අනුර දිසානායකගේ පර්ත් කථාව- විප්ලවවාදී සමාජවාදී කේන්ද්‍රයට ප්‍රතිචාරයක් මැයෙන් “ ප්රතිවාද“ විසින් 2023 ජුලි මස දී පළ කළ රමිඳු සහෝදරයාගේ ලිපියෙහි වාමාංශය තුල සාකච්ඡාවට ලක්විය යුතු වැදගත් කරුණු කීපයක් සටහන්ව තිබිණි. * රාජ්‍යය, *මැතිවරණ මාර්ගයෙන් වාමාංශික ආණ්ඩුවක් බලය දිනාගැනීම, *රාජ්‍ය ව්‍යුහය ජනතාවාදී ලෙස ප්‍රතිසංස්කරණය කිරීම (හ්‍යුගෝ චාවේස්), *පාර්ලිමේන්තුව තුල දේශපාලනය හා පාර්ලිමේන්තුවෙන්-බැහැර දේශපාලනය අතර වන සමබරතාවය රඳවා ගැන්ම සහ* මෙරට වාමාංශය තුල විධිමත් ප්‍රශ්න සම්බන්ධ විධිමත් සාකච්ඡාවක් නොපැවැත්වීම. වැනි මාතෘකා අතිශයින් වැදගත්ය. මේ මොහොතේ රාජ්‍යය පිළිබඳ ප්‍රතිවාද විශ්වාසකරන බව පෙන්නුම් කරන ස්ථාවරය ගැන මගේ අවබෝධය සටහන් කරන්නට කැමැත්තෙමි.
ජවිපෙ නායකත්වයෙන් යුතු ජාතික ජන බලවේගය මැතිවරණය හරහා ආණ්ඩු බලය දිනාගැනීමේ උපාය මාර්ගය තෝරාගෙන තිබීම සම්බන්ධයෙන්
විප්ලවීය සමාජවාදී කේන්ද්රය විවේචනයක් එල්ල කළඅතර එම විවේචනයේ පදනම වුනේ රාජ්යය පිළිබඳ මාක්ස්වාදී විග්රහයෙන් එය බැහැර වී
ඇත යන්නයි. එයට
ප්රතිචාර වශයෙන් ප්රතිවාද මැතිවරණයකින් “ආණ්ඩු බලය අල්වා ගැනීම දක්වා වාමාංශික පක්ෂවලට ගමන් කල හැකි බව” කියමින් චිලී හි
සැල්වදෝර් අයියන්දේ , වෙනිසියුවේලාවේ හියුගෝ චාවේස්, බොලිවියාවේ ඉවෝ මොරාලේස්, ඉක්වදෝරයේ රෆායෙල් කොරෙයා සහ නේපාලයේ මාඕවාදී කොමියුනිස්ට් පක්ෂය මැතිවරණවලින් බලයට පත්වීම ගැන උදාහරණ ලෙස දක්වයි. මැතිවරණයකින් ආණ්ඩුවක් පිහිටුවීමට උනන්දු වූ පැරණි වාමාංශය වගේම වර්තමානයේ එසේ
උත්සාහ දරන ජනතා විමුක්ති පෙරමුණ -(ජාතික ජන බලවේගය) ද තමන්ගේ උත්සාහයන්ට න්‍යායික පදනමක් සැපයීමෙහි ලා අපොහොසත්ව සිටින නමුදු ප්‍රතිවාද ලිපිය ඒ සම්බන්ධයෙන් ඉදිරි පියවරක් තබමින් ඔවුන් තම ස්ථාවරයට න්‍යායික පදනමක් ඉදිරිපත් කරන බවක් පෙනේ. අප ඔවුන්ගේ ඒ
ස්ථාවරය සමග කොහෙත්ම එකග නොවුන ද ඔවුන්
එසේ න්‍යයායික ප්‍රවේශයක් ගැනීම ඇත්තටම
අගය කරමු. මක්නිසා ද අවලාදාත්මක දේශපාලනයෙන් බැහැරව හැකි අයෙකුට සංවාදශීලී දේශපාලනයට ඉන්
මාර්ගය විවෘතවන නිසාය.
රමිඳු සහෝදරයාගේ ප්‍රධාන විවේචනය එල්ල වන්නේ අප ඉදිරිපත් කරන
රාජ්‍යය පිළිබඳ මාක්ස්වාදී න්‍යායට ය. නිකොස්
පුලන්ට්සාස් ( 1936-1979) නම් ග්‍රීක මාක්ස්වාදී චින්තකයා රාජ්‍යය පිළිබඳව
ඉදිරිපත්කර ඇති විග්‍රහය තම ස්ථාවරයට න්‍යායික
පදනම ලෙස ඔවුන් යොදගෙන ඇති බව පෙනෙන්ට ඇත. ඒ සමගම ‘රාජ්‍යය යනු පන්ති පාලනයේ උපකරණයකි’ යන
පැරණි ලෙනින්නවාදී පැහැදිළිකිරීම” යනුවෙන් රාජ්‍ය පිළිබද මාක්ස්වාදී විග්‍රහය අතිශය සරල කරමින් ද එම විග්‍රහයේ රළුබවක් ඇති
ලෙස ඇඟවුම් කරමින් ද බැහැර කරයි.
