අනුර කුමාර දිසානායකගේ පර්ත් නුවර ප්‍රකාශය
බලය හා රාජ්‍යය පිළිබඳ ජවිපෙ නිර්මාක්ස්වාදී අවබෝධය හා පිළිගැනීම ඉතා නිරවුල්ව
එළිදැක්වූවා සේ ම මහජන ව්‍යාපාරය පිළිබඳ ජවිපෙ සැබවින්ම දරන මතය ද එලෙසම එළි දක්වා
තිබේ. අනුරගේ වචන මෙහෙමයි.
“අපි ජනතා විමුක්ති පෙරමුණේ සිට ජාතික ජන බලවේගය කියලා එකක් ගොඩ නගන්නේ ඇයි? අපි දන්නවා ජනතා විමුක්ති පෙරමුණ ලෙස ගත්තම ජනතා විමුක්ති පෙරමුණට යම් කෙනෙකුට සම්බන්ධවීම ටිකක් දුෂ්කරයි වගේ. ඒ වගේම සමහර අය ජනතා විමුක්ති පෙරමුණට දුරයි... සමහර අයට ජනතා විමුක්ති පෙරමුණ දුරයි. එතකොට මොක ද වෙන්නේ? එතකොට අපි කල්පනා කළා මේ ඔක්කොටම එකතු වෙන්න පුළුවන් මධ්‍යස්ථානයක්, ජාතික ජනබලවේගය ගොඩ නගන්න....”
මේ වචන ඉතා පැහැදිලිව කියන්නේ ජාජබය යන
මහජන ව්‍යාපාරය යනු ජවිපෙ ඇතුළට එන්න බැරි හා ගන්න බැරි අය එකතු
කරලා ජවිපෙ විසින් ජවිපෙත් ඇතුළුව හදන ලද මධ්‍යස්ථානයක් වන බවයි. එම මධ්‍යස්ථානය
ගොඩ නගන්නේ කුමක් සඳහා ද? සමස්ත කතාව ගත් කල එයින් පෙනී යන්නේ එය ජවිපෙට මැතිවරණ
මගින් බලය අත්පත් කර ගැනීමේ ප්‍රධාන උපකරණය වශයෙන් එය ගොඩ නගන බව යි. එය අනුරගේ
පෞද්ගලික අදහසක් වන්නට බැරි ය. ඔහු ජවිපෙ නායකයා ය. අපේ අවබෝධයට අනුව ඔහු ආවාට
ගියාට ප්‍රකාශ ඉදිරිපත් කරන්නෙක් නොවේ. ඔහු කරුණු ඉදිරිපත් කරන්නේ හොඳට සිතා බලා
ය. ඒ අනුව ඔහු පක්ෂයේ මතයට වෙනස් මතයක්
ඉදිරිපත් කරන්නේ යයි අපි නොසිතමු. එවැනි ව්‍යාපාරයක් ගොඩ නැගීමට ජවිපෙට තිබෙන අයිතිය අපි ප්‍රශ්න නොකරමු. එහෙත් අප
අවධාරණය කරන්නේ සැබෑ මහජන ව්‍යාපාරයක් එවන් මධස්ථානයක්, ව්‍යාපාරයක් වන්නට බැරි බව
ය. සැබවින්ම මහජන ව්‍යාපාරයක් කියන්නේ මෙහෙම එකක් ද?
ජාජබය ගොඩ නගන්න පුරෝගාමී වූ අනෙක්
පක්ෂ, සංවිධාන හා පුද්ගලයින්ගෙන් පළමුව අපි
අහන්න කැමතියි ඇත්තටම ජාජබය ගොඩ නැගුණේ අනුර එනයින් ජවිපෙ කියන ඒ පදනමින් ද? ජවිපෙ කුමන අවස්ථාවක දී හෝ එහෙම කතාවක්
සාකච්ඡා මේසයට ගෙනාව ද? ඇතැම් විට ජවිපෙ ඇතුළේ මෙවැනි නිර්වචන තියෙන්න ඇති. ජාජබය ගොඩ නැගීමේ
ජවිපෙ සැබෑ අරමුණ එය වෙන්නත් ඇති. නමුත් ජාජබය ගොඩ නැගීමට අදාළ කිසිදු සාකච්ඡා
මණ්ඩපයක මෙවැනි අදහසක් සාකච්ඡා කෙරුණේ නැති බව අපි දනිමු. දෙවනුව
අප අහන්න කැමතියි මහජන ව්‍යාපාරය පිළිබඳ ඔබේ ආස්ථානයත් මෙයම ද කියලා.
