගේ කල්පනාවක් පැනගින්නේ කොතැනින්ද? කවදද? යන්න ගැන මගේ නිරීක්ෂණයන් සටහන්කර තැබීමය.

  අද ලෝකයම අවිවාදයෙන් පිළිගන්න කරුණක් තමයි බෞද්ධ ආගමේ වැදගත්ම  සංකේතීය ප්‍රකාශනය වෙහෙර විහාර බව. පංසල්, අසපු, දේශීය හෝ විදේශීය වේවාමේ සෑම බෞද්ධ ආගමික ආයතනයක්මත් ඒවායේ දායක සභාවනුත්  උත්සාහකරන්නෙ සුදෙන් බැබළෙන කුඩා හෝ ලොකු චෛත්‍යයක්  ගොඩනගාගෙන තම පංසලට,අසපුවට සංකේතීය වටිනාකමක් අත්කරගන්නයි.   අද පංසලේ වැදගත් තැනක් හිමිවෙලා තිබෙන චෛත්‍යය වසර දහස් ගණනක් පැරණි මිත්‍යා විශ්වාසයක පරිණාමීය අවස්ථාවක් බව පිලිගන්න ඕනැම බෞද්ධයෙක් පැකිළෙනවා  නියතයි.

ලතින් භාෂාවෙන් තුමුලස්- tumulus - කියන්නෙ කුඩා පස් ගොඩැල්කට.විශේෂයෙන් මියගිය අයකු  මිහිදන් කලාට පස්සේ  වලදමා ඒ මත සාමාන්‍ය පොළවෙ මට්ටමට උසින් හිටින විදියට  පස් හා ගල්වලින් තරමක් උසට සාදන ගොඩැල්ල හඳුන්වන්නෙ   තුමුලස්කියල. සොහොන් කොත් විදියට අද නානාප්‍රකාර හැඩයෙන් හා උසින් හදන්නෙත් මේ තුමුලස්ම තමයි.  මෙහෙම . මහා ගල් සමග තවත් කුඩා ගල්  යොදාගනිමින් මිය ගියවුන් වෙනුවෙන් ස්මාරක ගොඩනැගීමේ සංස්කෘතිය    ලෝකයේ බොහෝ රටවල්වල පැතිර ගිය සංස්කෘතියක්. ඊට සම්බන්ධ ඉතිහාසය අවුරුදු 40.000 ක තරම් පැරණියි. පොදුවේ මේ සංස්කෘතිය මෙගලිතික“-( මහා ගල්) megalith- කියල හඳුන්වනව. ක්‍රි.පූ 700-400 අතර කාලයට අයත් ලංකාවෙ ඉබ්බන්කටුව   සුසාන ද ඒ වගේ මෙගාලිතික සංස්කෘතියට අයිති සුසාන භූමියක්. ඒ සුසාන ඇතුලෙ තිබී මැටි භාජන ද යකඩ, තඹ,රන් ආභරණ ද සොයගෙන තියෙනව. මිය ගිය පුද්ගලයා සමග ඔහු ජීවත්ව සිටියදී පාවිච්චි කළ උපකරණ, ආභරණ සමහරක් ඔහු සමගම මිහිදන් කිරීම ආදි මිනිසා අනුගමනය කර ඇති  චාරිත්‍රයක්. මිය ගිය  අයගේ ආත්මය කෝප වෙලා ජීවත්ව සිටින්නවුන්ට හිරිහැර කරාවි යන බය  නිසා   මියගිය අයගේ ආත්මය  සතුටුකිරීම  මේ චාරිත්‍රයේ අරමුණයි.  ඒ පිටුපස ඇත්තෙ මරණය පිළිබඳ යථා අවබෝධයක් නැතිකම නිසා උපන් වැරදි -මිත්‍යා - මතයක්. ලෝකය පුරා සොහෙන් කොත් සම්බන්ධ  කතාවේ හරය ඒකයි.  මේ හරයම තමයි පුරාණ භාරතයේ ස්ථූපතුලත් ඇත්තෙ.  .      සංස්කෘත භාෂාව සම්භවය කරගත්  ස්ථූපයයන පදය ලතින් තුමුලස් කියන පදයට සමානයි. ස්ථූපයඅර්ධ ගෝලාකාර පස් ගෝඩැල්ලක් හැදින්වීමට යොදාගත් පදයක්. විහාරය, චෛත්‍යය, දැගැබ ඊටම සමාන තවත්   වචන කීපයක්.පාලි භාෂාවෙන් ථුපය කියන්නෙත් එයටම යි. ස්ථූප සංස්කෘතිය භාරතයේ දකින්න ලැබෙන්නෙ බෞද්ධ ආගම ට පෙර සිටම යි.  විශේෂයෙන් ආගමික ශාස්තෘවරුන් මියගියාම ඔවුන්ගෙ දේහයන් ආදාහනය කිරීම හෝ මිහිදන් කිරීම එවකට පැවති සිරිතයි. සමහර විටක වැඩි ගෞරවයන් වශයෙන්   මියගිය   ශාස්තෘවරයෙක් මිහිදන් කළේ ඔහු භාවනායෝගීව සිටි ආකාරයෙන් ම ය. දේහය පස් ගොඩකින් ආවරණය කළ  විට පෙනී ගියෙ  ගෝලාකාර ස්ථූපයක් ලෙසය. පසු කාලීනව ස්ථූප සංස්කෘතියේ ප්‍රාථමික අවස්ථාව එය යි.     