නිකො පුලන්ට්සාස්ගේ රාජ්‍යය පිළිබඳ පැහැදිළිකිරීම, රාජ්‍ය යනු “සමාජ
සම්බන්ධතාවල භෞතිකමය ඝනිභූතකරණයකි’ (material condensation of a relation
of classes)’ යනුවෙන් සංග්‍රහ කර දක්වන ගමන් ම ඒ ගැන එක්තරා දුරකට
පැහැදිළිකිරීමක් ද ඉදිරිපත් කරයි.
අප- විප්ලවීය සමාජවාදී කේන්ද්‍රය සහ
එහි සමාජිකයක් වශයෙන් මම ද පෙනී සිටින්නේ
වෙනත් කරනු සම්බන්ධයෙන් වගේම රාජ්‍යය සම්බන්ධයෙන් ද මාක්ස්වාදී ස්ථාවරයේ
පිහිටාය.රාජ්‍යය පිළිබඳ න්‍යායයන් ප්‍රධාන
වශයෙන් ප්‍රභේද දෙකකි. එකක් නම් සම්ප්‍රදායික ලිබරල්වාදී න්‍යායයි. එහි විවධාකර
හැඩයන් ඇති නමුත් ඒවායේ මූලික හරය
එකම ය. පොදු වශයෙන් ඉන් කියවෙන්නේ රාජ්‍ය,
නිශ්චිත ප්‍රදේශයක ප්‍රජාව විසින් එම ප්‍රජාව අතර සාමය හා ආරක්ෂාව
පවත්වාගැනීම සදහා ඔවුන්ගේ සම්මුතියෙන් ගොඩනගාගත් ස්වාධීන බල ආයතනයක්ය යන්න
ය. අනෙක් ප්‍රභේදය නම් සම්ප්‍රදායික
ලිබරල් මතයට හාත්පසින් වෙනස් මාක්ස්වාදී
න්‍යාය යි. එම න්‍යාය අනුව ආදී
කාලීන සමාජයේ මෙන් තව දුරටත් සාමාජයට
ස්වයං ආරක්ෂක ඒකකයක් විදියට පැවතිය නොහැකි තරමට සමාජය පංති වශයෙන් බෙදී ගොස්
ඇති අතර, එම පංති ප්‍රතිඝකතාවයේ - පසමිතුරුභාවයේ- ඵලයක් ලෙස පැන නැගුනකි රාජ්‍යය
. පොදු
ජනයා කෙරෙහි බලපාන්නා වූ බලයක් -විශේෂිත බලයක්- වූ රාජ්‍යය හුදෙක් සන්නද්ධ
මිනිසුන්ගෙන් පමණක් නොව හිරගෙවල් සහ වෙනත් බලහත්කාරී භෞතික ආයතනයන්ගන් ද සංයුන්ත ව්‍යුහයකි.
ප්රබන්ධ කතා, පාරම්පරික පිළිගැනීම් ආදියට ඔබ්බෙන් යමින්, ඓතිහාසික, විෂයබද්ධ කරුණු පමණක්ම සැළකිල්ලට ගනිමින් සමාජ සංවර්ධනය පිරික්සා බලන්නේ නම් කෙනෙකුට රාජ්‍යය සම්බන්ධයෙන්
මාක්ස්වාදී පැහැදිළිකරිම පහසුවෙන් ඒත්තු යනවා ඇත. ඒ සමගම මේ විශේෂිත බලය, “ රාජ්යය ” හසුරුවනු ලැබ ඇත්තේ
“ පාලක පංතිය ” ලෙස හඳුන්වනු ලැබූ අතලොස්සක් වූ සමාජ කණ්ඩායමක් විසින් බව ද ඔහුට පෙනීයනවා ඇත. ඔවුන්ට එසේ බහුතර පොදු සමාජය මත මුදාහැරෙන බලයක් අභ්යාස කරන ආයතනයක් උවමනාවුනේ ඇයි.? සමාජයේ පැවැත්මට අත්‍යාවශ්‍ය නිෂ්පාදන මාර්ග සියල්ල පාහේ ඔවුන් සන්තක කරගෙන -පෞද්ගලික අයිතිය- යටතට ගෙන තිබීමත් බහුතර සමාජයට එය අසන්තකකර තිබිමත් හේතුවෙන් පැන නැගුන පංති පසමිතුරුභාවයට මුහුණදීම සඳහාය. පීඩනයට පත් බහුතර සමාජය වෙතින් අඛණ්ඩව එල්ලවෙන විරෝධය මැඩලීම සඳහා ය.