අනුරගේ පර්ත් ප්‍රකාශයට පාදක වූ ප්‍රශ්නය
වූයේ ජවිපෙ පෙසප සමග සමගියට නොයාම පිළිබඳ කාරණය ය යි. පෙසප නම නොකියා අනුර මෙහි පැහැදිලිව
කියන්නේ අපි පාර්ලිමේන්තු මාවත මිස සන්නද්ධ අරගලය පිළිගන්නේ නැහැ. ඒ කට්ටිය එහෙම නොවෙයි, ඒ අයත් එක්ක එකට වැඩ කරන්න බැහැ. එකට වැඩ කරන්න ගියොත් ප්‍රශ්න
ඇතිවෙනවා කියා යි. ඒ කියන්නේ මොකක් ද? ජවිපෙ ඇතුළට එන්න බැරි හා ගන්න බැරි අය එකතු
කරලා ජවිපෙ ගොඩ නගන මහජන ව්‍යාපාරය වන ජාජබයට පෙසප වැන්නකට එන්නත් බැහැ ගන්නත් බැහැ කියන එක යි. මෙයින් තවදුරටත්
පැහැදිලි වන්නේ මහජන ව්‍යාපාරය පිළිබඳව ජවිපෙ ඉන්නා ස්ථාවරය යි. මෙම ව්‍යාපාරය
ජවිපෙ මූලිකත්වයෙන් ගොඩ නැගෙන්නක් වන නිසා ජවිපෙට විරුද්ධ මත හා වැඩපිළිවෙලවල්
තිබෙන වම්මුන්ට ඊට එන්න බැහැ. මෙහිදී
වරදවා වටහා ගත යුතු නැහැ. පෙසප ජන අරගල
ව්‍යාපාරය නමින් ගොඩ නැගීමට දරන ප්‍රයත්නය තුළත් මේ කාරණයේ දී මීට වඩා ලොකු
වෙනසක් තිබෙන බවක් පෙන්නුම් කරන්නේ නැති බව අපේ නිරීක්ෂණය යි.
සමාජයේ පවතින පිළිගැනීමට අනුව අද රටේ
පවතින ප්‍රධාන වාමාංශික පක්ෂ දෙක වන්නේ. ජනතා විමුක්ති පෙරමුණ හා පෙරටුගාමී
සමාජවාදී පක්ෂය යි. ගොඩ නැගෙන මහජන ව්‍යාපාරයක් තුළ මේ පක්ෂ දෙකටම වැඩ කරන්න ඉඩ
තියෙන්න ඕන. අපි හිතමු පෙසප සන්නද්ධ අරගලය පිළිගන්නවාය කියලා. එහෙත් එය මහජන ව්‍යාපාරයක්
තුළ එකට වැඩ කරන්න බැරිවෙන්න හේතුවක් නොවෙයි. මහජන ව්‍යාපාරයකට මාර්ගාලෝකයක් ලෙස ගත හැකි සෝවියට් සභා ව්‍යාපාරය
මෙහිලා ගත හැකි ආදර්ශයක්.