අශෝක අධිරාජයාගේ (ක්‍රි .පූ. 269.-232) සම්ප්‍රාප්තියට පෙර  බුද්ධාගම  වැඩි ජනප්‍රියත්වයක් නැති, කුඩා දාර්ශනික ධාරාවක් පමණයි.. එසේම ඒ කාලෙ ස්ථූප ද ස්මාරකවලට වඩා වැඩි දෙයක් වුනේ නැහැ..  ස්ථූප වඩාත් ප්‍රචලිත වුනේ බුද්ධාගමත්  සමග ය. එය සිදුවුනේත්  බුදුන් වහනසේ ගේ පරිනිර්වාණයෙන් අවුරුදු 250 ට පමණ පසු.අශෝක අධිරාජයගේ මැදිහත්වීම යටතෙයි.  එවකට දඹදිව ප්‍රජා නායකයන් 8 දෙනෙකු විහින් බුදුන් වහන්සේ ගේ   ශාරීරික ධාතු බෙදාගෙන ඒවා කුඩා ස්ථූප 8 ක තැන්පත්කර ආරක්ෂාකරගෙන ඇවිත් තිබෙන නමුත් ඒවා පසුකාලයේ ස්ථූප වගේ වනදනා මාන කරමින් තිබූ බවට ඓතිහාසික සාක්ෂි නැත.   බුදුන් වහනසේ හෝ වෙනත් භික්ෂුවක් වෙනුවෙන් ඉඳිවුන ස්ථූපයක් ගැන වුව ද ඓතිහාසික තොරතුරක් නෑ.  ස්ථූප අටක තැන්පත්කර තිබූ බුදුන් වහනසේගේ ශාරීරික ධාතු පවරාගෙන අශෝක අධිරාජයා සිය අධිරාජ්‍යය   - නේපාලය, බංග්ලාදේශය, පකිස්ථානය හා ඇප්ගනිස්ථානය-  පුරා එම ධාතු ඇතුලත්  ස්ථූප 84.000 ක් කරවූ බවටයි ඉතිහාසයෙ  සටහන් වෙලා තියෙන්නෙ.ඒක   අතිශයෝක්තියක් විය හැකි වුනත් ඔහු විසින් ස්ථුප විශාල පුමාණයක් කරවූ බවට පුරාවිද්‍යාත්මක සාක්ෂි ඇත. 