ඒ තේරුමෙන් රාජ්‍යය පාලක පංතියේ
උපකරණයකි. සාමාන්‍ය උපකරණයක් පමණක් ම නොව,
පීඩක උපකරණයකි. වැඩිදුරටත් මාක්ස්වාදය පෙන්වා දෙන්නේ රාජ්‍යය මානව සමාජ ඉතිහාසය පුරා පැවති එකක් නොව,
සමාජය
පංතිවලට බෙදීයාමට පසුබිම් වූ නිශ්චිත
ආර්ථික සංවර්ධන අවධියක් සමග එය උපන් බව හා පංති ප්‍රතිඝතිකතාව නොවිසඳී
පවතින තාක් දුරට රාජ්‍යය පවතින බව යි.
පෙර දී පංති පැන නැග්ගාක් මෙන්ම නිෂ්පාදන සංවර්ධනයේ නිශ්චිත අවධියකින්
පසු පංතීන්ගේ පැවැත්ම අහෝසිවෙයි. එවිට
රාජ්‍යය ද මිලානවී යයි. සමාජය නිෂ්පාදකයන්ගේ නිදහස සහ සමානතා පදනම මත
නිෂ්පාදනය නැවත ප්‍රතිසංවිධානය කරයි. රාජ්යය පිළිබඳව මාක්ස්වාදී විග්රහය සාරාර්ථයෙන් එසේය.
රාජ්යයේ මූලික කාර්ය හා හරය පාලක පංතීන් පාලිත පංතීන්
මත යොදා
ගන්නා පීඩක උපකරණයක් ලෙස ක්රියාකිරීම බව සැඟවීමට, නැත්නම් එහි සැර බාලකිරීමට මාක්ස්වාදීන් කිසිවිටකත් උත්සාහ කරන්නේ නැත. එහෙත් මෙසේ කියන විට වසරේ
දවස් 365හේ ම, දවසේ පැය 24 පුරාම රාජ්යයේ එකම කාර්ය පීඩක උපකරණයක් ලෙස ක්රියා කිරීමය යනුවෙන් අදහස් වෙන්නෙ නැත. පංති අරගලයේ උච්ඡාවචනය අනුව රාජ්‍යය හැසිරෙන රටාව ද වෙනස් වෙයි. යම් රටක් සමාජ සංවර්ධනයේ පසුවන ස්ථානය අනුව රාජ්‍ය
තුල ශ්‍රම විභජනය සිදුවී ඇති ස්වභාවය වෙනස් විය හැකියි. සමහර රාජයක රාජ්‍ය අවයවයන්
ප්‍රමාණයෙන් වැඩි වගේම අතිශය සංකීර්ණ විය හැකියි. ඒ සෑම එකක්ම මර්දනීය ඝණයට
නොවැටෙන අතර ඒවා මර්දනීය උපකරණ වෙනුවට පාලක පංතියේ දේශපාලන හා
දෘෂ්ටිවාදීමය අවයවයන් වෙයි. අධ්‍යපනික ආයතන පීඩිත පංතිකයන් වෙත අධ්‍යාපනික හා තාක්ෂණික දැනුම ලබා දෙයි., වෛද්‍ය ආයතන
ඔවුන්ගේ ශාරීරික සෞඛ්‍ය ගැන හොයාබලයි. අධිකරණ ආයතන පවුල් ආරාවුල්, සණ්ඩු
දබර, අපරාධ
විනිශ්චය කරමින් සදාචාරය බලගැන්වීමේ
මෙහෙවරක යෙදී සිටී. “ සාමය සහ නීතිය ” පවත්වා ගැනීමට පුරුදු පුහුණු කරනු ලැබූ තවත් පිරිසක් අණ ලැබෙන තෙක් “සමාජ සාමය” හා
මහ මග වාහන හසුරුවති. පීඩිත පංතීන් හා ජනයා පාලකයින්ට අවනතව හැලහොල්මනක් නැතිව කටයුතු කරන තාක් රාජ්‍ය
යේ හැසිරීම සාමාන්‍ය තත්ත්වයෙන්
පවතී. රාජ්‍යෙය් මේ බාහිර “ සමාජයීය
”පෙනුම විසින් එය පාලක පංතියේ
දේශපාලන හා දෘෂ්ඨිවාදිමය උපකරණයක් යන අඩංගුව ආවරණයකරනු ලබන අතර ඒ නිසාම
එය අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස පිළිගැනීමට සමාජ මනෝභාවය
හැඩගැසෙයි. එසේ වුවත් රජ්‍ය යේ සියළු කටයුතු මුළු එකක්
විදියට අරගෙන විමසා බලන්නේ නම් ඒවා නාභිගතව ඇත්තේ එකම දිසාවකට
බව, එනම් ධනේශ්වර දේපොළ පවත්වාගෙනයාම, ආරක්ෂාකරගෙන යාම හා කළමණාකරණයකිරීම දිසාවට
බව කෙනෙකුට පෙනී යනවා ඇත. ඒ තාක් රාජ්‍යය දේපොළ හිමි පාලක පංතියේ උපකරණයකි.
