වර්තමාන දේශපාලන අර්බුදයේ ඇතුලාන්තය

මධ්‍යම පංතික හෙජමොනික බුද්ධමතුන්ගේ දෝමනස්ස ආඩපාලි කෙලවර විදේශ ඇමති ,රවි කරුණානායකට සිය ඇමතිකමෙන් ඉල්ලා අස්වෙන්නට සිදුවිය. තමන් ද කන, බොන, නිදන, සැතපෙන නිවස තමන්ගෙ බිරි`ද විසින් අර්ජුන් ඇලෝෂියස් නම් දානපතියා විසින් මිලියන ගණනක් ගෙවා ලබා දී ඇති බව ඔහු ‘දැන සිට නැත’.  ‘මුදල් ඇමතිවරයෙකු’ වශයෙන් මුල්‍ය කටයුතු ගැන  සංවේදී විය යුතුව තිබියදී ඔහුගේ මේ නොදැනීම නම් පුදුම සහගත ය. කෙසේ වුවත්  බැ`දුම්කර විමර්ශන ජනාධිපති කොමිසම හමුවේ ඔහුගේ ‘නොදැනුම ’ දිග හැරෙන්නට වීම නිසා ඔහුට ඇමතිකමෙන් ඉල්ලා අසවෙන්නට සිදු විය. එසේ ඔහු ඉල්ලා අස් වූයේ සිය  කැමැත්තෙන් නොවේ. ආණ්ඩුව ඇතුලෙන්මත් ඔහුට දැඩි විරෝධයක් එල්ලවෙමින් පැවතිණි.  සිය කාර්ය මණ්ඩලය හා ඇමති වරප‍්‍රසාද තවදුරටත් සිය සන්තකයේ තබාගෙන මෙලෙස අස්වීමෙන් පෙනෙන්නේ තව මාස කිපයකින් නැවත එම තනතුරට ඒ මේ ඔහුගේ බලාපොරොත්තුවයි. මේ සිදුවීමේදී නීතිපති දෙපාර්තමේන්තුවේ අසාමාන්‍ය වේගවත් පරීක්ෂණ ක‍්‍රියාකරිත්වය පිටුපස ආණ්ඩුවේම ඇමතිවරු සිටින බවට රවී කරුණානායකමත් චෝදනා කරයි. එය එසේ විය හැකි බව රාජපක්ෂ රෙජිමයේ දුෂිතයන්ට එරෙහි චෝදනා සම්බන්ධයෙන් එම නීතිපති දෙපාර්තමේන්තුවම  ඉතාමත් මන්දගාමීව කටයුතු කරන ආකාරයෙන් පෙනේ. 









