ධනපති ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා ඩයස්ලාගේ සිහින




මානව හිමිකම් නඩු සඳහා පෙනී සිටින නීතිඥ ලක්ෂාන් ඩයස් අධිකරණ හා බුද්ධශාසන අමාත්ය විජේදාස රාපක්ෂගේ සහ සිංහල බෞද්ධ අන්තවාදීන්ගේ තර්ජන හමුවේ රට ඇතහැර ගොස් ඇත.
පසුගිය ජුනි 14 වෙනිදා දෙරණ රූපවාහිනී නාලිකාවේ ‘‘අළුත් පාර්ලිමේන්තුව’’යන වැඩ සටහනට එක්වෙමින් 2015 ජනවාරි 08 න් පසු රටේ ක‍්‍රිස්තියානි සිද්ධස්ථානවලට එරෙහිව පහරදීම් හා අඩන්තේට්ටම් කිරීම් 195 සිදුවි ඇති බවට ඩයස් කළ ප‍්‍රකාශය ඊට ආසන්නම හේතුව වේ.
ඩයස් ඒ අදහස් පළකර ඇත්තේ ශ‍්‍රී ලංකා ඉවන්ජිලික් සන්ධානය (NationalChristian Evangelical Alliance of Sri lanka) මගින් 2017 නිතුත් කරන ලද වාර්තාවක් පදනම්කරගෙනය.  ඉවන්ජිකල් සන්ධානයට අයත් වෙබ් අඩවියක එම වාර්තාව පල කර ඇත. එම වාර්තාව එම නිකායේ පල්ලිවලට පහරදි සම්බන්ධයෙන් බොදු බලසේනා සංවිධානයටචෝදනා එල්ලකර ඇත.