නිකොස් පුලන්ට්සාස් ගේ ගැඹුරු විග්‍රහයන්ට භාජනය වී ඇති මාක්ස්වාදී න්‍යායික ගැටළු අතරින් රාජ්‍ය ය ප්‍රධාන
විෂයයක් වී ඇත. රාජ්‍යෙය් “සාපේක්ෂ
ස්වායක්තබව” යන ඔහුගේ සංකල්පය
රාජ්‍යය පැහැදිළිකිරීමේ දී ඔහු පිහිටන තාර්කික පදනම සේ සැළකිය හැකි
යි. ධනපති පංතිය,ඔවුන්ගේම
අභ්‍යන්තර ගැටුම්වලින් හෙම්බත්ව ඇත. ශ්‍රම ක්‍රියාවලිය තුල අතිරික්ත වටිනාකම
උකහාගැනීමට දේශපාලන බලයේ සෘජු අවශ්‍යතාවක්
නැති නිසා තනි තනි පුද්ගලයන් වශයෙන් කෙටිකාලීන ලාභය හඹායාම ගැන උනන්දුවක් දක්වනව
විනා සමස්ථයක් වශයෙන් පංති බලය -රාජ්‍ය මගින් - අභ්‍යාෂකිරීම ගැන අවධානය යොමු
නොකරයි, මේ අනුව පාලක කණ්ඩායම්වලින් දුරස්ව, පංති බලවේගයන් තුලනාත්මකව තබාගැනීමේ හැකියාව රාජ්‍යය සතුව ඇති
හෙයින් රාජ්‍යය සාපේක්ෂ ස්වායක්තබවකින් ( relative
autonomy)
යුක්තය. පුලන්ට්සාස්ට අනුව රාජ්‍ය ය යනු සමාජයේ පංති බලවේගයන්ගේ සමස්ත ඵලය මුදුන්පත්කර
ගැනීමට මැදිහත් වෙන පංති බලවේගයන්ගේ
සම්බන්ධතා සමුහය එකට කැටිගැසුන ව්‍යුහාත්මක ප්‍රකාශනයකි. රාජ්‍යය
සැමවිටම වාගේ අධිපති පංතියේ
උවමනාවන් ගැන සැළකිලිමත් වුනත් එහි
පූර්ණ බලය තනි පංතියක් සතු නොවෙයි. පහල
පන්තීන්ගේ බලපෑමට ද හසු වෙමින් ප්‍රතිවිරෝධයක්
නිර්මාණය වෙයි. ඒ අනුව(පංති අරගලයේ තීව්‍රතාව
අනුව) සාපේක්ෂ ස්වායත්තාව සීරුමාරු වෙයි. එක් අතකට එකි නෙකට ප්‍රතිවිරුදධ පංති හා පංති
ස්ථරයන්ට ඔවුන්ගේ කෙටිකාලීන ආර්ථික
උවමනාවන් සම්බන්ධයෙන් කේවල් කරමින් ද සම්මුතිවලට එළෙඹෙමින් ද බල හවුල්- හෙජමොනි-(power bloc) ගොඩ
නගානිමින් රාජ්‍ය තුළ සහභාගිවීමට මින්
අවස්ථාව උදාවෙයි. අනෙක් අතට කම්කරු පංතියට යම් සහනදායී පරිසරයක් (අවම
වැටුප්, වෘත්තීය අයිතීන්
සහතිකවීම)නිර්මාණය වෙන අතර ඒ නිසාම ඔවුන්
අතර එක්සත්භාවය දුෂ්කර කටයුත්තක් බවට පත්ව
විප්ලවීය නැගිටීම්වලට ඇති ඉඩ ඇහිරෙයි.
මෙකී තත්ත්වය පැහැදිළි කිරීමෙන්
අනතුරුව නිකොස් පුලන්ට්සාස් වාමාංහික ව්‍යාපාරයට
“ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදය”
නමින් උපාය මාර්ගයක් ද ඉදිරිපත්කරයි. ඊට අනුව සමාජවාදය කරා
පරිවර්තනය සම තල දෙකක සිදුවිය යුතුය. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය සහිත
පාර්ලිමේන්තුව එක තලයකි, අනෙක, පෙර
කී පාර්ලිමේන්තු ක්‍රමයට සමාන්තරව සෘජු ප්‍රජාතන්ත්‍රවාදය
සහිත කම්කරු සභා නැතිනම් ස්වයං පාලක ආයතන ය. වාමාංශය පාර්ලිමේන්තු ජයග්‍රහණයන්
අත්කර ගනිමින් රාජ්‍ය ය ප්‍රජාතන්ත්‍රීයකරණයට ලක්කරමින්, ජනතා ව්‍යාපාරය (කම්කරු සභා වැනි) ආරක්ෂා
කිරීමට එය යොදා ගත යුතුය. “ රාජ්‍යයෙන්
තරමක් දුරස්ව, රාජ්‍ය ය ඇතුළත සිට ම රාජ්‍යය
පරිවර්තනය කිරීම ” යනුවෙන් ඔහු මෙය සූත්‍රගත කරයි.