පළමුවැන්න රුසියාවෙනි. 1905 රුසියන් විප්ලවය අවස්ථාවේ දී සෝවියට්
සභා පැන නැගුණ විට රුසියාවේ බොහෝ බොල්ෂෙවික්වරුන් කියා සිටියේ එය සම්පූර්ණයෙන්ම
බොල්ෂෙවික් වැඩපිළිවෙල යටතට ගත යුතු බවත් නොඑසේ නම් ඒවායින් ඉවත්ව සිටිය යුතු බවත්
ය. නිර්ධන පංති විප්ලවීය පක්ෂයක් වෙනුවෙන් ලොව අන් කිසිවෙකුටත් වඩා දැඩි ලෙස සටන්
වැදුනු හා ප්‍රායෝගිකව එවන් පක්ෂයක් ගොඩ නැගීමෙහිලා අංක එකේ පුරෝගාමියා ලෙස සැලකිය
හැකි ලෙනින් මෙහිදී කියා සිටිය දෙය නිදර්ශනීය යි. ඔහු කීවේ කුමක් ද? “මම හිතන්නේ සෝවියට් සභාව කිසියම් එක්
පක්ෂයකට ඇලී සිටීම නුවණට හුරු නොවන බවයි.” “මට පෙනෙන්නේ සියලු වෘත්තීන් නියෝජනය
කරන කම්කරු නියෝජිතයින්ගේ සෝවියට් සභාව සියලු කර්මාන්ත, වෘත්තීය හා කාර්යාල සේවකයන්, ගෘහ සේවකයන්, ගොවිපොළ කම්කරුවන් ආදී වශයෙන් සමස්ත
වැඩ කරන ජනතාව සඳහා වඩා යහපත් ජීවිතයක් වෙනුවෙන් අරගල කිරීමට හැකි හා උවමනා සියලු
දෙනා අතරින් අවම වශයෙන් දේශපාලන අවංකභාවයේ මූලික අංශුමාත්‍රයක් ඇති සියලු දෙනා
අතරින් කළු ශතකය හැර සියලු දෙනා අතරින් නියෝජිතයින් තෝරාපත්කර ගැනීමට උත්සාහ කළ
යුතු බව යි.” කියා ය. (කළු ශතකය යනු විප්ලවවාදී ක්‍රියාකාරීන්ට එරෙහිව
සාර් පොලීසිය විසින් පිහිටුවන ලද ත්‍රස්ත සංවිධානයකි). ඒ අනුව සෝවියට් සභා ව්‍යාපාරය
තුළ මෙන්ෂෙවිකයන්, සමාජවාදී විප්ලවවාදීන්, බොල්ෂෙවිකයන් ඇතුළු තවත් විවිධ කොටස් වැඩ කළා. මොවුන්ගෙන්
මෙන්ෂෙවිකයන් උග්‍රතම ප්‍රතිසංස්කරණවාදීන් වූ අතර බොල්ෂෙවිකයන් තිරසර විප්ලවවාදීන්
උනා. නමුත් රුසියාවේ කාලයක් මුළුල්ලේ සෝවියට් සභාවල බොල්ෂෙවිකයන්ට වඩා බලගතු
කණ්ඩායම් දෙක බවට පත්ව සිටි මෙන්ෂෙවිකයන් සමාජවාදී විප්ලවවාදීන් කීවේ නැහැ සන්නද්ධ අරගලය ගැන, විප්ලවය ගැන කතා කරන නිසා බොල්ෂෙවිකයන්ට
සෝවියට් සභාවල ඉන්න දෙන්න බැහැ කියලා. අනෙක් අතට බොල්ෂෙවිකයන් කීවේ නැහැ ප්‍රතිසංස්කරණවාදී
මෙන්ෂෙවිකයන් එක්ක සෝවියට් සභාවල එකට වැඩ කරන්න බැහැ කියලා. ඔවුන් අතර බරපතල
මතවාදී හා උපාය මාර්ගික වෙනස්කම් තිබුණා. ඔවුන් අතර තියුණු මතවාදී අරගල තිබුණා.
එකිනෙකා අභිභවා යාමේ අරගල තිබුණා. එකම වේදිකාවේ ඔවුන්ගේ වැඩපිළිවෙලවල් ඉදිරිපත්
උනා. ඒවා ගැන තියුණු වාද විවා ද ඇති උනා. කතිකයන් අදහස් ඉදිරිපත් කරන විට හූ කීම්
උසුලු විසුලු කිරීම් පවා ඇති වූ අවස්ථා තිබුණා. ලෙනින් වැනි නායකයින්ට පවා එවැනි
අවස්ථාවන්ට මුහුණ දෙන්නට සිදු උනා. නමුත් ඔවුන් සෝවියට් සභා තුළ එකට වැඩ කළා.
දෙවන නිදසුන ජර්මනියෙනි. 1918 -19 ජර්මන් විප්ලවය ඇතිවූ අවස්ථාවේ දී ජර්මනියේ
ද රුසියාවේ පරිද්දෙන්ම “සෝවියට් සභා” පැන නැංගා. ඒවා තුළ වමේ දක්ෂිණාංශික පක්ෂය වූ
බහුතර සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (MSPD) හා වමේ මාධ්‍යමික හා රෝසා
ලක්සම්බර්ග් හා කාල් ලීබ්නෙක්ට් නායකත්වය දුන් විප්ලවවාදී පාර්ශවය නියෝජනය කළ
ස්පාටසිස්ට් කණ්ඩායම (පසුව කොමියුනිස්ට් පක්ෂය KPD
විදියට
පරිවර්තනය වූයේ මෙම කණ්ඩායමයි) ඒකාබද්ධව සිටි ස්වාධීන සමාජ ප්‍රජාතන්ත්‍රවාදී
පක්ෂය (USPD) යන දෙකම කම්කරු හා සෙබළ සභා තුළ එකට
වැඩ කළා. කම්කරු හා සෙබළ සභා කියන බහුජන සංවිධාන ක්‍රියාකාරිත්වය තුළ පමණක් නොවෙයි
එකම පක්ෂය තුළ පවා කාලයක් විප්ලවවාදී හා විප්ලවවාදී නොවන සමාජවාදීන් එකට වැඩ කළා.