මේ වන විට ආණ්ඩුව තුළ  ‘ට්‍රෝජන් අශ්වයා’ ලෙස හෙජමොනික බුද්ධිමතුන්ගේත් ආණ්ඩුවේම මැති ඇමතිවරුන්ගේත් දැඩි විවේචනයට ලක්වූ අධිකරණ හා බුද්ධ ශාසන ඇමති විජේදාස රාජපක්ෂ ඇමතිකම්වලින් දොට්ට දමා ඇත. පසුගිය ආණ්ඩුවේ දූෂණ චෝදනා ලැබූවන් සම්බන්ධයෙන් අධිකරණ ක‍්‍රියාමර්ග ගැනීම ප‍්‍රමාදවීම ගැන ඔහුට එරෙහි එක් ප‍්‍රධාන චෝදනාවකි. එය සනාත කරමින් ඔහු දැන් මහින්ද රාජපක්ෂ සමග පන්සල් යයි. ක‍්‍රියාකාරිත්වයේ දී එක කරුණක දී සීග‍්‍රඝාමීව ද තවත් කරුණක දී  මන්දගාමීව ද යන ප‍්‍රතිවිරුද්ධ ලක්ෂණ පෙන්නුම් කරන නීතිපති දෙපාර්තමේන්තුව පැවතියේ මේ හිටපු අධිකරණ ඇමති විජේදාස රාජපත්ෂ යටතේ ය. මේ නිසා ඔහුට එල්ලකරන චෝදනාවල පදනමක් නැතැයි කිව නොහැක. අප විසින් නිර්මාණය කරන ලද කතා මගින්  නොව අර්බූදයන්ට ඇද වැටී ඇති මේ ධනේශ්වරයේම පාර්ශවයන් විසින් කරන කතා මගින් පවතින අධිකරණ ක‍්‍රියාපටිපාටියේ ‘ස්වාධීනත්වය’ විහිළුවක් බව සනාත කරයි.    
අපට ඇත්තේ රුපියල් බිලියන 1. 039 ක් අතේ තියාගෙන රු. බිලියන  15 ක ගණුදෙනුවක් කර, එම ගණුදෙනුවෙන්  බිලියන සිය ගණනක් ලාභ ලබා, එම ලාභය මාමයි බෑණයි අතර බෙදීයන ‘සාධාරණ වෙළ`ද පොළ ක‍්‍රමයකි’! බාණ්ගාර බිල්පත් වෙන්දේසියට පෙර භාණ්ඩාගාරයේම ඉහළ නිධාරීන්ගෙන් සියළු තොරතුරු ලැබ ‘පූර්ණ තරගකාරිත්වය යටතේ  ඉල්ලූම හා සැපයුම’ විසින් මිල තීරණය කරනවා යයි කියන  ගනුදෙණු සිදුවන ‘සාධාරණ වෙළ`දපොල ක‍්‍රමයකි! තරගකරුවන් අතර ඇතිවෙන ගැටුම් නිසාම හොර මගඩි එළිවෙනවිට හොරුන්, දූෂිතයින් ආරක්ෂාකර ගන්න ලජ්ජා විරහිතව බුරුතු පිටින්  ඉදිරිපත්වෙන පාලකයන් සිටින දේශපාලන ක‍්‍රමයකි! එහිම තවත් අන්තයක දූෂණයේ කෙළ පැමිණ, දැන් කිසිත් නොදන්නා ළදරුවන් සේ  ජාතිය, ආගම ගැන අඳෝනා දෙමින්  නැවත බලයට එන්න උත්සාහ කරන ඒකාබද්ධ විපක්ෂයකි! මේ දූෂිත ආර්ථික ක‍්‍රමය, මේ දූෂිත දේශපාලන ක‍්‍රමය බැ`දුම්කර වෙන්දේසියට පමණක් සීමා වූවක් ද? නැත. එය පාරකට කොන්ක‍්‍රීට් දැමීම, පදික මාරුවක කහ ඉරි ඇඳීම, ළමයෙක් පාසැලකට ඇතුළත් කිරීම වැනි ක්ෂුද්‍ර ආර්ථික හා සමාජ ක‍්‍රියාවලීන් පුරා ඇටුවම්  බැස ඇති දූෂිත ආර්ථික හා දේශපාලන ක‍්‍රමයකි! නීතිය, සාධාරණත්වය. සමානාත්මතාවය, විනිවිදභාවය ගැන පුරාජේරු කතා ඇද බෑව ද ක‍්‍රමයේ ඇතුලාන්තය සකස්වී ඇත්තේ ”ඇලෝසියස් ඇන්ඞ් රවි ප‍්‍රයිවට් කොම්පැණි ලිමිටඞ්” පන්නයේ හවුල් ව්‍යාපාර රාශියක් ජාලගතවීමෙන් බව අප තේරුම්ගත යුතු ය.  බැඳුම්කර මංකොල්ලය එළිදරව්වීම එක් සිදුවීමක් පමණි. එසේ එළිදරව් නොවන, නීතිය හමුවේ අභියෝගයට ලක් කළ නොහැකි ඉතාමත් සුක්ෂම විදියට කරගෙන යන දේශපාලක - ව්‍යාපාරික කොල්ලකාරී ගජමිතුරු හවුල් ව්‍යාපාර රාශියකි. පරිපාලන හා පොලිසියේ නිළධාරීහු, පළාත් සභා සහ ප‍්‍රාදේශීය සභා මංත‍්‍රීවරු ඔවුන්ගේ බලපෑමේ ක්ෂේත‍්‍රය තුළ ඒ ඒ මට්ටමින් මේ කොල්ලය සිදු කරමින් සිටිති. හිටපු ඉහළ පරිපාලන හා හමුදා නිළධාරීන් නැතිනම් ඔවුන්ගේ බිරින්දැවරුන්, සහෝදර සහෝදරියන් හෝ ළ`ගම ඥාතීන් අධ්‍යක්ෂක මණ්ඩලවලට ඇතුල්කර ගනිමින් ව්‍යාපාරිකයෝ ඔවුන් හා එක්ව වක‍්‍රාකාර කොල්ලයක නිරතව සිටිති. මෙකී තත්ත්වය හිටපු සහ ඉන්න සියළු පාලකයන් සම්බන්ධයෙන් අදාළ වෙයි. මේ කොල්ලකාරි ගෝලීය ධනවාදී ශරිරයේ එක් සෛලයක හරස් කැපුමක් පමණි!