අපේ
වැටහීම නම් පුලන්ට්සාස්ගේ රාජ්‍ය ය පිළිබඳ මේ පැහැදිළි කිරීම, ඔහු ඒ කරා ප්‍රවේශවන විධික්‍රමය වෙනස්
වුවත්, සාරයෙන් රාජ්‍යය පිළිබඳ ලිබරල්වාදී න්‍යාය
සමග සමපාත වෙන බවයි. ඔහුගේ සමස්ත
පැහැදිළි කිරීම් වැඩිදුරටත් විමසුමට භාජනය
කරන්නේ නම් මාක්ස්වාදය පැහැදිළි කරන
ආකාරයට රාජ්‍යය තව දුරටත් පාලක පංතියේ උපකරණයක් නොවනවා පමණක් නොව,
පංති
අරගලය, ලෙනින්වාදී
පක්ෂය, රාජ්‍යයේ අනාගතය
ආදී විෂයයන් සම්බන්ධයෙන් ද ඔහුගේ පැහැදිළිකිරීම් තුල බරපතල පරස්පරතා හඳුනා ගැනීමට
හැකිවනවා ඇත.
ග්‍රීසියේ සයිරීසා ( SYRIZA) වාම සන්ධානයේ නිල බුද්ධි මණ්ඩලය (think-tank) ලෙස
කටයුතු කර ඇත්තේ නිකොස් පුලන්ට්සාස්ගේ
ඉගැන්වීම අනුයන නිකොස් පුලන්ට්සාස් ආයතනය-( Nicos Poulantzas Institute.) යි. එම ආභාෂය ජාත්‍යන්තරයේ බුද්ධිමත්තු
හරහා අපේ රටේ වාමවාදී බුද්ධිමතුන් කෙරෙහි ද බලපෑ ඇති බව ඔවුන් විසින් නිතර
තෙපලන වාම ජනප්‍රියවාදය (left-wing populism)නම්
දේශපාලන උපාය මාර්ගයෙන් පැහැදිළි වෙයි
කෙනෙකුට ඒ හෝ මේ න්‍යායක් පිළිගැනීම හෝ
බැහැරකිරීම කළ හැකි යි. එහෙත් යම් න්‍යායක, විශේෂයන්
එය සමාජ විද්‍යාව සම්බන්ධයෙන් වූ කළ, එහි වැරදි නිවැරදි බව,
පිරික්සිය
හැකි එකම මාර්ගය සමාජය නම් පර්යේෂණාගාරය තුළ පමණකි. එහිදී අදාළ වෙන්නෙ පුලන්ට්සාස්
සම්බන්ධයෙන් නම් ඔහු මාක්ස්වාදී චින්තකයකු ලෙස දිනාගෙන ඇති කීර්තිය නොව,
රාජ්‍ය
යේ පරිණාමය සම්බන්ධයෙන් ඓතිහාසික වශයෙන් හෝ තත්කාලයේ හෝ සමාජ, ආර්ථික හා දේශපාලන විෂයමූල තත්ත්වයන්
පමණක්ම පාදක කරගත් සියුම්, ඉවසිලිමත් විමසීමකි. අපේ පිළිගැනීම මාක්ස්වාදය
එවැනි විෂයබද්ධ තත්ත්වයන් විශ්ලේෂණය කර ගැනීම මතම පමණක් ගොඩනැගූ
දැක්මක් බව ය. රාජ්‍ය පිළිබඳ මාක්ස්වාදී
දැක්ම ද එසේම ය.