අප මේ නිදසුන් දැක් වූයේ මහජන ව්‍යාපාරයක් තුළ විප්ලවය ගැන කතා කරන අයටත් මැතිවරණ
පාරේ යන අයටත් එකට වැඩ කළ නොහැකි බව කියන අනුරගේ එනයින් ජවිපෙ මතයේ සාවද්‍ය බව
පෙන්වා දීමටයි.
කලින් සඳහන් කළා සේ ජාතික ජන බලවේගය
ගොඩ නැගීමේ දී ජවිපෙ තුළ අනුර ඉදිරිපත් කරන ආකාරයේ මතයක් තිබෙන්නට ඇති. එහෙත් කිසිදාක
ජාජබය ගොඩ නැගීම සම්බන්ධ සාකච්ඡාවල දී එවැනි මතයක් ඉදිරි පත් වූයේ නැහැ. ජාජබය ගොඩ
නැගීමේ දී එයට සම්බන්ධ වූ පක්ෂ, සංවිධාන හා පුද්ගලයන් එකතු වී සාකච්ඡා වාර ගණනාවකින් පසු 2019 ජූලි 04 දින ඒකමතිකව සම්මත කරන ලද“වාමාංශික, ප්‍රජාතන්ත්‍රවාදී හා පීඩිත බලවේගවල මූලිකත්වයෙන්
ගොඩනගන ජාතික ජන බලවේගය සඳහා වන අවබෝධතා එකඟත්වය” නම් එහි පදනම් ලේඛනයේත් එවන් කතාවක් තිබුණේවත්
කිසිදු වාම කණ්ඩායමක් බැහැර කිරීමේ ප්‍රවේශයක්වත් තිබුණේ නැත. එක් තැනක එහි අවධාරණයක්
මෙසේ ය.
“...මෙම මහජන ව්‍යාපාරය.... මේ රටේ සිංහල, දමිළ, මුස්ලිම් ආදී වශයෙන් වන සියලු ජාතික හා
ජන කොටස්වලට අයත් වාමාංශික, ප්‍රගතිශීලී, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ, සංවිධාන හා කණ්ඩායම්, වෘත්තීය සමිති, ගොවි සංවිධාන, ධීවර සංවිධාන, කාන්තා සංවිධාන, ශිෂ්‍ය සංවිධාන, විද්වත් හා වෘත්තික සංවිධාන, පරිසර සංවිධාන ආදී විවිධ ජන සංවිධාන
පමණක් නොව පුද්ගලයන් ද ඇතුළත්ව ගොඩ නැගෙන සමස්ත ව්‍යාපාරයක් වීම අවශ්‍ය ය.”
අරමුණු
ගැන කියන කොටසෙහි අවධාරණයක් මෙසේ ය.
“මෙම අරමුණු සාක්ෂාත්කර ගැනීම සඳහා
ජාතික ජන බලවේගය
(අ)
1. රටේ සියලු වාමාංශික, ප්‍රගතිශීලී හා ප්‍රජාතන්ත්‍රවාදී
බලවේග ඒකාබද්ධ ක්‍රියාකාරිත්වයක් තුළට ගෙන ඒමට ද
2. පක්ෂ හා සංවිධාන මට්ටමින් ගොඩ
නැගෙන එම ඒකාබද්ධ ක්‍රියාකාරිත්වය බිම් මට්ටමේ ජනයා එක්සත් ක්‍රියාකාරිත්වයක් තුළට
ගෙන එමින් එම ක්‍රියාකාරිත්වය බිම් මට්ටමේ සිට ජන සභා ආකාරයෙන් ඉහළට ගොඩ නැගෙන ජාතික මට්ටමේ
මහජන ව්‍යාපාරයක් බවට පරිවර්තනය කිරීමට ද සටන් වදිනවා ඇත.”