මියගිය පුද්ගලයාගෙ  ආත්මය සතුටුකිරීම,  ඒ හේතුවෙන්  ඔහුගේ අත්මයෙන් හිරිහැර එල්ලවීම වලක්වාගැනීම වගේ  ඉපැරණි   මිත්‍යා විශ්වාසයන්  ස්ථූපය පිටුපස කතාව බව සැබෑය. ඒත් බෞද්ධාගමික ස්ථූප  සම්බන්ධයෙන් ඒ කතාව ඒ බරින්ම ගන්න එක  ඒ තරම් සාධාරණ නෑ. බෞද්ධ ස්ථූප තුල ශාරීරික ධාතූන් හෝ යම් පරිභෝජක වස්තුවක් තැන්පත්ව තිබීම නිසා එය පැරණි ස්තූප සංකල්පයට අනුව  සොහොන් කොතක් කියල කියන්න පුළුවන්.   නමුත් බෞද්ධ ස්ථූප   ව්‍යුහමය වශයෙන් බෞද්ධ ධර්මය විදහා  දක්වන කැඩපතක් බව ඒ පිලිබද වියතුන්ගේ මතය යි. උදා-  චෛත්‍යයකට ප්‍රවේශ දොරටු- තොරණ-  හතරකි. ඒ සෑම තොරණක්ම බුදුන් වහන්සේගේ වැදගත් ජීවන අවස්ථා හතරක් නිරූපණය කරයි.නැගෙනහිර දිසාව උත්පත්තිය ද දකුණු දිසාව බුද්ධත්වයට පත්වීම ද බටහිර දිසාව පළමු ධර්ම දේශණාව ද දකුණු දිසාව නිර්වාණය ද සංකේතවත් කරන බවත්  මේ ආකාරයට  සම්පූර්ණ චෛත්‍ය  ව්‍යුහය බෞද්ධ ධර්මය විදහා දැක්වෙන, ඒ හරහා ධර්ම පණිවුඩය ගෙනයන බවත් එම වියතුන්ගෙ  මතය යි. ඒ එක්කම  ස්ථූපවල සෞන්ද්රයාත්මක බවින් ජනයා ආකර්ශනයකර ගනිමින්  බෞද්ධ චාරිත්‍ර අනුගමනය කරන්න  පෙළඹවීමක් සිදු කෙරෙන බවත් ඒ මගින් බෞද්ධ සංස්කෘතිය පෝෂණය කෙරන බවත්   ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙයි. ඒක ඇත්තක් විය හැකියි. ඒත් ඒ සංකල්පය විහින් බල ගන්වන්නෙ බෞද්ධ ධර්මානුකූල ජීවන රටාව අනුයන සිල්වත් බෞද්ධ ගිහියෙක් හෝ භික්ෂුවක්  නෙවෙයි,   කීර්තිය, ප්‍රසිද්ධිය හඹායන  ආටෝපකාරී  නාමික බෞද්ධයෙකි. එවැන්නෙක් උනන්දු වෙන්නෙ  කොන්ක්‍රිට් පිළිම, දිව්‍යෙලා්ක,  අපායවලින් පංසල් ගෙවත්ත පුරවා  වඩාත් ආකර්ශනීය, ජනප්‍රිය තැනක් බවට පත්කරන්නය. මහා විහාරවලට රෙදි ඇන්දවීමට ය, කනව තියා ඇහැ ඇරල බලන්නවත් පුළුවන්කමක් නැති විහාර මළුව  පිරෙන්න කිරිබත් , පළතුරු ගොඩගැසීම ය. ඊනියා රහතන් වහන්සේලාගෙ පයට පෑගෙන්න කොන්ඩ වලු පාවාඩ එලීම ය. අනෙක් ජාතිකයා / ආගමිකයා මත ඕනැම මොහොතක කඩා පනින්න සූදානම් තරමේ වෛරීය ආකල්පයන් වැපිරීම ය.

ස්ථූප වන්දනා සංකල්පය මේ තරම් විපරීත තත්ත්වයකට පත්වෙන්නෙ හුදකලාවම නෙවෙයි. තත් කාලීන ආර්ථික-දේශපාලන රටාවෙ බලපෑමත් එක්ක යි ඒක සිද්ධවෙන්නෙ.  මිහිපිට ඇති සියල්ල ලාභය වෙනුවෙන් විකිණීම සඳහාය යන ප්‍රතිපත්තිය කරපින්නාගත් නව ලිබරල් ආර්ථික දෟෂ්ඨිවාදය  සෑම දෟෂ්ඨිවාදයක්ම විනිවිද ගිහින් ඒවට කරන බලපෑම සුළුපටු නෙවෙයි.  ජනප්‍රිය බෞද්ධ සංස්කෘතිය   සමපාත වෙනව, අත්වැල් බැඳගනනව පහසුවෙන්ම මේ  නව ලිබරල් ආර්ථික මොඩලයත් එක්ක. ඒ කියන්නෙ දෙපාර්ශවයේම උවමනාවන් සමාන වෙලා  එකට බද්ධවෙලා අන්‍යොන්‍ය වශයෙන් යැපෙන  එක පද්ධතියක් බවට පත්වෙනව. ඒ පද්ධතියට මානව වටිනාකම්වලින් වැඩක් නෑ. පාරිසරික  වටිනාකම්වලින් වැඩක් නෑ. එක පාර්ශවයක් උස් කඳු මුදුන්වල සම්ප්‍රේෂණ කුළුණු හිටවගෙන, හිටවගෙන යන අතරෙ අනෙක් පාර්ශවය ඉතිරි කඳු පර්වත මුදුන්වල චෛත්‍යය හදාගෙන, හදාගෙන  යනව. ! දෙපාර්ශවයේම අරමුණ එකයි.සියල්ලට ඉහලින් ලාභය! ජනප්‍රියත්වය.! සියල්ලේම විනාශය මතින් ආත්ම ලාභය!  කඳු මුදුනක කුළුන කරන්නෙ ඊට අවේනික සම්ප්‍රේක්ෂණ කාර්යකොටසක්. ඒත් කඳු මුදුනක චෛත්‍ය ? බෞද්ධ ධර්මයට අවේනික අවිහිංසාවාදී යහ පැවැත්මමේ පණිවුඩයද?   

ඒඩීපී .රත්නායක

29/06/2023


 

No comments:

Post a Comment

Featured Post

අධ්‍යාපනය අයිතියකි ! විකිණීම සඳහා නොවේ !

දකුණු ආසියාතික තාක්ෂණික හා වෛද්‍ය ආයතනය (සයිටම්-  SAITM, The South Asian Institute of Technology and Medicine)    2008 ඔක්තෝබර් 1 දින ආයෝජ...