මගේ
තේරුම්ගැනීමේ තරමට පුලන්ට්සාස්ගේ පැහැදිළිකරීම මත පිහිටමින් ප්‍රතිවාද සකස්කර ගත් සිය දේශපාලන ස්ථාවරය ඔවුන්ගේ ලිපියේ
සටහන් කරන්නේ මෙසේය. “ හමුදා, පොලිසි හා
හිර ගෙවලින් යුක්ත පැරණි රාජ්‍යය මෙන් නොව, සර්වජන
ඡන්දය සහිත නූතන රාජ්‍යය හුදු සමජාතීය ප්‍රපංචයකට වැඩි සංකීර්ණ යමකි. ----- සර්වජන
ඡන්දයේ පැවැත්ම විසින් සංස්ථාපිත දේශපාලනය ප්‍රතික්ෂේප කරන වාමාංශික පක්ෂවලට
ආයතනික රාමුව තුළට ද දේශපාලනය ගෙන ඒමේ අවස්ථාව ලබාදෙයි.------- අවශ්‍ය
නම් ආණ්ඩු බලය අල්වා ගැනීම දක්වා වාමාංශික පක්ෂවලට ගමන් කළ හැකි යි. ”
මැතිවරණයකින්
ආණ්ඩු බලය ගත් පමණින් සියල්ල විසඳෙන්නේ නැත. බොහෝවිට ආණ්ඩු බලය දිනාගත්
වාමාංශයට වඩාත් තීරණාත්මක ඉරණමකට මුහුණ
දෙන්න සිදුවෙන්නෙ ඉන් අනතුරුවය. ප්‍රතිවාද ට මේ ගැන පැහැදිලි අවබෝදයක් ඇති බව
“ආණ්ඩු බලය ගැනීමට වාමාංශික පක්ෂවලට ඉඩ දුන්නා වුවද,
ඉන් එහා ගිය බැරෑරුම් සමාජ-දේශපාලන ප්‍රතිසංස්කරණවලට
විරුද්ධ බාධකයක් ලෙස චිරාත් කාලයක් තිස්සේ නඩත්තු වූ රාජ්‍ය ව්‍යුහය පෙනී සිටිය
හැක.” යනුවෙන් කරන සඳහන තුලින් ගම්‍ය කෙරෙයි. ප්‍රතිවාද උදාහරණ වශයෙන් දක්වන චිලී හි
සැල්වදෝර් අයියන්දේ ගේ සිට නේපාලයේ
මාඕවාදී කොමියුනිස්ට් පක්ෂය දක්වා වූ සිදුවීම් මගින් පමණක් වුවත් රාජ්‍යය පාලක
පංතීන්ගේ උපකරණයක් ය, එහි හරයෙන් ගත් කල මර්දනකාරී උපකරණයක්ය යන මාක්ස්වාදී
ස්ථාවරය තහවුරු කරනවා මිස පුලන්ට්සාස්ගේ ස්ථාවරය සනාථ කරන ආකාරයේ අනුබලයක් ඉන් ලැබෙන්නේ නැත. වැඩි ඈතක නොව, අපේ ම රටේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ සම්බන්ධයෙන් හොඳ උදාහරණයක් සපයයි. වාමංශික
ආණ්ඩුවක් පිහිටුවා ගැනීම කෙසේ වෙතත්, ව්‍යවස්ථානුකූලව පැවැත්විය යුතුව ඇති පළාත් සභා මැතිවරණය හෝ පැවැත්වීම වැළැක්වීමට රනිල් වික්‍රමසිංහ අතිශය පිළිකුල් සහගත ආකාරයෙන් රාජ්‍ය අවයව යොදාගනිමින් සිටීයි.ඔහුගේ මේ තිරශ්චීන
පිළිවෙත කලාපීය මෙන් ම ගෝලීය ධනේශ්වර බලවෙගයන්ගේ නොමද ආශිර්වාදය යටතේ සිදුවන බව
අපි වැඩිමනත්ම අවබෝධකර ගත යුතුය. විශේෂයෙන් රාජ්‍යය පිළිබඳ විෂයයේදි ධනවාදී
බලවේගයන්ගේ පෙළගැස්ම එබඳුය. අවශ්‍ය නම් තවත් උදාහරණය ලෙස කොවිඩ් වසංගත කාලයේ
ලංකාවේ මෙන්ම එක්සත් ජනපදයේ රාජ්‍යයන්ගේ හැසිරීම සළකා බැලිය හැකියි. වසංගතයෙන්
පුද්ගලයන් දහස් ගණනින් මියැදෙද්දි එය
වළක්වා ගැනීමට රට වසා දමන ලෙස සෞඛ්‍ය බලධාරීන් නැවත නැවතත් කියා
සිටිද්දි එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නෑසුන කන් ඇතිව සිටියේ ව්‍යාපාරිකයන්ට
එයින් පාඩු අත්වෙනවා කියා ය. එලෙසම කෝවිඩ්
වසංගත යෙන් ඇමරිකානු ජනතාව ලක්ෂ ගණනින් මිය යද්දිත් එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළේ ද එයම ය.
වෛරසය පතුරවනවා යයි චීනයට දෙස්දොවොල් තැබුවා මිස වසංගතය වැළැක්වීමට රට වසාදැමීම
වැනි අවශ්‍ය නිසි සෙෘඛ්‍යමය විධික්‍රම ක්‍රියාත්මක කිරීම හැකි තරම් මග හැරිය. එසේ
කළේ ආර්ථිකය කඩා වැටීම වළක්වා ගැනීම නමින්
ව්‍යාපාරික සුළු කණ්ඩායම රැක ගැනීම වෙනුවෙන් ය. මින් සනාථ කෙරෙන්නේ “රාජ්‍යය යනු පන්ති පාලනයේ උපකරණයකි’
යන මාක්ස්වාදී ස්ථාවරය යි.