මෙලෙස මෙම ක්‍රමය තුළ බැට කන, පීඩනයන්ට, වෙනස්කොට සැලකීම්වලට, මර්දනයන්ට ලක්වන ජන කොටස්වල විමුක්තිය
උදෙසා ක්‍රියාකාරී වන සියලු දේශපාලන පක්ෂ, සංවිධාන, කණ්ඩායම්වලට, බහුජන සංවිධාන වලට, සිවිල් සමාජ සංවිධානවලට මහජන ව්‍යාපාරයක්
තුළ නියෝජනය වීමට ඉඩ තිබිය යුතු ය. ප්‍රතිසංස්කරණ මත පදනම් වන පක්ෂ හා සංවිධානවලට
පමණක් නොව පවතින දේශපාලන ආර්ථික ක්‍රමය විප්ලවීය ලෙස වෙනස් කළ යුතු යයි කියන පක්ෂ
හා සංවිධානවලට ද එය තුළ වැඩ කිරීමට ඉඩ තිබිය
යුතු ය. එහෙත් ජවිපෙ මූලිකත්වයෙන් ගොඩ නගන
මහජන ව්‍යාපාරය තුළ පෙසප වැනි ඒවාට ඉඩක් නැත!
එමෙන්ම මැතිවරණ සම්බන්ධයෙන් ජාජබයේ
මූලික එකඟතාවය වූයේ එය මැතිවරණ අරගලයට සම්බන්ධ වන්නේ වී නමුදු එය ප්‍රධාන අරගල
මාධ්‍යය ලෙස නොගන්නා බවයි. එකඟතා ලියවිල්ලේ 14 වන වගන්තියේ සඳහන් වන්නේ මෙසේ යි.
“අද දවසේ ගොඩ නැගිය යුතුව තිබෙන මෙම
පොදු මහජන ව්‍යාපාරය හා මහජන ආණ්ඩුවක් සඳහා වන ව්‍යාපාරය හුදෙක් මැතිවරණ සීමා
මායිම් තුළ ගොඩ නැගෙන හෝ ගොඩ නැගිය යුතු ව්‍යාපාරයක් නොවේ. බහුජන අරගලය සමග
අතිනත ගෙන ඉදිරියට යා යුතු එය පැන නගින විෂයබද්ධ තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්
මැතිවරණ අරගල මාධ්‍ය ද නිසි අවධාරණයෙන් යුතුව උපයෝගීකර ගැනීමට ද මැදිහත් විය යුතු
ය.”
එපමණක්
නොවේ ඉහත දැක්වූ පරිදි මෙය "බිම් මට්ටමේ සිට ජන සභා ආකාරයෙන් ඉහළට ගොඩ නැගෙන ජාතික මට්ටමේ
මහජන ව්‍යාපාරයක් බවට පරිවර්තනය කිරීමට ද සටන් වදින"
ව්‍යාපාරයක් විය යුතු බව ද අවධාරණය
කර තිබේ.
(උපුටා ගැනීම්වල අවධාරණයන් අපගේ ය)
එහෙත් මහජන ව්‍යාපාරය පිළිබඳ මෙම
දැක්ම, මෙම අවධාරණය අනුරගේ පර්ත් ප්‍රකාශයෙන් හැලී ගොස් තිබෙන බව දැකිය හැකි
ය.
වත්මන් සන්දර්භය තුළ මහජන ආණ්ඩුවක්
පිහිටුවීම මහජන ව්‍යාපාරයක අරමුණක් විය යුතු ය යන්න පිළිබඳව අපට විවාදයක් නැත. එහෙත්
අනුර කුමාරගේ පර්ත් පිළිතුරෙන් ගම්‍යවන පරිදි මහජන ව්‍යාපාරයක් යනු හුදෙක් කිසියම්
දේශපාලන පක්ෂයක් හෝ පක්ෂ සංවිධාන හවුලක් බලය ලබා ගැනීම සඳහා ගොඩ නගන්නක් නොවේ. එය
ජනතාවට තමන්ගේ ඉරණම තීන්දු කිරීමේ ශක්‍යතා හා පදනම් ගොඩ නගා ගැනීම සඳහා ද මහජන පාලනයේ
සැබෑ හිමිකරුවන් බවට පත්වීමට අවශ්‍ය පුහුණුව හා පන්නරය ලබා දීම සඳහා ද වන අධ්‍යාපන
හා අභ්‍යාස භූමියක් ලෙස හා බලය ලබා ගැනීමේ පමණක් නොව බලය ප්‍රතිෂ්ඨාපනය කිරීමේ හා
පවත්වා ගෙන යාමේ බලපවුරක් ලෙස ගොඩ නැගිය යුත්තකි.