අළුත් පාර්ලිමේන්තුව වැඩ සටහනේදී ඩයස් ඉදිරිපත් කළ අදහස් සැබෑදැයි දැන ගැනීම සදහා තමා රෝමානු කතෝලික සභාවේ අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන් ගෙන් විමසා සිටි අවස්ථාවේ එවැනි සිදුවීම් කිසිවක් ගැන අගරදගුරු හිමිපාණන් නොදැන සිටි බව පැවසුවා යයි  ජුනි 16 වෙනිදා මහනුවර චන්දාලෝක විදුහලේ පැවති ප‍්‍රසිද්ධ රැස්විමකදී ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේය.
ඩයස් ඉදරිපත් කළ අදහස්වල සත්‍ය අසත්‍ය දැන ගැනීම සඳහා ජනාධිපතිවරයා, කතා කළ යුත්තේ පොලිස්පතිවරයාටය. නමුත් ඔහු කතා කර ඇත්තේ ,කොළඹ රෝමානු කතෝලික අගරදගුරු මැල්කම් කාර්දිනල් රංජිත්ටය. කාර්දිනල් රංජිත් කොළඹ අගරදගුරුය. ඔහු ධර්මදාන ක‍්‍රිස්තියානින්ගේ ප‍්‍රධානියා නොවේ. කාර්දිනල් රංජිත් ධර්මදාන කිතුනුවන් හදුන්වන්නේ මුලධර්මවාදීන් කියාය.රෝමනු කතෝලික පල්ලිවලට අනෙක් නිකායන්ගේ පැවැත්ම හිසරදයකි. ධර්මදාන ක‍්‍රිස්තියානි පල්ලිවලට පහරදීම ගැන හෝ  පුජකයන්ට අඩම්තේට්ටම් කිරීම් ගැන විරෝධය පල නොකර ඔවුන් මුලධර්මවාදීන් යැයි හංවඩු ගැසීම සිංහල අන්තවාදීන් සඳහා උඩගෙඩි දීමකි. ධර්මදාන කිතුනු පල්ලිවලට පහරදීම ගැන කාර්දිනල් රංජිත්ගෙන් ජනාධිපතිවරයා ඇසීම හරියටම හොරාගේ අම්මාගෙන් පේන ඇසීමකි.
ඩයස් අලූත් පාර්ලිමේන්තු වැඩ සටහනේදී ඉහත අදහස් ප‍්‍රකාශ කිරීමට මත්තෙන් ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොම්ෂමේ සභාපතිනිය ද 2017 මැයි 31 වනදා ක‍්‍රිස්තියානි සහ මුස්ලිම් ජනතාව ඉලක්ක කර ගනිමින්, ආගමික දේවස්ථානවලට කරන ලද පහරදීම් ගැන ජනාධිපතිවරයා දැනුවත් කර ඊට මැදිහත් වන ලෙස ඉල්ලා ලිපියක් යවා ඇත. එසේ තිබියදීය  ජනාධිපතිවරයා මහනුවර චන්දාලෝක විද්‍යාලයේදී  ඉහත කී කෙප්පයඇද බාන්නේ. 
අමාත්‍ය රාජපක්ෂ ජනාධිපති සිරිසේනටත් වඩා එහාට යමින්, නීතිඥ ඩයස්ගේ ප‍්‍රකාශයට ප‍්‍රතිචාර දක්වමින්,ජුනි 17 වෙනිදා මාන්කුලම්හි පැවති ප‍්‍රසිද්ධ රැස්විමකදී තර්ජනය කළේ ඩයස් පැය විසිහතරක් ඇතුළත ජාතියෙන් සමාව නොගතහොත් නීති වෘත්තියෙන් නෙරපාහරින බව ය.
නමුත් නීතිඥ ඩයස් රාජපක්ෂගේ අණට කීකරු වී ජාතියෙන් සමාවගත්තේ නැත. රාජපක්ෂ කයිවාරු ගැසුවද පැය විසිහතරක් නොව මේ වන තුරුත්, නීතිඥ ඩයස්ව එම වෘත්තියෙන් ඉවත් කිරීමට ඔහු සමත් වී නැත..
ඩයස් ජාතියෙන් සමාව ගත්තේ නැත්නම් නීතිඥ වෘත්තියෙන් නෙරපාහරින බවට ගෝරනාඩු කරන්නට   අමාත්‍ය රාජපක්ෂට ඒ වැනි බලයක් දුන්නේ කවුරුන් ද?  නීතිඥවරුන් පත් කිරීමේ හා ඉවත් කිරීමේ බලය ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයටය. රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණයට කර ඇත්තේ අපහාසයකි. ඔහු තමන්ට නැති බලයක් පෙන්වමින් සිංහල ජාතිවාදීන් හා ග්‍රෝතිකවාදින් තුළ වීරයෙක්වීමට උත්සහ කළේය.