රාජ්‍ය ය
පංති පාලනයේ උපකරණයකි යන මාක්ස්වෘදි මතය තවත් කෝණයකින ගෙන බලමු. ජනාධිපතිවරයා විසින්
හදිසි නිති බලගන්වයි. පනවන හදිසි නීති රෙගුලාසිවල විශේෂත්වය නම් ඒවා වෙන මොනම නිතියක් මගින්වත් අවහිර කළ නොහැකි තත්ත්වය යි. මෙසේ
සියල්ලන්ට ඉහළින් ඇති
හදිසි නීති පනවන ලද අවස්ථා පොදු
වශයෙන් ගෙන බැලුවොත් වැඩවර්ජන,
පෙළපාලි, රැස්වීම්, පත්‍රිකා
බෙදීම් ආදී වශයෙන් ඒ පරාශය අති විශාලයි. ඒ
අවස්ථා සමග කඳුලු ගෑස්, බැටන්
පොලු ප්‍රහාර, වෙඩිතැබීම්,අත්
අඩංගුවට ගැනීම් ,
වද හිංසා පැමිණවීම්, රඳවා
තැබීම් සහ අතුරුදහන් කිරීම් ආදී සිද්ධි වැළකි. රාජ්‍ය යේ මේ සමස්ත මර්දනීය
මෙහෙයුමේ එල්ලය පොදු ජනයා යි. මෙසේ සිදුවෙන්නේ
පැරණි ලොකයේ නොවේ. “
රාජ්‍යය යනු පන්ති පාලනයේ උපකරණයකි යන පැරණි ලෙනින්වාදී ” න්‍යාය
අදට ගැලපෙන්නේ නැතැයි සිතන වර්තමාන ලෝකයේ ය.!
ප්‍රතිවාද
ලිපිය සඳහන් කරන “ආණ්ඩු බලය මැතිවරණයෙන් ගෙන, පසුව රාජ්‍යය
අතිශය රැඩිකල් ලෙස ප්‍රතිසංවිධානය කරන්නට චාවේස් කළ උත්සාහය” විස්තරත්මකව කතා කළ යුතු වැදගත් මාතෘකාවක්
වුවත් මේ අවස්ථාවේ ඒ ගැන කෙටි සටහනකට පමණක්
සීමා වෙමු. Monthly Review මාක්ස්වාදී
සගරාවේ කර්තෘ ජෝන් බෙලමි ෆොස්ටර් Chavez and the Communal
State (‘චාවේස් සහ ප්‍රජා රාජ්‍යය’)
මැයෙන් ලියා ඇති ලිපිය ගැන ප්‍රතිවාද අපේ අවධාණය යොමුකිරීම ගැන කෘතවේදී වන අතර එහි
සඳහන් ආකාරයට හියුගෝ චාවේස් රජය ජනතා බලය ස්ථාපිතකිරීම අරමුණුකරගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට
“ ජනතා බලය පිළිබඳ ඓන්ද්‍රීය නිති”( the
Organic Laws of Popular Power in 2010) හඳුන්වා දී ඇත. ඒ
මගින් ජනතා සභා- communal councils-පිහිටුවමින් ජනතා රාජ්‍යයක් පිහිටුවීම ඔහුගේ අරමුණ වී ඇත.
මේ ප්‍රජා සභා දේශපාලන,
ආර්ථික හා සංස්කෘතික
කටයුතු සම්බන්ධයෙන් ස්වයංපාලනයක්
සහිතව ක්‍රියාත්මක වෙයි. මෙහි මුලදි සඳහන් කළාක් මෙන් මේ විෂය පලල්ව සාකච්ඡා කළ යුතු නමුත් දැනට “ ප්‍රජා සභා” ආශ්‍රයෙන් මම වඩා වැදගත් කියල විශ්වාස කරන
කරුණක් දෙකක් ගැන පමණක් අවධානය යොමුකරන්න
කැමැත්තෙමි. චාවේස් මේ ජනතා සභාවල අත්‍යාවශ්‍යතාවය තේරුම් ගෙන ඒවා නීතිමය වශයෙන්
පිහිටුවන්න පියවර ගන්නෙ 2010 දී තරම්ය. ඔහුට මේ ජනතා බලය පිහිටුවන්න සිදුවුනේ නිල නොවුන ද ජාතික මෙන් ම විදේශීය රූපාකරයෙන්
වූ ධනේශ්වර රාජ්‍ය බලයට එරෙහිවයි. ඔහුගේ
මේ අවබෝධය හා ප්‍රයත්නය වැදගත්ය, අගය කළ
යුතුය.