එහෙත් අනුරගේ කතාවෙන් පමණක් නොව ජවිපෙ
හා ජාජබ නායක නායිකාවන්ගේ කතාවලින් ප්‍රකාශයට පත් වන පරිදි එවන් අධ්‍යාපන හා අභ්‍යාස
භූමියක් හා බලය ප්‍රතිෂ්ඨාපනය කිරීමේ හා පවත්වාගෙන යාමේ බලපවුරක් ලෙස මහජන ව්‍යාපාරය
ගොඩ නැගීම පිළිබඳ කතිකාවක් සමාජය තුළ ගොඩ නැගීමට දායකත්වයක් දෙන බවක් පෙනෙන්නට
නැත. පාලකයන් පිළිබඳව දැනටමත් ජනතාවත් දන්නා දේ උද්වේගකර අන්දමින් කියාපාමින් අපට
අවස්ථාවක් දෙන්න, අපි ළඟ හොඳ අදූෂිත හැකියා සම්පන්න මිනිස්සු ඉන්නවා. අපි කරලා
පෙන්නනම් කියන පණිවිඩය දෙනවා හැර වේදිකාවවල ජනතාව මතවාදී හා දේශපාලන වශයෙන් සවිබල
ගැන්වීමේ හඬක් නැගෙන්නේ නැති තරම් ය. මේ ක්‍රියාවලිය තුළ ජනතාවගේ සිත් සතන් තුළ
ගොඩ නැගෙන්නේ හා ගොඩ නගන්නේ "තමන්ගේ
විමුක්තිය තමා අතමය, ගැලවුම්කරුවෙක් නැත" යන සත්‍යයට පරස්පරව ගැලවුම්කරුවෙක්
පිළිබඳ අපේක්ෂාවකි. චින්තනයකි. හුදෙක් මැතිවරණ දේශපාලනය ප්‍රමුඛ කරගත් ප්‍රචාරක හා උද්ඝෝෂණ ව්‍යාපාරයකට
ඊට වැඩි යමක් කළ නොහැකි ය.
අපට ක්‍රියාකාරී වන්නට සිදුව තිබෙන්නේ
පාලක පංතීන්ගේ බල ආධිපත්‍යය, මතවාද ස්වකැමැත්තෙන් පිළිගෙන තිබෙන සිවිල් සමාජයක් තුළය යන්න පිළිගත
යුතු ය. ඒ් වගේම මිථ්‍යාව හා මිථ්‍යා විශ්වාස අතිශයින් පිළිගන්නා නිදසුන් ලෙස නාග
ලෝකයේ සිට සර්වඥ ධාතු රැගෙන කැළණි ගඟෙන් නාගයෙක් මතුවූ බවට ගෙතූ ප්‍රබන්ධය වැන්නක්
පිළිගැනීමට තරම් සූදානම් සමාජයක් තුළයි අප ජීවත් වන්නේ. එමෙන්ම මේ සිවිල් සමාජය
රාජ්‍යයේ සිට බිම් මට්ටම දක්වා පටු ජාතිකවාදී හා ආගම්වාදී අගතීන්ගෙන් නිරන්තරයෙන්ම
පෝෂණය වන හා කරන සහ ඒවායින් දූෂිත වූ එකකි. එම සිවිල් සමාජය තුළ රජකරන මතවාද හා විශ්වාස අතිශයින් ප්‍රතිගාමී ය. මේවා පැරදවීම
ආවාට ගියාට කළ නොහැකි ය. ඒවගේම මෙහි දී
ජනතාව වෙනස් කිරීම සඳහා දැවැන්ත අරගලයක් කරන්න සිදුවෙන බව අප වටහා ගත යුතු ය. මන්
ද ඔවුන්මත් පවත්නා ක්‍රමයේ ආරක්ෂකයන් ලෙස ක්‍රියා කරන නිසා ය. පාලකයන් බලයට
ගෙනෙන්නේ ඔවුන් ය. රාජ්‍යයේ උපකරණවලටත් වඩා බොහෝ විට පාලකයන්ව ආරක්ෂා කරන්නේ ඔවුන්
ය. එහෙයින් ඔවුන් එනම් ජනතාව වෙනස් කිරීම මෙහි දී තීරණාත්මක කාරණයක් වශයෙන් පවතින