නීතිඥවරුන්ගේ වෘත්තිය ගරුත්වය වෙනුවෙන් පෙනී සිටින නීතිඥ සංගමය රාජපක්ෂගේ ප‍්‍රකාශය හෙළා දැක ඊට අභියෝග කිරීම වෙනුවට ඩයස් දිවුරුම් ප‍්‍රකාශයක් මගින් දෙරණ අලූත් පාර්ලිමේන්තු වැඩ සටහනේදී දැක්වු අදහස්වල සත්‍යතාවය තහවුරු කිරීමට අසමත් වුහොත් රජය මගින් ඔහුට එරෙහිව ගෙන යන ක‍්‍රියාමර්ගවලට සහය පල කරන බව එම සංමගයේ සභාපතිවරයා ලංකාදීප පුවත්පතට ප‍්‍රකාශ කර තිබුණි.
පොලිස් පොත්වලට සහ අධිකරණයට පමණක් සීමා වී තිබු අන්‍ය ආගමිකයන්ට එරෙහිව ගෙන ගිය හිංසනයන්ට ආදාළ තොරතුරු රැසක් රටේ ජනප‍්‍රිය නාලිකාවක් හමුවේ ඩයස්  දිගහැරීයේය. ඩයස්ගේ  හෙළිදරව්වත් සමඟ  ඊනියා යහපාලන ආණ්ඩුවේ ආගමික සංහිඳියාව සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය දොරේ ගලා යැම නිසා, කෝපාවිෂ්ට වු ඇමති රාජපක්ෂ ජාති මාමකත්වය අවුලවා ඩයස්ව කුරුසයේ ඇණ ගැසීමේ නින්දිත උත්සාහයක තවදුරටත් නිරත වෙමින් සිටී.
ක‍්‍රිස්තියානි සිද්ධස්ථානවලට එරෙහිව සිදු කළ පහරදීම් හා එම භක්තිකයන්ට අඩම්තේට්ටම් කිරීම් පිළිබඳ සිද්ධීන් 195 ගැන ඩයස් කළ ප‍්‍රකාශය අසත්‍ය නම් ඒ ගැන වහා පරික්ෂණයක් පවත්වා ඔහුට එරෙහිව නිත්‍යානුකුල පියවර ගැනීමට හැකිය. නමුත් රාජපක්ෂ ඩයස්ගේ ප‍්‍රශ්නයට කිසිදු  ආදාළත්වයක් නැති ජාතිය පටලවා ගත්තේ, බොදු බලසේනා සංවිධානය ඇතුළු සිංහල බෞද්ධ අන්තවාදීන්ගේ වීරයෙක්වීම සඳහාය.
ඊනියා යහපාලන ආණ්ඩුවේ ඊනියා ආගමික සංහිදියාව ඉවන්ජිලික් වෙබ් අඩවිය මගින් හෙළි කර ඇත. පල්ලිවලට පහරදිම් අඩම්තේට්ටම් කිරීම් සහ තර්ජනය කිරීම් 2015 යේ 90 ක්ද 2016 යේ 89 ක්ද 2017 යේ 36ක්ද ලෙස එම වෙබ් අඩවියේ සඳහන් වේ.
2015 ජනවාරි 08 වනදා සිට 2017 ජුලි වන විට සිද්ධින් 195 ක් නොව සිද්ධින් 245 ක් එම වෙබ් අඩවිය මගින් ප‍්‍රසිද්ධ කළ වාර්තාවේ සඳහන් කොට ඇත. රාජපක්ෂ රෙජීමයේ දස අවුරුදු පාලන කාලය තුළ පල්ලිවලට පහරදීම්, අඩම්තේට්ටම් කිරීම් සහ තර්ජනය කිරීමේ සිද්ධීන් 540 ක් ඉවන්ජිලික් වෙබ් අඩවිය  මගින් හෙළි කර ඇත. ඊනියා යහපාලන ආණ්ඩුවට වයස අවුරුදු දෙකයි මාස හතකි. එම කාලය තුළ ධර්මදාන පල්ලි වලට පහරදීම් සහ තර්ජනය කිරීම් 245ක්  වාර්තා වී ඇත.
රාජපක්ෂ සම්බුද්ධ ශාසනය සහ ජාතිය ගලවා ගන්නා ඊනියා වීරයෙකු ලෙස පෙනි සිටිමින් , කැසකවන්නේ ජනතා දේපල කොල්ල කෑ මිනීමරු රාජපක්ෂ රෙජීමය නැවත ගෙන ඒමටය.
එක්සත් ජාතික පක්ෂයේ නායක ඇමැති රනිල් වික‍්‍රමසිංහ පසු ගිය සතියේ පැවැසුවේ ආගමික සංහිදියාව සහ ජාතියේ සමගියට බාධා කරන්නවුන්ට එරෙහිව  අවශ්‍ය වුවහොත් නව නීති ගෙන එන බවයි. ඉන් ප‍්‍රමුඛ පියවරක් ලෙස සමාජ වෙබ් අඩවි නිරීක්ෂණය කිරීම සඳහා නව පොලිස්   ඒකකයක් පිහිටු වීමට යෝජනා වී ඇත. සමාජ වෙබ් අඩවි ජාලය ආණ්ඩුවට හිසරදයක් වී ඇත.