හොඳයි,
පාර්ලිමේන්තුවෙන් ආණ්ඩුවක් පිහිටුවන්න උත්සාහ කරන ජා.ජ.බලවේගයට වුනත් මේ
මොහෝතේ චාවේස් අත්දැකීමක් කරගෙන ජනතා
සභා පිහිටුවමින් ඉදිරියට යන්න ඇති බාධාව මොකක්ද? ආණ්ඩු බලය ලැබෙන තෙක්ම
ඉන්න ඕනැද? පුර්ව අත්දැකීම් උකහාගැනීම
මගින් කල්තියාම සිදුවිය හැකි වැරදි , අතපසුවීම්
වළක්වාගත හැකියි නේද?
මම මෙතන අදහස් කරන්නේ වෙනිසුලාවේ මෙන්
නිතිමය වශයෙන් පිලිගත් සංවිධිත හා පලල් ස්වභාවයක් ගත් ජනතා සභා නොවෙන, නමුත් කලලමය වශනේ හෝ ජනතා
සභා පිහිටුවීම ගැනයි. දැන් කෙනෙක් කියන්න පුළුවන් ජා.ජ.බලවේගය කොට්ඨාශ සභා
පිහිටුවගෙන යමින් කරන්නේ එයයි කියල. නැහැ. මේ කියන කොට්ඨාශ සභා සම්පූර්ණයෙන්ම
මැතිවරණ සංවිධාන විශේෂයක් පමණි. අප මෙසේ කියන්නෙ සමීප නිරීක්ෂණයන් මගින් ලබාගත් අවබෝධය මත පිහිටාය. ඇත්තටම නිරීක්ෂණය වන පරිදි ජා.ජ.බලවේගයට තමන්
සතුව ඉදිරියේ දී අනුගමනය කරන්න බලාපොරොත්තු වෙන සංයුක්ත දේශපාලන
වැඩපිලිවෙලක් නැති නිසාම එම සභාවලට ද එවැනි
දැනුවත්බවක් පිහිටිය නොහැකි බව අපේ අදහස ය. ඒ නිසාම ඒවා ඓන්ද්‍රීය ජනතා
සංවිධාන වන්නේ ද නැත. පාර්ලිමේන්තුවෙන් ආණ්ඩුවක් පිහිටූවන්න තැත් දරන සංවිධානයකට
වුවත් හුදු මැතිවරණ පන්නයේ ‘කොට්ඨාශ සභා’ වෙනුවට
ඓන්ද්‍රීය ජනතා සභා ගොඩනගා ගන්නේ නම් ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාරය පවා ශක්තිමත් ව්‍යාපාරයක් වෙන්නත් ජයග්‍රහනය අත්කර
ගැනීම පහසු වෙන්නත් පුළුවන් විතරක් නෙවෙයි, විශේෂයෙන් අනතුරුව ස්ථාපිත රාජ්‍ය යේ
බලයට එරෙහිව සැබෑ ජන බලයක් සහිතව ඉදිරියට
යන්නත් හැකිවෙනවා ඇත. ඒත් ඉතිං, මෙහෙම
වෙන්න පුළුවන් වන්නේ අඩුම වශයෙන් චාවේස්ගෙන් හරි ඉගෙන ගන්නවා නම් පමණයි. එහෙම නම්
ජාතික ජන බලවේගය තවමත් ප්‍රමාද නැත !
ජාතික ජන
බලවේගයේ දේශපාලන උපාය මාර්ගය සම්බන්ධයෙන් ප්‍රතිවාද න්‍යායික විවරණයන් සැපයීමට
ඉදිරිපත් වුවද ජනතා විමුක්ති පෙරමුණට හෝ එය නායකත්වය සපයන ජාතික ජනබලවේගයට හෝ ඔවුන්ගේ
දේශපාලන ගමන් මග පැහැදිළි කරන නිශ්චිත සංයුක්ත න්‍යායික දැක්මක් නැති බව නැවත
නැවතත් කිව යුත්තකි. අප කියා සිටින්නේ
ජාතික ජන බලවේගය කතා කරන අධ්‍යාපන, සංස්කෘතික, පරිපාලන , සෞඛ්‍ය ආදි විෂයන් අලලා සකස්කර ඇති යෝජනා ගැන නොවේ. ඇත්ත වශයෙන්ම ඒවා පර්යේෂණ පත්‍රිකා
වැනිය. ඔවුන්ගේ සමස්ත දේශපාලන උපාය මාර්ගය පැහැදිළි කෙරෙන සංයුක්ත දේශපාලන
භාවිතයක් ඔවුන්ගෙන් ප්‍රකාශ නොවන බවය අප කියා සිටින්නේ. ආණ්ඩුවේ හොර මැර , වංචා, දූෂණ
ගැන පුන පුනා කරන කතාවලට ඔවුන්ගේ වේදිකාවල ප්‍රධාන තැනක් ලැබී ඇත්තේ ජනතාව බල ගැන්වීමට අත්‍යවශ්‍ය එවැනි සංයුක්ත දැක්මක් සැබවින්ම නැති නිසා බව
අපේ වැටහීමය.
ඒඩීපී
.රත්නායක
17/11/
2023
.
No comments:
Post a Comment