බව අමතක කරන්නට අපට බැරි ය. මෙවන් සමස්ත ක්‍රියාකාරිත්වයක් සමග ගනු දෙනු කරන්නට,
අප හමුවේ තිබෙන සංකීර්ණ හා බලගතු අභියෝග ජය ගන්නට දැනුවත් සංවිධිත ප්‍රබල මහජන ව්‍යාපාරයක්
අත්‍යවශ්‍ය කොන්දේසිවලින් එකක් වේ. හුදෙක් මැතිවරණ කේන්ද්‍රීය කරගත් ව්‍යපාරයකට
මෙම අරගලය එයට තිබිය යුතු ගුණාත්මකභාවයෙන් යුතුව ඉදිරියට ගෙන යෑම අසීරු ය. ඡන්ද
ගන්න ඕන නිසා අරගලය තනුක කරන්න සිදුවෙනවා. ඒ මතවාදයන්ට පොඩි පොඩි "කප්පම්" දෙන්න සිදුවෙනවා. මහජන ව්‍යාපාරය "ඒ
කකුලට ගැලපෙන සපත්තුවක්" ලෙස මසා ගන්නට සිදු වෙනවා. එතකොට මහජන ව්‍යාපාරයක්
ගොඩ නැගීමේ අරමුණ යටින් ඛාදනය වී යනවා.
සක්‍රීය, දැනුවත් මහජන ව්‍යාපාරයක පැවැත්ම
විශේෂයෙන් සමාජවාදී පක්ෂ හා සංවිධානවල සිතීමේ හා වැඩකිරීමේ ක්‍රමවල අඩුපාඩු හා
වැරදි නිවැරදිකර ගැනීමට බෙහෙවින් උපකාරී වන බලපෑම් ගතිකත්වයක් ඇති කරන්නක් බව අප
වටහා ගත යුතු යි. විශේෂයෙන්ම මෙය තමන් ජනතාවගේ ගැලවුම්කරුවන් යයි ද තමන් සිතන හා
වැඩකරන ක්‍රම පමණක් නිවැරදි යයි ද සිතා ගෙන කටයුතු කරන පක්ෂ සම්බන්ධයෙන් ගත් කල
විශේෂ යි. සමාජවාදී යයි කියන ඕනෑම පක්ෂයක්, සංවිධානයක් මනෝරාජිකත්වයන්ට හා ආධානග්‍රාහිත්වයන්ට
ගොදුරුවන්න පුළුවන්. මහජන ව්‍යාපාරයකට ඒවා එසේ ගොදුරු වීමෙන් වැළකීමට බලපෑ හැකි
නෛසර්ගික ශක්‍යතාවන් පවතිනවා. සමාජවාදී යයි කියන පක්ෂ හා සංවිධාන සැබෑ මහජන ව්‍යාපාරයක
සංවරණයන්ට හා තුලනයන්ට භාජනය විය යුතුම යි.
එහෙයින් අද දවසේ දේශපාලන, ආර්ථික හා සමාජ වෙනසක් සඳහා වන අරගලය
සාර්ථකත්වයක් කරා ගෙනයාමට අවශ්‍ය කරන අත්‍යවශ්‍ය ප්‍රමුඛ සාධකවලින් එකක් ලෙස පමණක්
නොව ජනතාව සැබෑ ක්‍රියාකාරකයින් බවට පත් කරන හා තමන්වමත් සංවරණයට හා තුලනයට භාජනය
කරන සැබෑ මහජන ව්‍යාපාරයක් ගොඩ නැගීමට
දායකත්වය සැපයීම විශේෂයෙන්ම වමේ හෝ සමාජවාදී යයි කියන පක්ෂ හා සංවිධානවල පැහැර
හැරිය නොහැකි වගකීමක් ය යන්න නොනැවතී අවධාරණය අප අනාගත නිර්ධන පංතික රාජ්‍යයක පලල්
මහජන බලය නියෝජනය කරන්නේද මහජන ව්‍යාපාරයයි.
විප්ලවීය සමාජවාදී කේනද්‍රය
2023 අගෝස්තු 4
No comments:
Post a Comment