ඩයස් ආගමික සංහිදියාවට බාධා කරන්නවුන් හෙළිදරව් කරද්දී , එජාපයේ ඇමතිවරයෙකු වන රාජපක්ෂ ඔහුව දඩුකදේ ගැසීමට සැරසෙයි. ඇමැති වික‍්‍රමසිංහ රාජපක්ෂගේ චන්ඩි පාට් ගැන නිහඬය.  මෙයින් පෙන්නුම් කරන්නේ එජාපයේ ඊනියා ආගමික සංහිදියාව සහ ජාතික සමගිය පිළිබඳ දෙපිටිකාට්ටු බව හැර වෙන කුමක්ද? ලංකාව පුරා මුස්ලිම් විරෝධී ප‍්‍රහාර රැුසකට නායකත්වය දුන් බවට චෝදනා ලැබ සිටින බොදු බලසේනා සංවිධානයේ නායක ගලගොඩ අත්තේ ඥානසාරට පසු ගියදා ඇප ලබා දීම සම්බන්ධයෙන් ආණ්ඩුව අනුගමනය කළේ ද ඒ වැනිම පිළිවෙතකි.
ඥානසාර ඇතුළු සිංහල බෞද්ධ අන්තවාදීහු  ඊනියා යහපාලන ආණ්ඩුවේ අශීර්වාදයෙන් නිදැල්ලේ සැරිසරති.  අගමැති වික‍්‍රමසිංහ අන්තවාදීන් මැඩලීමට නව නීති ගෙන හන මුවාවෙන්  සැරසෙන්නේ සිංහල බෞද්ධ අන්තවාදීන්ගේ ප‍්‍රකෝපකරණයන් දඩමීමා කරගෙන දේශපාලන විරුද්ධවාදීන් දඩයම් කිරීමටය.
ඩයස්ට අදහස් ප‍්‍රකාශ කිරීමට (ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ 14 (අ* වගන්තියෙන් තහවුරු කර ඇති*අයිතියට ප‍්‍රතිචාර දක්වමින් රාජපක්ෂගේ බුරා පැනීම හුදකලා සිද්ධියක් නොව මේ රටේ ජනතාවගේ අදහස් ප‍්‍රකාශ කිරීමට ඇති අයිතියට කළ බරපතළ අනතුරු ඇ`ගවිමකි.
ශ‍්‍රී ලංකා ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජවාදී ජනරජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ බුද්ධාගමට ප‍්‍රමුඛත්වය පිරිනමන අතර 10 සහ14 වැනි ව්‍යවස්ථාවේ (1* වැනි අනු ව්‍යවස්ථාවේ (ඉ* ෙඡ්දයෙන් සියලූම ආගම්වලට පිරිනැමෙන අයිතිවාසිකම් ආරක්ෂා කිරීම රජයේ වගකිම විය යුත්තේ ය යනුවෙනි.
ව්‍යවස්ථාවේ එසේ  සඳහන්ව තිබුණ ද අන්‍යාගමික මධ්‍යස්ථානවලට පහරදීම්  සහ එම  භක්තිකයන්ට එරෙහිව සිදු වන  තර්ජනවල වැඩිවීමක් මිස අඩුවීමක් නැත.
පසුගාමි ධනපති රටවල පමණක් නොව අද අධිරාජ්‍යවාදී රටවල ද නිදහස් ,අයිතිවාසිකම් සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය යන්න මිරි`ගුවකි.
පසුගාමි ධනපති රටවල මඟ හැරුනු  ප‍්‍රජාතන්ත‍්‍රවාදී කර්ත්‍යවයන් ඉෂ්ට කර ගත හැක්කේත් අධිරාජ්‍යවාදී රටවල ජනතාවට ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනා ගත හැක්කේත් කම්කරු පන්තිය ගොවි ජනතාවගේ සහාය ඇතිව බලය ගැනීමෙන් පමණි. ඉන් මෙහා ධනපති ක‍්‍රමය තුළ කිසිදු ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම්  දිනා ගත නොහැකි බව  ඕනෑවටත් වඩා ඔප්පු කර ඇත.
රාජපක්ෂ රෙජීමයේ පාලනය අවසන් කර ඊනියා යහපාලන ආණ්ඩුව පිහිටු වීමට දරදිය ඇද්ද සමාජ ක‍්‍රියාකාරකයින් අතර ඩයස් වෙහෙසි වැඩ කළ අයෙකි.ඔහු ධනපති ප‍්‍රතිසංස්කරණ හරහා මේ රට ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කළ හැකි යයි විශ්වාස කරයි. ධනපති ප‍්‍රතිසංස්කරණ හරහා මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීමට යාම හරියටම එළුවාගේ පසුපස ගිය හිවලාගේ කතාව සිහි ගන්වන්නකි.
ශාන්ත විජෙසූරිය



No comments:

Post a Comment

Featured Post

අධ්‍යාපනය අයිතියකි ! විකිණීම සඳහා නොවේ !

දකුණු ආසියාතික තාක්ෂණික හා වෛද්‍ය ආයතනය (සයිටම්-  SAITM, The South Asian Institute of Technology and Medicine)    2008 ඔක්තෝබර් 1 දින ආයෝජ...