අපූර්වම දේ නම් දූෂණය හෙළිදරව් වී සමාජයේ බලපෑම් හමුවේ බැරිම තැන ඇමතිවරයෙකුට ඉල්ලා අස්වෙන්න සිදුවන විට ඔහුමත් සහචර ඇමතිවරුත් පුන පුනා කියන්නේ ආණ්ඩුවේ විනිවදභාවය, සැමට සාධාරණත්වය මෙමගින් ඔප්පුවන බවයි. පෙර දී ඒ දුෂණය යට ගැසීමට, ඒ තුළ තමන්ගේ කොටස වසැංගීමට,  චූදිතයන් බේරා ගැනීමට, කළ හැකි හැම දහංගැටයක්ම ගසා අසාර්ථක වූ තැන   ඉන් ආණ්ඩුවටත් ඔවුන්ටමත් ලකූණු දමා ගැනීමට උත්සාහ කිරීම හාස්‍යජනක ය! හෙජමොනික සිවිල් බුද්ධිමත්තු ද මේවා ඇගයීමට නොපැකිලිව ඉදිරිපත් වෙතිි. වඩාත්ම අපූර්ව දේ එය නොව පාදාන්තයේ සිට කේශාන්තය දක්වා දූෂණයේ වසුරු තවරාගත් හිටපු පාලකයන් ශුද්ධවූ දෙවිවරු මෙන් උඩ පැන පැන කෑ කෝ ගැසීමය! සමාජය ඉදිරියේ තමන් නිර්වස්ත‍්‍රව ඉන්නා බව මේ කිසිවෙකුටවත්  ගාණක් නැත!
ලාංකිය සමාජය  මෙආකාරයේ දූෂිත අගාදයක පතුල කරා වේගයෙන් ඇදි යමින් සිටී. ‘යහපාලනය’ නම් ලේබලයක් දැවටු පමණින්  එහි විනාශකාරි ගමන් දිසාව වෙනස් කළ නොහැකි ය. මෙහිදී මධ්‍යම පංතික හෙජමොනික සිවිල් ව්‍යාපාර ක‍්‍රියාකාරින්ගේ අඳෝනාව තුළ දෝංකාර දෙන වදන්වැල්වල ඇති ව්‍යාජබව අප හො`දින් තේරුම්ගත යුතුව ඇත. දුෂිතයින් නීතිය හමුවට පමුණුවා ද`ඩුවම් ලබා නොදීම, ආගමික අන්තවාදීන් හා ජාතිවාදය වපුරන්නන් කෙරෙහි නිහ`ඩ ප‍්‍රතිපත්තියක පිහිටීම, සුළුතර ජාතික ප‍්‍රශ්නයට විසඳුමක් සහිත ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාවලිය ප‍්‍රමාද කිරීම වැනි කාරණා සම්බන්ධයෙන් ආණ්ඩුවට දැඩි දෝෂාරෝපණයක් ඔවුහු එල්ල කරති. එය වැරදි දෙයක් නොව්. එහෙත් මේ සෑම විවේචයනකදීම ඔවුන් තම සීමාව නිවැරදිවත් නිශ්චිතවත්  සළකුණුකර ගැනනීමට ප‍්‍රවේශම් වී ඇත. දූෂිත ක‍්‍රමය, මජර ක‍්‍රමය, කුණුවුනු ක‍්‍රමය වගේ ප‍්‍රකාශ මේ ක‍්‍රමය හැ`දින්වීමට ඔවුන් නිතර දෙවේලේ පුනරුච්චාරණය කළත් ඔවුන් ඒවායින් අදහස් කරන්නේ මේ ධනවාදය  වසාගෙන ඇති ප‍්‍රජාතන්ත‍්‍රවාදී පිටකටුව ගැන මිස කුණුවීම සහජ ලක්ෂණයක් කරගත් ධනවාදය ගැන නොවේ. ධනවාදය යහතින් පවතිද්දීම එහි බාහිර හැඩය වෙනස්කර ගැනීම ඔවුන්ගේ එකම උත්සාහය යි. ඒ සඳහා වුව ද ඔවුන් ක‍්‍රියා කරන්නේ ඔවුන්ටම ආවේනික කණු කුණු ගෑමේ ප‍්‍රතිපත්තියකි. පොරොන්දු ක‍්‍රියාත්මක කරවා ගැනීම සඳහා ආණ්ඩුවට දැඩි බලපෑමක් එල්ලකළ හැකි මට්ටමේ සටන්කාමී මහජන ව්‍යාපාරයකට යාම ඔවුන්ගේ න්‍යාය පත‍්‍රියෙහි අහලකවත් නැත. එමෙන්ම ඔවුන් සතුව එවැනි සංවිධානමය   හැකියාවක් ද උවමනාවක් ද නැත. 
මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ නායකත්වයෙන් වු සාධාරණ සමාජයක් ස`ඳහා වූ ව්‍යාපාරය මහින්ද රාජපක්ෂ පැරදවීමේ හැකියාව අත්කරගනිමින් ජනප‍්‍රිය වෙමින් ඉදිරියට ආවත් එම ව්‍යාපාරයේ ස්වභාවික  ලක්ෂණයන් අනුව එයට අධිෂ්ඨානශීලි සෘජු නායකත්වයක් නොවීය. ඉන් නැගූ රැුල්ලට මෛත‍්‍රිපාල  සිරිසේන නග්ගා  බෝට්ටුව තල්ලූ කළේ චන්ද්‍රිකා- රනිල් -මංගල ත‍්‍රිත්වයේ මෙහෙයුමක් මගිනි.  අප තේරුම්ගත යුතු වැදගත් කරුණ නම් චන්ද්‍රිකා බන්ඩාරනායක, රනිල් වික‍්‍රමසිංහ යනු නව ලිබරල් ධනවාදය ඉදිරියට ගෙනයාමට ප‍්‍රතිඥා දී ඇති ඇප කැපවු  දේශපාලන චරිතය යන්න ය. මෛත‍්‍රිපාල සිරිසේන ද  කිසිම දේශපාලන පෞරුෂයක් ඇති චරිතයක් නොවේ. මේ සියළු දෙනාට, විශේෂයෙන් රනිල් වික‍්‍රමසිංහට ‘යහපාලනය ’ යනු බලයට ඒ මේ හුදු උපක‍්‍රමයක්ම පමණක් විය. ඉදින්, ඔවුන් දැන් දියත් කරගෙන යන සියළු දේශපාලන,  ආර්ථික ක‍්‍රියාකාරකම් සමපාත වන්නේ යහපාලනයක් සමග නොව පිරිසිදු නව ලිබරල්වාදී  දැක්ම සමග ය. විශේෂයෙන් අපේ වැනි පසුගාමී ආර්ථික දේශපාලන ව්‍යුහයක් සමග කොල්ලකාරී නව ලිබරල්වාදය මුහුවීමෙන් සිදුවන්නේ අන්තයටම කුණුවී ගඳ ගහන සමාජ ක‍්‍රමයකි. 
දමිළ  ජාතික ගැටළුවට විසඳුමක් සහිත ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කරන නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් ආණ්ඩුව දක්වන්නේ ඇල්මැරුණු ප‍්‍රතිපත්තියකි. බලය බෙදාහැරීම වෙනුවට දැන් ආණ්ඩුව පළාත් පාලන මැතිවරණ කල්දමා ආණ්ඩුව අත බලය කේ්න්ද්‍රගත කර ගැනීමේ උත්සාහයක නිරත වෙයි. මේ නම් හැට දෙලක්ෂයක් ජනතාව අපේක්ෂා කළ දෙය නොවේ. රනිල්ගේ සුපුරුදු කල්මැරීමේ ප‍්‍රතිපත්තියෙන් කියවෙන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තව තවත් අර්බුදයට යවා ඊළ``ග මැතිවරණයේදී  තනි එ. ජා ප. ආණ්ඩුවක් පිහිටුවා  ගෙන ජේ ආර් මෙන් නව ලිබරල් මාවතේ ඉදිරිය යාම විය හැකි ය.  
ලංකාවේ ධනවාදය කුණුවී ඇති තරම අනුව හුදෙක් සරල පියවරයන් ගැනීමෙන් එය ගොඩ දැමිය නොහැකි ය. මිනිසුන්ගේ අධ්‍යාත්මය වෙනස් කිරිමේ හුදු පුනරුද ව්‍යාපාරයක් මගින්  එවැන්නක් කළ හැකි යයි සිතීම ද මුළාවකි. එහෙත් ප‍්‍රජාතන්තවාදී වටපිටාවක්  ගොඩනගා ගැනීමට මහන්සිවීම නොකළ යුත්තකැයි අපි නොකියමු.  එය අතනොහැර කළ යුතු අරගලයකි . එහෙත් සාර්ථකත්වය කරා ල`ගාවිය හැක්කේ  පීඩිත ජනතා සටන්කාමී මහජන ව්‍යාපාරයක් පදනම වශයෙන් ගෙන  මේ කුණුවුණු ධනවාදී ක‍්‍රමය පළවා හැරීම අවසාන අරමුණ කරගත් දියුණු පංති ව්‍යාපාරයක් මගින් පමණක් බව අපේ විශ්වාසය යි. 





















   

No comments:

Post a Comment

Featured Post

අධ්‍යාපනය අයිතියකි ! විකිණීම සඳහා නොවේ !

දකුණු ආසියාතික තාක්ෂණික හා වෛද්‍ය ආයතනය (සයිටම්-  SAITM, The South Asian Institute of Technology and Medicine)    2008 ඔක්තෝබර් 1 දින ආයෝජ...